Hela Rahas

Hela Rahas Official Web Portal

කදිර පුර සිට ලංකාව සුරකින කතරගම දෙවියෝ

  • කතරගම දෙවියො කියන්නෙ ලෝකසත්වයාට යහපත උදාකරන, යහපත් දේට උදව් කරන දෙවිකෙනෙක් විදියට තමා ලාංකිකයො හඳුන්වන්නෙ. අපෙ රටේ ජාති ආගම් භේදයක් නැතිව අදහන දෙවිකෙනෙක් තමා කතරගම දෙවියො කියන්නෙ.
  • කඳ සුරිඳුන්ට මුහුණු හයකි. අත් දොළහකි. කෙටේරියක්‌, දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කඩුවක්‌, අඬකුසයක්‌, මුගුරක්‌, සැවුල් ධජයක්‌, සංඛයක්‌, තෝමරයක්‌ යන අවි දොළසක්‌ අත් දොළොස සමග රක්ත වර්ණ ශක්තීන් සමග කීර්තිය බලය සමග සැමට පිහිට වන බව ජනප්‍රවාදයේ සදහන් වෙයි. ඒ වගේම කඳ සුරිඳුගෙ සිරුර රන්වන්ය. ස්වර්ණ මයුර වාහනය එතුමාගෙ රථයයි.
  • සිංහලයා “කතරගම දෙවියන්” “කදිර සුරිදු” යන නමින් ද හින්දු ජනතාව අතර ස්කන්ධ, කුමාර, , මුරුගන්, වේලන් ආදි නමින් හඳුන්වනවා. මුරුගන් දෙවියන්ගේ ආයුධය – වේලායුධය වේලන්ගේ ආයුධය නොහොත් වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත. අදටත් වේල් යන නමින් ‍ද්‍රවිඩ ජාතිකයන් ඇදහීමට භාජනය කරන මෙය වේලන් නොහොත් කතරගම දෙවියන්ට තම මව පාර්වතී විසින් තම බලය පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීමට ලබාදුන් බවත් ‍ජනප්‍රවාද වල කියනවා.
  • එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බවත් ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් කියනවා.
  • ඉන්දියාවේ ලියා තිබෙන ආගම් ඉතිහාසයේ සෘග්වේද සමයෙහි “ස්‌කන්ධ” යන නමින් හැඳින්වුණු දෙවියන් පසු කලෙක ස්‌කන්ධ නමින් ප්‍රකට වූ දෙවියන් කියලා විචාරකයින් කියනවා. වේද සාහිත්‍යයේ එන තොරතුරු අනුව ස්‌කන්ධ දෙවියන් එකල ජනප්‍රිය දෙවිවරුන් වූ අග්නි, සෝම ඉන්ද්‍ර, මරුත් ආදී දෙවිවරුන් හා සම ලක්‌ෂණ හා තේජස දැරූ ජනතාවගේ හදවත්හි නිරතුරුව වැජඹුණු දෙවිවරයෙක්‌. කලක්‌ ගතවීමේදී මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී ගොස්‌ බ්‍රාහ්මණ සාහිත්‍ය යුගය වනවිට මෙම දෙවියන් තව තවත් තෙදින් බලයෙන් ඔද වැඩි ගිය අයුරු එම වීර කාව්‍යයන් හි එන ස්‌කන්ධ පිළිබඳ තොරතුරුවලින් කියවෙනවා.
  • ශිවගේත් පාර්වතියගේත් පුතකු ලෙස ස්‌කන්ධ දෙවියන් හඳුන්වනු දකුණු ඉන්දිය කුමාර, කාර්තිකේය, සුබ්‍රමනියම්, මුරුගන් යන නම්වලින් ස්‌කන්ධ දෙවියන් හඳුන්වනවා. මෙසේ ඉන්දියාවේ බලපරාක්‍රමයෙන් වැඩි ගිය මේ දෙවිදුන් පිළිබඳ විශ්වාසය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ භාරතියන් සමග ලංකාවට පැමිණි බව කියයි.
