Hela Rahas

Hela Rahas Official Web Portal

වෙහෙසට පත්වන පාද වලට සත්කාර 7 ක්

එදිනෙදා ජීවිතයේ ඇති කාර්යබහුලකම නිසාම ශරීරය බොහෝ වෙහෙසට පත්වීම සිදුවේ.එහිදී ඔබේ දෙපාවලට එල්ලවන බලපෑමත් ඉතා වැඩියි. දවස පුරා එහාමෙහා ඇවිදින විට, බොහෝ වෙලාවක් එකම ඉරියව්වක් සිටගෙන ඉන්නා විට , කුණුදූවිලි දූවිලි වලට නිරාවරණය වීම සහා පාදයේ සම හානියට පත්විම් වැනි ගැටලු මෙන්ම, විශේෂයෙන් පාද පීඩනයට ලක්වී පාදයේ පිහිටා ඇති මාංශ පේශීන් විඩාවට පත් වීම වැනි ගැටලු ඇතිවේ. එවැනි හේතු නිසා වේදනා කැක්කුම් ආදී සෞඛ්‍යය පීඩාවන් හා අපහසුතාවන් ඇති වේ .

එවැනි තත්වයකදී ,මුහුණට වගේම ඔබේ පාද සඳහාත් හොඳ විවේකයක් වගේම විශේෂ සැලකිල්ලක් යොමුකිරිම ඉතා වැදගත් වෙනවා.පාදයේ පීඩාවට පත් වී ඇති මාංශ පේශීන් ලිහිල් කරගනිමින් ඔබට දැනෙන අපහසුතාව සමනය කරගත හැකි, සහ ඔබේ දෙපා වල සුන්දරබව හා නීරෝගි බව ‍රැකගැනීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රම 7 ක් ගැනයි ගැනයි අද අපි ඔබට කියාදීමට සූදානම් වෙන්නේ.

මුහුණට ලබාදෙන සත්කාර වගේම ඔබේ දෙපාවල නීරෝගි බව හා සුන්දර පෙනුම ‍රැකගැනීම කෙරෙහි ද සැලකිලිමත් විම ද එක සේ වැදගත් ය. පාද වල නීරෝගිබව සහා සුන්දරත්වය ‍රැකගැනීමේදි වැඩි අවධානයක් ලබාදිය යුත්තේ පාදයේ ඇඟිලි සහා දෙපතුල් වලටය. මේ ඒ සඳහා ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙන උපදෙස් සහා පාද සත්කාර ක්‍රම කිහිපයකි.

1.සෙන්සරි වෝකිං’ ක්‍රමය (sensory walking)

  • මෙම ක්‍රියාකාරකමේදී සිදුකෙරෙන්නේ විවිධ ස්වභාවයන් (textures) ගන්නා මතුපිට මත ඇවිදීමයි. රවුම් ගල් කැට, ගස් පොතු, කොළ වර්ග, තණකොල පිටි ආදි විවිධ ස්වභාවයන් ගන්නා පෘෂ්ට මත පාවහන් නොමැතිව ඇවිදීම සිදුකරන්න. එමඟින් ඔබේ දෙපා වලට හොඳ සැහැල්ලු සංවේදනයක් දැනීමට පටන් ගනු ඇත. දෙපා වලට මෙන්ම ඔබේ මනසට ද යම් විවේකී බවක්- සහනයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඔබේ දෑස් ආවරණය කරගනිමින් එසේ තණපිටියක් හෝ මෘදු කාපට් එකක් මත සෙමින් ඇවිදින්න. මෙම ක්‍රමය මඟින් ඔබට වඩාත් හොඳ සැහැල්ලු බවක් අත්දැකිය හැකි වනු ඇත.

2.දෙපතුලේ මැරුණු සම ඉවත් කිරීම

  • පාද සඳහා සම්බාහනයක් ලබාදීමට දෙපා වල මැරුණු සම ඉවත් කරමින් හොඳ ස්ක්‍රබ් එක සිදුකරගන්න ( බේකිං සෝඩා+ ජලය මිශ්‍රණය භාවිතා කිරීම එක් ඵලදායි ස්ක්‍රබ් ක්‍රමයකි ) ස්නානය කරන විට ඔබේ දෙපා සඳහා ද ස්ක්‍රබ් සත්කාරයක් සිදුකරන්න. මැරුණු සෛල පහසුවෙන් ඉවත්කරගැනීමට ස්ක්‍රබ් කිරීමෙන් පසු පමිස් ගලක් භාවිතයෙන් පෙඟී ඇති දෙපතුල් මෘදුව අතුල්ලාගනිමින් සම්බාහනය කරන්න. පතුල් පැළීම් තත්වයෙන් හා දෙපා වල සම රළු වීමේ ගැටලුව ඇති අය සඳහා මේ ක්‍රමය ඉතා හොඳ ප්‍රතිලාභ ලබාදෙනු ඇත.පතුල් සම්බාහනය කිරීමෙන් පසු උණුසුම් ජලයෙන් දෙපා හොඳින් සෝදා, තෙත මාත්තු කර, හොඳ මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ගයක් සම මත ආලේප කරගන්න.

