Hela Rahas

Hela Rahas Official Web Portal

ඔසප් දිනවල ගත යුතු නොගත යුතු ආහාර වර්ග 10ක්

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලියක් ලෙස ඔසප් චක්‍රය හැඳින්විය හැකියි. ඔසප් වීම කාන්තාවකගේ ජීවිතයේ සාමාන්‍යය ස්වභාවික සංසිද්ධියකි. ඔසප් චක්‍රය පුරාවට කාන්තාවකගේ පෝෂණ අවශ්‍යතාවන් වෙනස් වේ. ඊට හේතුව හෝර්මෝන උච්ඡාවචනය විම් පමණක් නොවෙයි. සිරුරෙන් පිටවන රුධිරය සමඟ සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ හා විටමින් ද සිරුරට අහිමිව යයි.

මෙසේ ඉවත්වන පෝෂණය යලි සපුරාගැනීමට නම් ඔසප් දින වලදි කාන්තාවක් විසින් නීරෝගි සමබල ආහාර වේලක් ලබාගැනීමට සැලකිලිමත් විය යුතු බවයි පෝෂණවිශේෂඥයින් විසින් නිර්දේෂ කරන්නේ. ඔසප් දිනවලදි කාන්තාවකට ඇති වන අපහසුතා අතර මස්පිඩු පෙරළීම්, ඉදිමීම්, හිසරදය, ඔක්කාරය හා තෙහෙට්‍ටුකර ගතිය වැනි තත්වයන් දුරුකිරීමට සහය වෙමින් සිරුරට හොඳ පෝෂණයක් ලබාදෙන ආහාර වර්ග කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.ඒ වගේම ඔසප් දිනවලදි ඔබ විසින් ආහාරයට ගැනීමෙන් වැළකි සිටිය යුතු ආහාර කිහිපයක් ද තිබෙනවා. අපි බලමු ඒවා මොනවාද කියලා!

  • ඔසප් දිනවලදි ආහාරයට ගැනීමට සුදුසු ආහාර

1.බ්‍රෝකෝලි

  • ඔසප් රුධිරය සමඟ සිරුරෙන් බහුලව ඉවත්වන ඛනිජ පෝෂකය වන්නේ යකඩයි. එම අවශ්‍යතාව සපුරාගැනීමට බ්‍රෝකෝලි හොඳ ආදේශකයකි. ඒවයෑ තන්තු බහුලය. එමෙන්ම එහි අඩංගු මැග්නීසියම් හා පොටෑසියම් පෝෂක මඟින් බඩ පිපුම අඩු කිරීම, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම සහ මස් පිඬු පෙරළිම් ඇති වේනම් එම මාංශ පේශින් සැහැල්ලි කරවීම සිදුකරයි. යකඩ පෝෂක සිරුරට ලබාගත හැකි තවත් හොඳ ආදේශක ආහාරයක් තමයි නිවිති.

2.කෙසෙල්

  • පොටෑසියම්, මැග්නීසියම් සහ තන්තු බහුල ආහාරයක් වන කෙසෙල් අතුරු ආහාරයක් ලෙස ඔබට රසවිඳිය හැකියි. අක්‍රමවත් ක්‍රමාකුංචන ක්‍රියාවලින් (අන්ත්‍ර ක්‍රියාකාරීත්වයන්) , පාචනය වැනි තත්වයන් සහ අධිකව ආහාර ගැනීමට ඇතිවන ආශාවන් පාලනය කිරීමට සහය ලබාදේ.

3.ඩාක් චොකලට් (dark chocolate)

  • ඩාක් චොකලට් වල යකඩ, මැග්නීසියම්, ප්‍රති-ඔක්සිකාරක ගුණ සහ ෆ්ලැවනෝල් බහුලව අඩංගු වේ. ෆ්ලැවනෝල් මඟින් රුධිර ප්‍රවාහයට සහ රුධිර නාළ ලිහිල් වීම සඳහා හිතකර ප්‍රතිලාභ ලබා දේ. එමෙන්ම ඩාක් චොකලට් යනු ඔබේ මනෝභාවය ප්‍රබෝධමත් කරවන සුලු ආහාරයකි.

4.සැමන්

  • සැමන් වල හිතකර ඔමේගා-3 මේද අම්ල අඩංඋ වේ. සැමන් යනු ප්‍රෝටීන් පෝෂක මූලාශ්‍රයකි. ඔසප් දින අතරේදි සැමන් ඔබේ ආහාර වේලට එක්කරගැනීම තුලින් ප්‍රදාහය අඩුවීම, මස් පිඬු පෙරළීම් සමනය කිරීම සහ ඔසප් චක්‍රය ක්‍රමවත්ව නියාමනය කිරීම වැනි ප්‍රතිලාභ ඔබට හිමිවෙනු ඇත.

