Hela Rahas

Hela Rahas Official Web Portal

ඇහැලේපොළ කුමාරිහාමි කන්ද උඩරට තවමත් සැරිසරනවා

  • අවතාර කියල ජාතියක් ඇත්තටම තියනවද කියලවත් අපි දන්නෙ නෑනෙ. අපි අවතාර දැකල තියෙනවද? ගොඩක් දෙනෙක් නෑ කියයි. එහෙම එකේ මේ ඇහැලේපොල කුමාරිහාමිගෙ අවතාරය කන්ද උඩරට සැසැරිසරනවා කියන එකේ ඇත්ත මොකක්ද?
  • අද කියන්නෙ ඒ සැරිසරනව කියන ඇහැලේපොල කුමාරිහාමිගෙත් ඇහැලේපොල පවුල ගැනත් විස්තර. ඒ 1814 මැයි 17 වැනිදා. කන්ද උඩරට වෙනදා නැති විදියට පාළු මූසල පෙනුමක් ගත්තා.උදෑසනත් රෑ වගේ. වැහි වලාකුළු වලින් අහස බර වෙලා.
  • එදා මහනුවර නාථ දේවාල භූමියේ වැල් බෝධිය ළඟ සූදානම් වුනේ පිංකමකට නම් නෙමේ. මහා පාපකර්මයකට. මත්පැන් බීලා උමතුවෙන් හිටිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ මාලිගාවේ පත්තිරිප්පුවට වෙලා මේ දිහා බලාගෙන සිටියෙ හරි ආඩම්බරයෙන්.
  • ඒ තමන්ගෙ රාජ ආඥාවට අනුව ඒ කාලේ රටේ මහ අධිකාරම් තනතුර දැරුව අද නම් රටේ අගමැති තනතුර කියන ඇහැලේපොළ මහ අධිකාරම්ගේ දරුවන් තුන්දෙනත් භාර්යාව ඇහැලේපොළ කුමාරිහාමිටත් රජුගේ බෙහෙත් ගේ මුහන්දිරම් පදවිය දැරූ නායකයා පුස්සැල්ලෙ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු තවත් පිරිසක් මරා දමන දෙසයි.
  • මොවුන් මරන්න යොදලා තිබුනේ අහස පොළව කම්පා කරවන දඬුවම්. ඇහැලේපොළ මහ අධිකාරම්ගේ වැඩිමහල් දරුවන් හිස ගසා මරා දමන්නටත් කිරිදරුවා වංගෙඩියට දමා කොටන්නටත් නියම කළා. නමුත් කාන්තාවන්ට දඬුවම් පමුණවද්දී රජු සිටි තැනින් ඉවත්ව ගියා කියනවා.
  • එදා රාජසිංහ රජුත් එක්ක මොල්ලිගොඩ නිලමේ, සුදු කොල්ලා කියල කීව රජ මාලිගාවෙ හැදී වැඩුණ කෙනෙක්ද මේ මහා සංහාරයට උඩගෙඩි දෙමින් බලා සිටියා. ඇහැලේපොල පවුල මරලත් රජතුමාගේ වෛරය ඉවර වුනෙ නෑ. පසුව රජු අණ කරන්නෙ කොහොන්සිය පත්තුවෙන් පටන්ගෙන කන්ද උඩරට ගම් දනව් පුරා ඇති සෑම තැනකම ඇති ඇහැල ගස්ද විනාශ කර දමන්න.
  • ඇහැලේපොළ පවුල ගැන ඇහැලේපොළ සන්නසට අනුව බොහෝ තොරතුරු දැනගන්න පුළුවන්.ඇහැලේපොල පවුලේ ප්‍රභූ පිරිස් 1635 – 1684 දක්වා දෙවැනි රාජසිංහ රජුගෙන් ඉන්පසු 1684 සිට 1709 දක්වා ඔහුගේ පුත් දෙවැනි විමලධර්මසූරිය යටතේත්, පසුව 1709 සිට 1739 දක්වා ඔහුගේ මුණුපුරු නරේන්ද්‍රසිංහ රජු යටතේත්, 1739 සිට 1741 දක්වා විජයරාජසිංහ රජු යටතේත් අවසානයේ 1798 සිට 1815 දක්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේත් උඩරට රාජධානිය අවසන් වන තුරුත් රජයේ ඉහළ පදවි දරා ඇත.
  • සන්නසෙන් හෙළිවෙන්නෙ ඇහැලේපොළවරුන් බත්වඩන නිලමේ පදවිය, පයිඩකාර පදවිය, කෝරලේ පදවි, දිසා පදවිය, සළුවඩන පදවිය ආදියද දරා ඇති බව. මේ විවිධ පදවි තානාන්තර දරමින් ඇහැලේපොළ පරම්පරාව සිදුකළ සේවයට රජු ලබාදුන් සන්නස් පත්‍රයේ මෙසේ සඳහන්.

