Hela Rahas

Hela Rahas Official Web Portal

මැජික් කියලා ‍රැවටෙන විද්‍යාත්මක පරීක්ෂණ 10 ක්

කුඩා කාලයේ අපි කවුරුත් මැජික් කියලා ‍රැව‍ටුණු විද්‍යාත්මක පදනමක් ඇති සරල පරික්ෂණ කිහිපයක් ගැනයි අද අපි ඔබට කියාදෙන්නේ.ඔබේ නිවසේ කුඩා දරුවන් සිටිනවානම් ඔවුන් සමඟ මේ සරල විද්‍යාත්මක පරීක්ෂණ අත්හදාබලන්න ඔබට හැකියි! ඒවා ඔබට අපූරු මෙන්ම විනෝදජනක අත්දැකීමක් ලබාදෙනු ඇති බව විශ්වාසයි.

1.ලාවා ලාම්පුව

  • අවශ්‍ය ද්‍රව්‍ය:ලුණු, ජලය, එළවළු තෙල් වීදුරුවක්, ආහාර වර්ණක කිහිපයක්, විශාල විනිවිද පෙනෙන වීදුරුවක් හෝ බෝතලයක්
  • ක්‍රමය:විශාල බඳුන 2/3 ක් වන සේ ජලයෙන් පුරවන්න. එයට එළවළු තෙල් එක්කරන්න. තෙල් ජලය මත පාවිමට පටන්ගනු ඇත. ඉන්පසු, වර්ණක ජලයට එක්කරන්න. අවසානයේ සෙමින් ලුණු තේ හැඳි එකක් පමණ ජලයට එක්කරන්න.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?ජලයට වඩා තෙල් සැහැල්ලු බවින් වැඩි නිසා ඒවා ජලය මත පාවේ. ලුණු එක්කල විට ලුණු කැටිති මඟින් තෙල් බඳුනේ අඩිය තෙක් ඇදගෙන යාම සිදුකරයි. ලුණු කැට ජලයේ දියවීගිය පසු තෙල් අංශු නැවත ජලය මතුපිටට පැමිණෙන්නට පට්නගනියි. වර්ණක නිසා මෙය පැහැදිලිව වර්ණවත්ව දැකගත හැකිවේ.

2.ගෙදරදීම දේදුන්නක් හදමු

  • අවශ්‍ය ද්‍රව්‍ය:ජලය පිරවූ තටාකයක් හෝ බේසමක්, ෆ්ලැෂ් ආලෝකයක්, කණ්ණාඩියක්, සුදු කඩදාසියක්
  • ක්‍රමය:ජලය පිරවූ තටාකයේ හෝ බේසමේ අඩියේ කණ්ණාඩිය තැන්පත් කරන්න. ෆ්ලැෂ් ආලෝකය කණ්ණාඩිය දෙසට එල්ල කරන්න. ආලෝකයේ පරාවර්තනය සිදු කඩදාසිය මතට වැටෙන්නට ඉඩසැලැස්විය යුතුය. මෙය නිවැරදිව සිදුකලේ නම් කඩදාසිය මත ඔබට දේදුන්නක් දැකිය හැකි වනු ඇත.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?ජලය හරහා ආලෝකය ගමන් කරන විට එම ආලෝක ධාරාව එහි සංරචක වර්ණ වලට භේදනය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේදුන්නක වර්ණ දැකිය හැකි වේ.

3.ගිනිකන්දක්

  • අවශ්‍ය ද්‍රව්‍ය:තැටියක් (ට්‍රේ එකක්), කුඩා ප්ලාස්ටික් බෝතලයක්, වැලි, මැටි,ආහාර වර්ණක. බේකිං සෝඩා, විනාකිරි
  • ක්‍රමය:වැලි සහ මැටි මිශ්‍ර කරමින් කුඩා බෝතාය වටා ගිනි කඳු හැඩය සකස් කරගන්න. පුපුරා යන ගිනිකන්දක ස්වභාවය ගැනීමට, බෝතලයට බේකිං සෝඩා මේස හැඳි 2 ක් එක්කරන්න.එයට උණුසුම් වතුර වීදුරුවකින් 1/4 ක් එක්කරන්න. වර්ණක එක්කරගන්න. එයට විනාකිරි වීදුරුවකින් 1/4 ක් එක්කරන්න.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?සෝඩා සහ විනාකිරි මිශ්‍ර වන විට ප්‍රබල ප්‍රතික්‍රියාවක් හටගනියි. එහිදී ජලය, ලුණු සහ කාබන්ඩයොක්සයිඩ් (ගිනිකන්දේ අභ්‍යන්තරයෙන් ද්‍රව්‍ය පිටකෙරෙන්නේ මෙම වායු බුබුල් නිසාය)විමෝචනය වීමට පටන්ගනියි.