5.ඉඟුරු

  • ඉඟුරු යනු ප්‍රදාහය පාලනය කිරීමට භාවිතා කල හැකි හොඳ ඔසුවකි. එමෙන්ම ඔසප් වේදනා සමනය කිරීමට ද ඉඟුරු සහය වේ. ඔබේ තේ කෝප්පයට නැවුම් ඉඟුරු ස්වල්පයක් තලා එක්කර පානය කිරීමෙන් ඔබේ උදර ප්‍රදේශයේ අපහසුතා බොහෝදුරට දුරුකරගැනීමට ඔබට හැකිවේ.

6.දොඩම් හා ලෙමන්

  • ඔසප් දින වලදි සිරුරට අවශ්‍ය විටමින් අවශ්‍යතාව සපුරාගැනීමට හොඳින් පලතුරු හා එළවලු වර්ග ආහාරයට එකතුකරගන්න. පලතුරු අතරින් පැඟිරි කුලයේ පලතුරු වර්ග අනුභව කිරීම ඉතාමත් ගුණදායකය. විටමින් වලට අමතරව ඒවායේ බොහෝ තන්තු පෝෂක හා ජලය අඩංගු වන නිසා ඔබේ සිරුරේ සජලතාව ආරක්ෂා කිරීම මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සහය ලබාදේ. එමෙන්ම පැඟිරි කුලයේ පලතුරු එම දින වලදි දැනෙන ඔක්කාරය, වමනය ආදි අප්‍රසන්න ස්වභාවයන් සන්සිදුවීමට උපකාර කරයි. ඔසප් රුධිරය අධිකව ගැලීම අවම කිරීමට ද ගුණ දේ.
  • ඔසප් දිනවලදි ආහාරයට ගැනීමෙන් වැළකි සිටිය යුතු ආහාර

1.එළකිරි

  • නිතර මස් පිඬු පෙරළීම් සහ බඩේ කැක්කුම් ඇති වේ නම් කිරි නිෂ්පාදන අනුභව කිරීමෙන් වළකින්න. එළකිරි වල ලැක්ටෝස් අඩංගු වේ. ඒව එක් විශේෂ සීනි ප්‍රභේදයක් වන අතර ඇතැම් පුද්ගලයින් හට ඒවා ජීර්ණය කිරීමට අපහසුය. ලැක්ටෝස් හේතුවෙන් බඩ පිපුම, බඩේ වේදනාවන් සහ ඔක්කාරය ගතිය ඇතිවිය හැක. ඔසප් දිනවලදි ඔබ මෙවැනි පීඩාකාරී තත්වයන්ගෙන් පෙළෙන නිසා ඒවා උත්සන්න වන ආහාර පරිභෝජනය කිරීමෙන් වැළකී සිටිම උචිතය.

2.රසකැවිලි හා ස්නැක් වර්ග

  • ඔබේ ප්‍රියතම රසකැවිලි හා ස්නැක් වර්ග අනුභව කිරිමෙන් ඔබේ මනෝභාවය යහපත් වීම සිදුවුවත් ඒවා නිසා බඩ පිපුම,බඩේ ගෑස් ගතිය, ප්‍රදාහය ආදි පීඩාකාරී තත්වයන් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. ඊට හේතුව ඒවායේ අඩංගු පිරිපහදු කල එසේත්නැතිනම් ප්‍රසාදිත සීනි ඉහළ ප්‍රමාණයකින් අඩංගු වීමය. ඔසප් දිනවලදි සිරුරේ රුධිරය හා අත්‍යවශ්‍ය ඛනිජ ඉවත්වෙමින් විවිධ පීඩාකාරි තත්වයන්ට මුහුණ දෙමින් සිටියදි තවත් අපහසුතා වැඩිවන කරවන ආහාර වලින් හැකිතාක් ඈත් වී සිටීම උචිතය. විශේෂයෙන්ම කෘතිම සීනි පරිභෝජනයෙන් ඈත්වි සිටින්න.

3.කැෆේන්

  • ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ කෆේන් පරිභෝජනය නිසා ඔසප්වීමේ කාලය දීර්ඝ වීම හා ඇතැම් අවස්ථාවල ඇමෙනෝරියා (amenorrhea) හෙවත් ඔසප් නොවීම වැනි තත්වයන් උද්ගත වීමට අහිතකරව බලපෑ හැකි බවයි. පූර්ව ආර්තව සින්ඩ්‍රෝමය (premenstrual syndrome) උත්සන්න වීම කෙරෙහිද කැෆේන් පරිභෝජනය බලපෑම් කරයි.

4.සැර අධික ආහාර

  • අධික සැර ආහාර පරිභෝජනය නිසා බඩේ අපහසුතා ඇති විය හැක. නමුත් ප්‍රමාණාත්මකව ඇතැම් කුළුබඩු වර්ග පරිභෝජනය කිරීමෙන් බඩේ අපහසුතා දුරුවනු ඇත. නැවුම් මිරිස් වල ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගු වේ. කොත්තමල්ලි ජලයට දමා රාත්‍රියක් තබා බීම, සුදුලූණු තම්බා බීම ආදි ක්‍රම ඔසප් වේදනා දුරුකරගැනීමට අත්බෙහෙත් ලෙස භාවිතා වේ.