3.ටෙනිස් බෝලයකින් දෙපතුල් වලට සරල සම්බාහනයක් කරන ආකාරය

  • පාදයේ පතුල යටින් බෝලය තබාගෙන සෙමින් බෝලය ඉදිරියට හා පි‍ටුපසට තල්ලු කරන්න. මෙමඟින් කලවේ නහර ආශ්‍රිත ප්‍රදේශය ලිහිල් වන සේ පාද වලට හොඳ සම්බාහනයක් ලැබේ.මෙම සරල ක්‍රියාකාරකම මඟින් කෙණ්ඩා (මස් පිඬු) පෙරළීම් ඇතිවීම වළක්වාගැනීමට මෙන්ම, මාංශ පේශීන්ගේ ආතතිය දුරු කරගැනීමට හා සැහැල්ලු බවක් අත්විඳීමට ඔබට හැකිය.

4.දෙපතුල් වලට ව්‍යායාම ලබාදෙන්න

  • පාද ශක්තිමත් කරගැනීම සඳහා ස්ට්‍රෙචිං ව්‍යායාම ක්‍රම අනුගමනය කරන්න.
  1. පොලොව මත කුඩා-මෘදු තුවායක් එලාගන්න.
  2. තුවායේ රෙද්ද මත විලුඹ සිටින සේ පාදය තබාගන්න.
  3. විලුඹට බර දී ,ඇඟිලි හකුලුවමින් තුවායේ ඉහළ දාරය ඇතුල් දෙසට ඇදීමට උත්සාහ කරන්න.

5.අයිස් ආලේප කිරීම

  • ඔබේ පාද වල විලුඹ ප්‍රදේශය ඉදිමී ඇත්නම්, වේදනා -කැක්කුම් දේ නම්, බොහෝ විට ඊට හේතුව ඔබේ පාදය ප්‍රදාහයට ලක්වී තිබීම විය හැකියි. එවන් අවස්ථාවක අයිස් පැක් එකක් හෝ තුවායකට අයිස් කැට කිහිපයක් දමා පොට්ටනියක් සේ සකසා ආසාදිත සම මත මිනිත්තු 15 ක් පමණ කාලයක් පුරා අයිස් වලින් තවන්න. එසේ සිදුකිරීමෙන් පාදයේ වේදනාව සමනය වනු ඇත. අමුත්, කිසිඳු අඩුවක් නොමැතිව දිගින් දිගටම වේදනාව ඇතිවේ නම් වෛද්‍යවරයෙකු හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්න.

6.කෙසෙල් වලින් සත්කාරයක්

  • පාද වල විඩාබර බව දුරුකරවමින් සමට හොඳ ප්‍රතිඵල ලබාදෙන සත්කාරයක් ලෙස මෙය හැඳින්විය හැක.
  1. ඉදුණු කෙසෙල් ගෙඩියක් කැබලි ලෙස කපා බඳුනකට එක්කරගන්න. හැන්දකින් ඒවා හොඳින් පොඩි කරගන්න.
  2. ඔබේ දෙපා උණුසුම් ජලය පිරවූ බේසමක මිනිත්තු 20 ක් පමණ පොඟවාගෙන සිටින්න.
  3. එක් පාදයක් බේසමින් පිටතට ගෙන මිශ්‍රණයෙන් ස්වල්පයක් ගල්වා හොඳින් සම සම්බාහනය කරගන්න. පතුල් වල සිට කෙණ්ඩයේ මාංශ පේශී දක්වා එසේ මිනිත්තු 5 ක් පමණ කවාකාර චලනයකින් සම සම්බාහනය කරන්න.
  4. පාදය සෝදා පිරිසිදුකර අනෙක් පාදයට ද පෙර පරිදිම සත්කාරය සිදුකරගන්න.

7.දෙපා වල නියපොතු කෙටි කරන්න

  • දවස පුරා බොහෝ වේලාවක් සපත්තු පැලඳගෙන සිටීමෙන් පසු ඔබේ ඇඟිලි වල වේදනාවක් ඇතිවෙනවාද? ඊට හේතුව ඔබේ නියපොතු ප්‍රමාණයට වඩා දිගු බවින් වැඩි නිසා විය හැකියි. ඔබේ නිය පාවහන් දාරයේ නිරන්තරයෙන් ගැටීම නිසා නියපොතු ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව දැනීම, සම රළු වී යාම, නිය පොතු ඝන වී යාම වැනි තත්වයන් හටගතහැකියි.නියපොතු හොඳින් කෙටි කර (trim) කැඩුණු හා තියුණු දාර සහිත නිය පොටස් ඉවත් කර පිරිසිදුව තබාගැනීමෙන් පාවහන් පැලඳිමේදි ඇතිවන එවැනි වේදනා දෙන ගැටලු වළක්වාගත හැකිය.