Hela Rahas

Hela Rahas Official Web Portal

ජාන වෙනස් කරපු ආහාර හදුනා ගැනීමට ක්‍රම 3ක්

  • අපි හැමෝම දන්න විදිහට ස්වභාවික ආහාර තමා අපේ සෞඛ්‍යයට ගුණදායක වෙන්නේ. නමුත් වර්තමානය වන විට අධික ජනගහනය නිසා එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට වගේම ආහාර හිඟයට විසඳුමක් ලෙස ජාන විකරණය කරමින් ආහාර නිපදවනවා.
  • බොහෝවිට මේ ආහාර වැඩි අස්වැන්නක් ලබා දීමට, නියමිත කාලයට කලින් අස්වැන්න ලබා දීමට, සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ඵල ලබා දීමට වගේ විවිධ අරමුණු මුල් කරගෙන ඊට අදාළ ජාන වෙනස් කරමින් පළතුරු එළවළු නිපදවනවා.
  • නමුත් මේ වගේ ආහාර වල ගුණදායක බව සහ සෞඛ්‍යයට හිතකර බව ගැන තවමත් තියෙන්නේ ප්‍රශ්නයක්. ඉතින් වෙළෙඳපොළේ තියෙන මේ වගේ කෘතීමව නිපදවපු ආහාර වලින් ස්වභාවික ආහාර තෝරාගන්නේ කොහොමද? හෙළ රහස් තුලින් අද අපි ඔබට ඒ ගැන කියා දෙනවා.
  • ඇමරිකාව,කැනඩාව සහ චීනය වැනි ජනගහනය අධික රටවල් මේ වන විටත් ජාන විකරණය කරන ලද ඉරිඟු , සෝයාබෝංචි සහ අර්තාපල් භාවිතා කරද්දී ඔස්ට්‍රියාව,හන්ගේරියාව සහ ග්‍රීසිය වැනි රටවල් තමන් ජාන විකරණය කරන ලද ආහාර වලින් තොර බවට නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.
  • (GMO free)මේ ජාන විකරණය කරන ලද ආහාර ,එහෙම නැත්නම් GM ආහාර (Genetically Modified) වල හානියක් ගැන තවමත් ඔප්පු වෙලා නැතත්, ස්වභාවික දේ කෘතීම දේට වඩා කොහොමත් හොඳ නිසා ඔබ කාබනික ආහාර තෝරා ගන්න එක වඩාත් නුවණට හුරුයි. මේ තියෙන්නේ ඒ විදිහට ආහාර වෙන් කරලා හඳුනාගන්න ක්‍රම කිහිපයක්.
  • GMO කියන්නේ, Genetically Modified Organisms කියන එකයි. ඒ කියන්නේ “ජාන විකරණය කරන ලද ජීවීන්.” මේ ජීවීන් ශාක වෙන්න පුලුවන් ,සතුන් වෙන්න පුලුවන්, ඒ වගේම ක්ෂුද්‍ර ජීවීන් වෙන්නත් පුලුවන්. මේකේදි කරන්නේ ඒ ඒ ජීවීන්ගේ තියෙන ජානයක් වෙනස් කිරීම හෝ වෙනත් ජීවියෙකුගේ තියෙන වාසි සහගත ජානයක් මේ ජීවියාට අලුතින් හඳුන්වාදීම. කොහොමහරි අන්තිමේදි වෙන්නෙ මේ ස්වභාවික ජීවියා modify වෙන එක.එහෙම නැත්නම් වෙනස් වෙන එකයි.
  • මේ විදිහට විකරණය කරන ලද ආහාර පළිබෝධකයන්ට, වෛරස් සහ දිලීර වලට ප්‍රතිරෝධී වෙනවා. ඒ වගේම ස්වභාවික කාබනික ආහාර වලට වඩා රසින් වැඩියි. ඉක්මනින් මේ බෝග වර්ධනයත් වෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය බෝගයක ඵලදාව ගන්න අපිට බලන් ඉන්න වෙන තරම් කාලයක් මේ බෝග වලින් අපිට ඵලදාව ගන්න බලන් ඉන්න ඕනෙ නැහැ.
  • දැනට නම් ,මේ ජාන විකරණය කරන ලද ආහාර අහිතකර බවට “විද්‍යාත්මක සාක්ෂි” නැහැ. බොහෝ පරීක්ෂණ සහ අධ්‍යන වලින් මේ බව තහවුරු කරලා තියෙනවා.
  • GM නිෂ්පාදන / ජාන වෙනස් කරන ලද නිෂ්පාදන වලින් ආසාත්මිකතා( allergy) ඇතිවෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ ආහාර වලට වෙනත් ආහරයක ජාන ආදේශ කරලා තිබීම.එතකොට හිතන්න ඔබ රටකජු වලට ඇලර්ජි තත්වයක් පෙන්වන කෙනෙක් කියලා.ඔබ දන්නැතුව රටකජු වලින් ගත් ජානයක් ඇතුල් කල වෙනත් කෑමක් ආහාරයට ගන්නවා. එතකොට ඔබ ඒ ආහාරයට ආසාත්මිකතාවයක් පෙන්වනවා. ඇත්තටම බැලුවොත් ඒ වෙලා තියෙන්නේ ඔබ ආසාත්මිකතාවයක් පෙන්වන ආහාරයෙන් ගත් ජානය මේ ආහාරයේත් අඩංගු නිසා. ඒ නිසයි එළවළු පළතුරු ගනිද්දී හැම වෙලේම ලේබලය පරික්ෂා කරන්න කියන්නේ.