4.වර්ධනය වෙන ක්‍රිස්ටල් (ස්ඵටික)

  • අවශ්‍ය ද්‍රව්‍ය:ලුණු, ජලය, වයර් කැබැල්ලක්
  • ක්‍රමය:මේ සඳහා අධි සංතෘප්ත ලවණ ද්‍රාවණයක් අවශ්‍ය වේ. එනම් තවදුරටත් ලුණු එක්කල ද ජලයේ ඒවා දිය නොවන ස්වභාවයකින් ද්‍රාවණය තිබිය යුතු වීමය.මෙම ද්‍රාවණය උණුසුම්ව තිබිය යුතුය.මේ සඳහා ආසුත ජලය (distilled water) භාවිතා කිරීම වඩාත් සුදුසුය.සකසාගත් ද්‍රාවණය ලුණු වල ඇති අපද්‍රව්‍ය ඉවත්වන සේ වෙනත් බඳුනකට දමන්න. වයර් කැබැල්ල ගෙන එහි එක් අගකින් ලූපයක් ගැටගසා ද්‍රාවණයේ ඔබන්න. ද්‍රාවණය එක්වරම සිසිල් නොවන සේ මෙම බඳුන උණුසුම් ස්ථානයකින් තබන්න. දින කිහිපයකින් පසු, ලුණු ස්ඵටික වයරය මත වර්ධනය වෙමින් ඇති ආකාරය ඔබට දැකිය හැකිය. වයරය විවිධ හැඩ වලට නමමින් සැරසිලි කිරීමට ද හැකිය.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?ජලය සිසිල් වන විට ලුණු වල ද්‍රාව්‍යතාව අඩු වී යයි.එහිදි ඇති වන අවක්ෂේපනය නිසා ලුණු ස්ඵටික බඳුනේ බිත්ති වල සහ වයරය මත වර්ධනය වේ.

5.නටන කාසිය

  • අවශ්‍ය ද්‍රව්‍ය:බෝතලයක්, බෝතලයේ කට ආවරණය වන තරමේ කාසියක්, ජලය
  • ක්‍රමය:මූඩිය නොමැතිව හිස් බෝතලය අධි ශීතකරණයේ තබන්න. මිනිත්තු කිහිපයක් එසේ තබන්න. කාසිය ගෙන ජලයේ ඔබන්න. අධි ශීතකරණයෙන් බෝතලය ඉවතට ගෙන බෝතල් කට උඩ කාසිය තබන්න. තත්පර කිහිපයකින් අනතුරුව, බොතල් කට උඩ කාසිය සියුම් ශබ්දයක් නගමින් උඩ පැනීමට පටන්ගනු ඇත.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?සිසිල් වායුවලට වඩා උණුසුම් වායු වැඩි අවකාශයක් ගනියි. අධි ශීතකරණයෙන් බෝතලය ඉවතට ගත් විට එහි ඇතුලත තිබූ වාතය උණුසුම් වී විස්තාරණය වීමට පටන්ගනියි. බෝතල් කට හරහා මෙම වායුව පිටවන විට කාසිය සෙලවීමට පටන්ගනියි. කාසිය නටනවාක් මෙන් පෙනෙන්නේ මෙම ක්‍රියාවලියයි.