‘විජයසේකර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න මුදියන්සේ නම් වූ මෙම ඇහැලේපොළ මහ නිලමේගේ දරු මුණුපුරු පරම්පරාව පවත්නාතෙක් පළිමරාළ මඩිහුංගම් නැතිව ප්‍රවේණි සැලැස්මට භුක්චති විඳිනා හැටියට ශත වර්ෂ එක්වා දහස් සසිය හැට හතට පැමිණි ක්‍රෙධන නම් වූ මෙම වර්ෂයෙහි නිකිණි මස අව විශේණිය නම් තිථිය ලත් සඳුදා මෙදවස සන්නස් තාඹ පත්‍රය දෙවා වදාළ පනතේ එසේම පණිවුඩ පනතයි.’

  • ඉතිං මෙහෙම රජතුමාගේ ගරුබුහුමන් ලැබුව, රජුට හිතවත්ව සිටිය ඇහැලේපොල පවුලට රජු මේ තරම් වෛර කලේ ඇයි? ඔවුන් මැරුවෙ ඇයි. මේ බොහෝ ගැටුම් වලට හේතු වුනේ ඇහැලේපොළ අධිකාරම් තමන්ගෙ බිරිඳ කැඳවාගෙන ඒම. ඒ කාලේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මව උඩරට සිටි රූමත්ම කාන්තාව බවට ජනතාව අතරේ ප්‍රසිද්ධව සිටියා. ඒත් පසුකාලීනව ඇහැලේපොළ කුමාරිහාමි උඩරටට පැමිණීමත් සමඟ එම තත්ත්වය වෙනස් වී තිබේ.
  • එදා සිට උඩරට රූමත්ම සහ ගුණවත්ම කාන්තාව ලෙස ජනතාව ආදරය දිනා ගත්තෙ ඇහැලේපොළ කුමාරිහාමි බව කියනවා. දුගී පැලක අගහිඟකමක් ඇතැයි ආරංචි වූ විගස එම නිවෙසට කාලයකට අවශ්‍ය ආහාරපාන යැවීමට තරම් ඇහැලේපොළ කුමාරිහාමි කාරුණික වුනා.
  • මෙයත් රාජසිංහ රජු හා ඇහැලේපොළලා අතර ආරවුල් හටගන්නට ලොකු හේතුවක් වුනා.ඒ වගේම ඇහැලේපොළ නිලමේ ගැන රජුගේ හිතේ වෛරය ඇතිකරන්නට බලපෑ ප්‍රධානම හේතුවක් තමා රාජසභා මණ්ඩපයේ සිටි අනික් ප්‍රභූවරුන්ගේ කේලාම් හා බොරු. මෙහෙම ඉරිසියාවට ලක් වෙන්න හේතුව තමා තනතුරත් සමඟ ඔහුට ලැබුණු අසීමිත බලතල.
  • ඔහුට රටේ ඉහළම නම්බු නාමයන්ද හිමිවුන අතර, විශාල බලතල ප්‍රමාණයක්ද හිමිව තිබේ. දඩ ගැසීමට, සිර දඬුවම් දීමට, පදවි තානාන්තරවලට පිරිස් පත්කිරීමට හා අස්කිරීමට ඔහුට බලය ලබා දී තිබුණා. ඇහැලේපොල නිළමෙතුමා ගමන් යද්දි නිලයට අදාළ රිදියෙන් සහ රනින් නිම කරන ලද මැණික් එබ්බවූ යෂ්ටියක් රැගෙන යන අතර, පෙර ගමන්කරුවන් කස පුපුරවමින් බෙර, දවුල් සමඟම පසුපසින්, දෙපසින් ආරක්‍ෂකවරු හා හේවායෝ ගමන් කළ යුතුව තිබුනා.
