Hela Rahas

Hela Rahas Official Web Portal

පරංගින් පරදවන්න රාජසිංහ රජුට උදව් කළ පිටියේ දෙවියෝ

  • අදත් පිටියේ දෙවියො අදහන බැතිමත්තු ඉන්නවා. මේ පිටියේ දෙවියෝ කියන්නෙ කවුද කියලා අද බලමු. උඩරට පුද ලබන පිටියේ බණ්ඩාර දෙවි මුල් යුගයේ වී ගොවිතැන ගව පාලනයට අධිපති ලෙඩ රෝග දුරලන ලද දෙවියකු ලෙස ජනතාව අතර භක්තියට පත් වුණා.
  • පිටියේ දෙවියො කියන්නෙ දුටුගැමුණු රජතුමාගේ පුනර්භවටයක් කියලා සමහරු විශ්වාස කරනවා. තවත් ජනකතාවක කියන්නෙ දකුණු ඉන්දියාවේ සොලී රජෙකු විසින් පුතා කළ වරදකට පියා විසින් මැරවූ සොලී කුමාරයෙක් පිටියේ දෙවි ලෙස උපත ලබා ඇති බව. ඔහු තම පියාගෙන් පලිගැනීමට යක්ෂයෙකු ව ඉපදී පිටියේ බණ්ඩාර කුමරු යක්ෂ පිරිවර සමග ලංකාව මැද හුන්නස්ගිරිය අවටින් අහසින් යද්දී කඳු මුදුනේ හිස් පිට්ටනියක් දැක ඒවාට ඇලුම්කර එහි නැවතුණු බැවින් පිටියේ දෙවි ලෙස ප්‍රකට වුන බව.
  • පිටියේ දෙවිඳුගේ මුල්ම බල අඩවිය රට මැද හුන්නස්රි කඳු මුදුන හා ඒ අවට බිම්. ඒවන විට ලංකාවේ රට මැද දුම්බර අඩවිය නාථ දෙවිඳුන්ගේ බලයට යටත්ව තිබුණා. නාථ දෙවිඳුන් මුල් දේවාලය අවුරුදු දෙදහක් පමණ පැරණි පිලවල සියඹලා ගස අවට තිබී ඇත.
  • යක්ෂයෙකු ලෙස අලුතින් දුම්බරට පැමිණි පිටියේ බණ්ඩාර දෙවි අතින් නාථ දෙවි පරාජය වී මහවැලි ගඟෙන් එතර වී හේවාහැටට පලා ගොස් මහනුවර ධර්මරාජ කන්දට පසු බැස මහනුවර දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල බිමේ පසුව පදිංචි වුන බව ජනප්‍රවාදයේ කියනවා.
  • ලෙඩ රෝග සුව කිරීමේ බලයක් ඇති නාථ දෙවි මුල් කල මහායාන බෝධි සත්වයෙකු ලෙස මුහුදුබඩ තොටුපළවල පුද ලබා ඇත. වැලිගම කුෂ්ඨරාජගල නාථ දෙවියේ රෝග සුව කිරීමේ බලය පෙන්වන ප්‍රතිමාවක් ඇත.
  • උඩරට දෙවෙනි රාජසිංහ රජු කල රජුට විරුද්ධව ඉතා රහසිගතව පෘතුගීසි සේනාංකයක් කටුගස්තොට හරහා මහවැලි ගඟ දිගේ උඩරටට ඇතුළු වුනා. ඉතා රහසිගතව සිදුවූ මෙම පෘතුගීසි ආක්‍රමණයේදී දෙවන රාජසිංහ රජුට මේ පිළිබඳව චර පුරුෂ තොරතුරු ලැබෙමින් පැවතුනා. පිටියේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ රජු පෘතුගීසීන් පැරදවීමට පිටියේ දෙවිඳුන් පිහිට ඉල්ලා බාර වුන බව කියනවා.
  • මහවැලි ගඟ දිගේ ඉදිරියට ආ පෘතුගීසි හමුදාව ලේවැල්ල දෙසින් අරුප්පොල බලා ඉතා රහසිගත අයුරින් ඉදිරියට ඇදෙන්නට විය. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කල ලියැවී ඇති පිටියේ සුරිඳු පුවත කාව්‍ය ග්‍රන්ථය අනුව එක් උදෑසනක පෘතුගීසීන් ලේවැල්ල තොටුපලට ළඟා වී ඇත. ගඟ දෙපස පැතිර තිබූ සුදු වැලිතලා ඉතා විසිතුරු විය.
  • උදේ දීප්තිමත්ව පායා තිබූ හිරු පිටියේ දෙවිඳුගේ බලපෑමෙන් මොහොතින් අඳුරු වී අහස කළු වළාකුලක් පිරී තද අන්ධකාරයක් මැද ලේවැල්ල තොටුපළේදී පෘතුගීසි හමුදාව වට කළා. දැඩි අන්ධකාරය මැද පෘතුගීසීන්ට කිසිවක් කළ නොහැකි වුනා. ඉතා කෙටි කලක් තුළ සිංහල හේවායින් අතින් පෘතුගීසි සේනාව මුළුමනින්ම විනාශ විය. ලේවැල්ල තොටුපල දෙපස පැතිර තිබූ සුදු වැලිතලාව පෘතුගීසි ලෙයින් තද රතු පාට විය. ඒ නිසා මේ තොටුපළේ නම ඉන්පසු ලේවැල්ල නමින් හැඳින්වුන බව කියනවා.