1.ලේබලය පිරික්සීම.

  • ඔබ ස්වභාවික කාබනික ආහාර (organic food) සොයනවා නම් ලේබලයේ මේ විදිහට සඳහන් කරලා තියේවි.
  • 100% organic (100%ක් කාබනිකයි)
  • organic (කාබනිකයි)
  • made with organic ingredients (කාබනික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත)මේ විදිහට සිංහලෙන් ,ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් සදහන් නම් ඒ ස්වභාවික ආහාරයි.
  • තවත් ලේබලයක,
  • GMO free
  • Non- GMO
  • Made without genetically modified ingredients (ජාන විකරණය කරන ලද අමුද්‍රව්‍ය වලින් තොරව නිපදවා ඇත)මේ ක්‍රම 3න් එකක් විදිහට ලේබලය තියෙනවා නම් ඒවායේ ඇත්තටම ජාන වෙනස් කරන ලද ජීවියෙක්(GMO) අඩංගු වෙන්න පුලුවන්. නමුත් ඒවා එහි 0.9% කට වඩා නම් අඩංගු වෙන්නෙ නැහැ.ඇමරිකාවේ නම් එළවළු පළතුරු වල PLU කේතයක් තියෙනවා අංක 5කින් යුත්.නමුත් GM නිෂ්පාදනයක නම් මේ කේතයේ අංක 8ක් තිබෙනවා. ඒ නිසා ඇමරිකාවෙන් ආනයනය කරන ලද පළතුරු වගේ දේක නම් මේ ක්‍රමයෙන් අපිට GM නිෂ්පාදන සොයාගන්න පුලුවන්.

2.ඔබ මිලදී ගන්න එළවළු පළතුරු වල පෙනුම පිරික්සන්න.

  • ජාන වෙනස් කරල ලද ආහාර අංග සම්පූර්ණ ලෙස දිස්වෙනවා. නියම හැඩයෙන්, එකම ප්‍රමාණයෙන් තියෙන මේ ආහාර වල කල් පැවැත්මත් හොඳයි. උදාහරණයක් විදිහට බැසිලස් තුරින්ජියෙන්සිස් (Bacillus thuringiensis) ජානය ඇතුල් කල ආහාර වලින් පළිබෝධකයන්ට හානිකර විෂක් නිපදවනවා.මේ නිසා GM ආහාර බොහෝවිට කිසිම විදියකින් සත්තු කාලා නැති රෝග නැති පරිපූර්ණ ලස්සන මතුපිටකින් යුක්තයි. සත්තු විදලා පැල්ලම් සහිත විවිධ ප්‍රමාණයෙන් තියෙන එළවළු පළතුරු තමයි ස්වභාවික ඒවා.

3.ඔබට ජාන විකරණය කරන ලද ආහාර මග හරින්න ඕනෑ නම් මේ ලැයිස්තුව මතක තියාගන්න.

  • සෝයාබෝංචි වලින් 78%ක්, ඉරිගු වලින් 33%ක්, කපු වලින් 64%ක් සහ රේප්සීඩ් වලින් 24%ක්. (Rapeseed කියන්නේ කැනෝලා තෙල් නිපදවන ඇට වර්ගයක්) මේ විදිහට ජාන වෙනස් කරන ලද ඒවා.මේ තියෙන්නෙ ඒ ජාන වෙනස් කරන ලද අමුද්‍රව්‍ය වලින් නිපදවන ආහාර ලැයිස්තුවක්.
  1. සොසේජස්
  2. කිරිසහ චීස් නිෂ්පාදන
  3. අර්ධ ලෙස පිසින ලද ආහාර
  4. සීරියල් වර්ග
  5. පාන්
  6. පැණිරස බීම
  7. පීනට් බටර්
  8. මයොනෙස්
  9. චොක්ලට් සිරප්.