  • එහෙම සංක්‍රමණය වුන ස්‌කන්ධ භක්‌තිකයන් රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනාවාස ගොඩනගා ගැනීම නිසා එම විශ්වාසයෙ ලාංකේය කේන්ද්‍රස්‌ථානය කතරගම වූ බවත් සමහර තොරතුරු වල ඇත. කතරගම දෙවිඳුන් කියලා එතුමන් හැඳින්වෙන්නට වූයේ මේ හේතුව නිසාය. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. ඈත අතීතයේ කාරක නම් අසුරයෙක්‌ ලක්‌දිව දකුණු දෙසෙහි ජනතාව පෙළමින් සිය අණසක පතුරවා ගෙන සිටි බව සඳහන්.
  • ඉන්දියාවේ නිර්භීත සෙන්පතියකුව සිටි කඳකුමරු ලංකාවට පැමිණ කාරක අසුරයා විනාශ කොට එහි බලය සිය අණසක යටතට ගෙන ජනතාවගේ අතිශය ප්‍රසාදයට භාජන වන පරිදි පාලනය ගෙන ගියා. ජනතා ප්‍රසාදයේ ප්‍රතිඵල විදියට එතුමා දේවත්වයෙන් පිදීමට ජනතාව පෙළඹුණු අතර සෙසු ප්‍රදේශවල ජනතාව අතරටද පැතිර ගිය බව ජනප්‍රවාද වල කියනවා.
  • අනුරාධපුර යුගයේදී ගැමුණු කුමරයා මැණික්‌ නදී තෙරෙ පෙහෙවස්‌ සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිදුන් ඔහු හමුවෙහි පෙනි සිට බුදුසසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත් තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජන ප්‍රවාදයෙ සඳහන්. දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩ නගන ලද්දේ ද මෙයට කෘතගුණ දැක්වීමට යෑයි සැලකේ.
  • ඒ වගේම කතරගම කිරිවෙහෙර පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝෝෂා නම් දෙවියෙකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වේ. මේ මහා ඝෝෂ දෙවිඳුන් කඳ සුරිදුන්ම බව විශ්වාස කරනවා. කතරගම ඇසළ පෙරහැර, ඉල් මස කච්චි නැත්නම් කාන්ති උත්සවය හා සිංහල හා හිංදු අලුත් අවුරුදු උත්සවය යනුවෙන් උත්සව 3ක් පවත්වනවා.
  • කතරගම ඇසළ මහ පෙරහැර ආරම්භ වීමට මොහොතක්‌ තියා ඈත වැඩිහිටි කන්දෙන් කතරගම මහා දේවාලය වෙත ආලෝකය සහිත හීයක්‌ විදුලි සැරයෙන් එන බව ජනවහරින් කියනවා. මේ විදුලි සැරය කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමට මොහොතකට කලින් එන බව පැවසේ. මේ විදුලි සැරයෙන් හඟවන්නේ කතරගම දෙවියන් මහා දේවාලයට වැඩිය බව යෑයි විශ්වාසයක්‌ ඇත. කතරගම ඇසළ මහ පෙරහැර නරඹන්නට විදුලි ආලෝකයක්‌ සහිත හීයක්‌ මවාගෙන කතරගම මහා දේවාලය වෙත වඩින කතරගම දෙවියන් සමග වල්ලි අම්මාද එන බව විශ්වාස කරනු ලැබේ.
  • කතරගම දෙවියන් කතරගම කිරි වෙහෙර අසල කිහිරි වනයේදී ගෞතම සර්වඥයන් වහන්සේගෙන් බණ අසා බෞද්ධයකු වී සෝවාන් මාර්ග ඵලය ලබා මිනිස්‌ ලොව ආශ්‍රිතව ජීවත් වන මහා දෙවියකු බව ජනවහරින් කියනවා.
  • තානු තරුණ අරුණ කිරණ බරණින් යස තේජනේ
  • බානු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි රාජනේ
  • මූණු සයකි අත් දෙළසකි මයුරා පිට වාහනේ
  • රූණු රටේ පිහිටි කන්ද කදීර දේව රාජනේ