Hela Rahas

Hela Rahas Official Web Portal

නීරස කැවිලි දන් දුන්න දුගියා සිටුවරයකු කරපු එඬරු ගසේ දෙවියා

  • පිරිසිදු, යහපත් සිතින් සිදු කරන දේවල් වල කර්ම විපාක අපිට මෙලොවදී හෝ කිසියම් භවයකදී හෝ විපාක දෙනවා. ඉතිං එහෙම විපාක දුන්න වෘක්ෂ දේවතාවකගේ ආනුභාවයෙන් සිදු වුනු සිදුවීමක් ගැන තමා අද කියන්නෙ.
  • බෞද්ධ සාහිත්‍යයේ ආරාම දේවතා’ කියලා හැඳින්වෙන වෘක්ෂ දේව කොට්ඨාසය බූමටු දෙවි යනුවෙන් හඳුන්වනවා. මේ දේවතාවන් උයන්, කෙත්වතු ආශ්‍රිතව වැඩ සිටින බව සංයුක්ත නිකාය අට්ඨකතාවේ සඳහන්. බෞද්ධ සාහිත්‍යයේ විමාන වත්ථු අට්ඨ කතාවට අනුව මෙම දෙවිවරුන් වැඩ වෙසෙන විවිධ වෘක්ෂයන් ලෙස කොහොඹ, නළේරු ආදී ගස් ගැන කියනවා.
  • ඒ වගේ එන එඬරු ගසේ දෙවියා එසේ මෙසේ දෙවි කෙනෙකු නොව අප බුදුරජාණන්වහන්සේගෙ බෝධිසත්ව ආත්ම භවයක්. ජාතක අට්ඨ කතාවේ එන පනස් ජාතකයට කුඩ්ඩකපූව ජාතකය ලෙස එය ඇතුළත්.කුඩ්ඩකපූව කියන්නෙ කුඩු කැවුම නැත්නම් ධාන්‍ය කුඩුවලින් තනන ලද කැවිල්ල කියලා. පන්සිය පනස් ජාතක කතා පොතේ එම එඬරු ගසේ දෙවියන් ගැන කතාව මෙසේය.
  • අතීතයේ බරණැස් නුවර වැසියන් විවිධ වෘක්ෂ දේවතාවන්ට පුද පූජා පවත්වන අතරේ එක දුප්පත් පුද්ගලයෙක් එක්තරා එඬරු ගසක් තෝරා ඒ අවට ශුද්ධ පවිත්‍ර කර ඒ ගසේ වැඩ හිඳින දෙවියන්ට පුද පූජා කරන්නට පටන් ගෙන. සෙසු නුවර වැසියන් තමන් අදහන රුක් දෙවිවරුන් උදෙසා මල්, පහන්, රසවත් බොජුන් පූජා කළත් ඒවා සපයා ගැනීමට තරම් ධනයක් මේ දුගියා සතුව තිබුනේ නෑ. ඒ ඔහු තමන් හට සපයා ගත හැකි වූ ධාන්‍ය කුඩුවලින් නීරස කැවිල්ලක් සාදා එම එඬරු ගසේ දෙවියන් බැහැ දකින්නට ගියා. දුගියාට යන අතර මෙහෙම සිතිවිල්ලක් පහළ වුනා.
  • ‛දිව්‍යමය ආහාර අනුභව කරන දෙවිවරු මේ වගේ කටුක ආහාර අනුභව නොකරන එකේ මම මේ කරන්නේ තේරුමක් නැති දෙයක්”. මෙහෙම හිතලා මේ දුප්පත් මිනිසා දුකින් ආපසු හැරෙත්ම ඒ එඬරු ගසේ සිටි මිනිසා අර්ධ ශරීරයෙන් ඒ දුගියා ඉදිරියට ඇවිත් මේ ගාථාව කීවා.
  • යථන්නෝ පුසෝ හෝති – නථන්නෝ තස්ස දේවතා
  • ආහාරේතං කනං පුවං මේ භාගං විනාසයා
  • ‘යමකුට යම් ආහාරයක් හිමි නම් ඔහුගේ දේවතාවාට ද එම ආහාරයම හිමිය. එනිසා මේ කුඩු කැවුම (කණිං පූව්‍ය ඉවත නොදමා මට දුන මැනවි. යනු එහි අරුතය. මින් අතිශය සොම්නසට පත් එම දුගියා තමන් විසින් ගෙන යන ලද කුඩු කැවුම හෙවත් කැවිල්ල එම එඬරු ගසේ දෙවියාට පූජා කළේය. එම ආහාරය පිළිගැනීමෙන් පසු එම දෙවියා දුගී පුරුෂයාගෙන් එක් පැනයක් ද ඇසීය. එනම් නුඹ මා පුදන්නේ කවර හේතුවක් නිසාද? යන්නය.
  • එවිට දුගියා ගත් කටටම දෙන පිළිතුර වුනේ දුප්පත්කම නිසා කියලා. එහෙනම් මේ ගඟ වටේ බිම හාරා මතු වන හැලි අරගෙන රජතුමාට පෙන්වපන්. උඹට සිටු පදවියක් ලැබෙයි කියලා දෙවියා අතුරුදහන් වුණා.
  • එම දෙවියන් කී ලෙසම එම එඬරු ගස වටා භාරා ගොඩ ගත්ත මහා ධන නිධාන සහිත හැළි රජතුමාට ලබා දී ඔහු සිටු පදවිය ලබා ගත්තා. තමාට හැකි පමණින් දන් දී ඒ දුගී මිනිසා ලබා ගත් ආනිශංස කෙතරම්ද. මේ කතාව අද සමාජයට හොඳින්ම ගැළපෙන කතාවක්. අද බොහෝ දෙනා පිංකම් කරන්නේ තමන්ට පුළුවන් විදියට නෙමේ. ලෝකයාට අසල්වාසින්ට තමන්ගෙ හැකියාව පෙන්වන්න, තමන්ගෙ තත්ත්වය තරාතිරම පෙන්වන්න.
  • ඉතිං මේ කතාවෙන් පැහැදිලි වෙනවා දන් දීම සිදු කරන්න අවශ්‍ය ලෝකයාට අවශ්‍ය ලෙස නොවේ තමන්ට ඇති හැකි ලෙස පිරිසිදු චේතනාවෙන් කියලා.