6.එළකිරි වල මැවෙන වෛවර්ණ රටා

  • අවශ්‍ය ද්‍රව්‍ය:සම්පූර්ණ එළකිරි, ආහාර වර්ණක, සේදුම් දියර, කොටන් බඩ්, පිඟානක්
  • ක්‍රමය:පිඟානට එළකිරි ස්වල්පයක් වත්කරන්න.එයට වර්ණක කිහිපයක් එක්කරන්න. කොටබ් නඩ් එකක් ගෙන එහි එක් අගක සේදුම් දියර ස්වල්පයක් තවරාගන්න. එම කොටස පිඟානෙහි ඔබන්න. වර්ණක සුළියක් මෙන් විවිධ දිශාවන්ට ගමන් කරමින් අලංකාර රටා මැවෙනු ඇත.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?සේදුම් දියර එළකිරි වල මේද අණු සමඟ ප්‍රතික්‍රියාකරමින් ඒවා චලිත කරවයි. මේ හේතුව නිසයි මේද රහිත කිරි භාවිතා කිරීම මෙම පර්යේෂණයේදි සාර්ථක නොවන්නේ!

7.වීදුරු බඳුනේ ගිනිකෙළි

  • අවශ්‍ය ද්‍රව්‍ය: හිස් වීදුරු බෝතලයක්, ආහාර වර්ණක , උණුසුම් ජලය, එළවළු තෙල් මේස හැඳි 3 ක්
  • ක්‍රමය:බෝතලයෙන් 3/4 ක් පිරෙන සේ උණුසුම් ජලය වත්කරන්න. වෙනත් බඳුනකට තෙල් මේස හැඳි 3 ක් එක්කර එයට වර්ණක බිංදු කිහිපයක් එක්කරන්න. ගෑරුප්පුවකින් ඒවා මදක් මිශ්‍ර කරන්න. එහිදි ඒවා තෙල් වල දිය නොවන බවත් කුඩා බිංදු ලෙස කැඩී යන ආකාරයත් ඔබට දැකිය හැකි වනු ඇත. මෙම මිශ්‍රණය වතුර බෝතලයට එක්කරන්න. වර්ණක බිංදු ජලයේ පහළට ගිලී යමින් හා ජලයේ මිශ්‍ර වෙමින් අලංකාර ගිනිකෙළි පුපුරා යන ආකාරයේ රටා මවයි.
  • එය ක්‍රියාකරන්නේ කෙසේද?ආහාර වර්ණක ජලයේ දියවෙන නමුත් තෙල් වල දිය නොවේ. පළමුව තෙල් වල ආහාර වර්ණක මිශ්‍ර කිරීමෙන් ජලය සමඟ ඒවා මිශ්‍ර වීමේ ක්‍රියාවලිය මන්දගාමි කරවයි. තෙල් වලට වඩා ඝනත්වයෙන් අඩු නිසා ආහාර වර්ණක බිංදු ජලයේ පහළට ගමන් කරන අතර තෙල් වලට වඩා ජලය ඝනත්වයෙන් වැඩි නිසා තෙල් ජලය මතුපිට ‍රැ‍ඳෙයි. ආහාර වර්ණක ක්‍රමයෙන් ජලය සමඟ මිශ්‍ර වීමට පටන්ගන්නා විට එතුල කුඩා ස්ඵෝටනයන් නිර්මාණය වී ගිනිකෙළි බඳු රටා මැවේ.