  • රජතුමා හැරුණු කොට මේ වරප්‍රසාද බුක්ති විඳින එකම කෙනා වුනේ මහ අධිකාරම් ඇහැලේපොළයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ විවාහ මංගල උත්සවය දවසේ ඇහැලේපොළ දුන්න තෑග්ග ගැන රජු අප්‍රසාදයෙන් පසුවුන බවත් දෙදෙනා අතර වෛරයට එයද මූලික හේතුවක් වූ බවත් ජනප්‍රවාද වල කියනවා.
  • ඒත් ඉන් පසු රජු ඇහැලේපොළ කුමාරි හාමිගේ රූපයට වශී වූ බවත් සිත යටින් ඇයට පෙම් කළ බවත් කියනවා. අවස්ථා කිහිපයකදීම රජු ඇයට රජ මාලිගයට පැමිණෙන ලෙස ආරාධනා යැව්වද ඒ කිසිවක් පිළිනොගන්නට තරම් ඇහැලේපොළ කුමාරිහාමි එඩිතර වී ඇත.
  • ඒත් ඇය ගැන ආශාවෙන් වියරුව සිටිය රජු දවසක් ඇහැලේපොළ අධිකාරම් නැති අතරේ ඔහුගේ නිවෙසට ගොස් ඇගේ උදහසට ලක්ව ආපසු ගිහින්. මෙයින් කෝපයට පත් රජු ඇහැලේපොළ මහ අධිකාරම් සබරගමුවෙන් ගෙන්වා ඝාතනය කිරීමේ කාර්ය භාර දුන්නේ මොල්ලිගොඩට.
  • රජුට පෙර ඇහැලේපොළ කුමාරිහාමිට වසඟවී ඇගේ දෝෂාරෝපණයට ලක්ව සිටි මොල්ලිගොඩට එය හොඳ අවස්ථාවක් වුනා. ඒත් සෙංකඩගලට එන විට ඇහැලේපොළට අතරමගදීම ආරංචිය ලැබී අශ්වයා හරවාගෙන ආපසු ගිහින් ඉංග්‍රීසීන්ට එකතු වුනේ ඒ මොහොතේ කරන්නට තිබූ හොඳම දෙය ඒ නිසා වෙන්න පුළුවන්.
  • මේ මොනව වුනත් අන්තිමට ඇහැලේපොළ දරු පවුල මරණයෙන් වන්දි ගෙව්වා. එදා සෙංකඩගල පුර ජනතාව හැඬූ කඳුළින් දින ගණනක් නිවෙස් තුළ ළිප ගිනිවත් නොදල්වා සිටි බව ජනප්‍රවාදයේ කියනවා. එදා සිට අද වෙද්දි අවුරුදු ගාණක් ගණනාවක් ගෙවිලා ගියත් තවමත් ඇහැලේපොළ කුමාරිහාමි අවතාරයක් වෙලා සෙන්කඩගල සැරිසරන බවට ජනතාව තුළ මතයක් ඇත.
  • ඒ වගේම ඇය අදටත් දුගී මිනිසුන්ට පිහිට වෙන බවටත් කුඩා දරුවන්ට සිදුවීමට යන අනතුරුවලින් ඔවුන්ව බේරා ගන්නා බවටත් ජනප්‍රවාද වල කියනවා. කාටවත් කරදරයක් නොකර ඇහැලේපොල කුමාරිහාමිගෙ ආත්මය කන්ද උඩරට සෑම තැනකම සැරිසරන බවට අදත් කන්ද උඩරට මිනිස්සු විශ්වාස කරනවා.