8.වීදුරු බෝතලයක වලාකුළක්

  • අවශ්‍ය ද්‍රව්‍ය:ගැලුමක් ප්‍රමාණයේ වීදුරු බෝතලයක්, රබර් අත්වැස්මක්, රබර් බෑන්ඩ් එකක්, ෆ්ලෑෂ් ආලෝකයක් හෝ ලාම්පුවක්, ආහාර වර්ණක සහ ජලය
  • ක්‍රමය:අඩිය වැසෙන සේ වීදුරු බෝතලයට නටන උණු වතුර වත්කරන්න.බඳුන ඇතුලත ඉහළ කොටසේ ජලය තැවරෙන සේ අඩියේ ඇති ජලය කලතවන්න. ඇඟිලි පහළට සිටින සේ බෝතල් කට වටා රබර් අත්වැස්ම සවිකරන්න. අත්වැස්මට ඔබේ අත දමා ඉහළට අදින්න. එහිදි අත්වැස්මේ ඇඟිලි ඉහළට එසවේ. ජලයේ කිසිවක් සිදුනොවන බව ඔබට දැකිය හැකි වේ. අත් වැස්ම ඉවත් කර ගිනි කූරක් දල්වා බඳුන තුලට දමන්න. නැවත ඇඟිලි කොටස පහළට සිටින සේ අත්වැස්ම බෝතල්යේ කට වටා සවිකරන්න. ජලය නිසා ගිනි කූර නිවි යන අතර ඇතුලත සුලු දුමක් ඇති වේ. පෙර පරිදිම අත් වැස්මට ඔබේ අත දමා ඇඟිලි කොටස ඉහළට අදින්න. එසේ කරන විට වලාකුළක් නිර්මාණය වන අයුරු ඔබට දැකිය හැකි වනු ඇත. ඔබ නැවත ඔබේ අත අත්වැස්මට දමන විට වලාකුළ අතුරුදහන් වනු ඇත. මෙය මිනිත්තු 10 ක් පමණ පවතියි. ෆ්ලැෂ් ආලෝකයෙන් හෝ ලාම්පු ආලෝකයෙන් මෙම වලාකුළ පැහැදිලිව ඔබට දැකිය හැකිය.
  • එසේ සිදුවන්නේ කෙසේද?වීදුරු බෝතලයේ ඇති වායුව උණුසුම් ජල වාෂ්ප අණු වලින් පිරී පවතියි. බඳුන ඇතුලත යම් අවකාශයක් අත්වැස්ම සඳහා වෙන්වන නිසා අත්වැස්ම මඟින් එහි වායුව සම්පීඩනයට ලක්වේ. අත්වැස්මේ ඇඟිලි ඉහළට අදින විට බඳුනේ අවකාශය ලිහිල් වී වායුව සිසිල් වීමක් සිදුවේ. ගිනි කූරේ දුම ජල අණු බන්ධනය වීමට ප්‍රවාහන මාධ්‍යය සේ ක්‍රියාකරයි. ඒවා දුම සමඟ ඇලලී ගොස් වලාකුළු ලෙස මිදීමට පටන්ගනියි. ඔබට වර්ණවත් වලාකුළු දැකීමට අවශ්‍ය නම් ගිනි කූර එක්කිරීමට පෙර ජලයට වර්ණක බිංදු කිහිපයක් එක්කරන්න.

9.ගින්නට ඔරොත්තු දෙන බැලුම්

  • අවශ්‍ය ද්‍රව්‍ය:බැලුමක්, ජලය, ඉටිපන්දමක් හෝ ලයිටරයක්
  • ක්‍රමය:බැලුම ජලය පුරවා ඉතිරියට හුලං පුරවා ගැටයක් ගසන්න. බැලුම දැල්වූ ඉටිපදමකට හෝ ලයිටරයක් දෙසට පහත් කරන්න. බැලුම පිපිරී නොයයි. දැල්ල බැලුමේ ස්පර්ෂ වුවද එය පිපිරි නොයනු ඇත.
  • එසේ සිදුවන්නේ කෙසේද?වායුව පමණක් පිරවූ බැලුමක් ගිනි දැල්ලකට ඇල්ලිමෙන් පුපුරා යන්නේ බැලුමේ රබර් කොටස් ඉතා ඉක්මනින් රත් වී දුර්වල ව කැඩීයාම නිසාය. වායුව වෙනුවට ජලය පිරවූ බැලුමක් එසේ ගිනි දැල්ලට නිරාවරණය කල විට එහි ඇති ජලය මඟින් තාපයෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීම සිදුකරයි. එම නිසා රබර් කොටස අධිකව රත් නොවේ.

10.බිත්තරයක් සමබර කිරීම

  • අවශ්‍ය ද්‍රව්‍ය:ලුණු ස්වල්පයක්, බිත්තරයක්
  • ක්‍රමය:ඝන මුදු මතුපිටක ලුණු එක් ගොඩැල්ලක් ආකාරයෙන් තබන්න. බිත්තරයක් ගෙන ප්‍රවේශමින් ලුණු මත තබන. අතිරේක ලුණු පිඹිබින් ඉවත් කරන්න. බිත්තරය සමබරව තිබෙනු ඔබට දැකිය හැකි වනු ඇත.
  • එසේ සිදුවන්නේ කෙසේද?මෙහිදි බිත්තරය සමබරව පවතින්නේ යටින් නොපෙනෙන ලුණු කැටිති වලින් ලබාදෙන ආධාරකය නිසාය. ඒවා බිත්තරය සමබරව කෙළින් සිටීමට අත්තිවාරමක් සපයයි.