Hela Rahas

Hela Rahas Official Web Portal

දරුවන්ට නිතර ලබාදෙන හානිකර ආහාර වර්ග 7 ක්

කුඩා දරුවන්ට ආහාර පාන ලබාදීමේදි ඔවුන්ගේ කායික ස්වභාවයන් අනුව වයසට උචිත වන ඒවා ‍තෝරා බේරාගැනීමත් ඉතා වැදගත් වේ. අධික පැණි රස ආහාර පාන අනුභවයට ගන්නා දරුවන්ගේ රස අංකුර වල සංවේදීතාව අඩු වී යන අතර ඊට පෙර ඔවුන් ආහාරයට ගත් ගුණදායි සාමාන්‍ය ආහාර කෙරෙහි පවා අරුචියක් දැක්වීමට පටන්ගනියි. අධික සීනි පරිභෝජනය යනු නීරෝගිබව ‍රැකගැනීමට බාධා කරන්නකි.නමුත් කුඩා වයසේදි දරුවෙකුට ලබාදිය යුත්තේ පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර පානයි.

කුඩා කාලයේදි පමණක් නොව වැඩිහිටි කාලයේදි වුවත් නිතිපතා සෞඛ්‍යය සම්පන්න සමබල පෝෂණයක් අඩංගු ආහාර පාන ලබාගැනීම ඉතා වැදගත්ය. එම නිසා දරුවන්ට ලබාදීමට සුදුසු නුසුදුසු ආහාර පාන මොනවාද යන්න හොඳ අවබෝධයක් දෙමාපියන් වන ඔබට තිබිය යුතුයි.සෞඛ්‍යාරක්ෂිතව ආහාර පාන ලබාගැනීමට ඔබේ දරුවාව හුරු කිරීමට නම් මෙවැනි ආහාර පාන දරුවාට ලබා දීමේදි වැඩි සැලකිල්ලකින් පසුවන්න කියා අප ඔබට මතක්කරන්නෙමු

1.යුෂ පාන

  • ඇසුරුම් කල බීම හා යුෂ පාන වර්ග වල සීනි බහුලව අඩංගු වේ. එක් වීදුරුවක සීනි තේ හැඳි 5-6 අතර ප්‍රමාණයක් අඩංගුව පැවතිය හැක. දිය වී ඇති සීනි ශරීර ගත වු වහාම ඉක්මනින් රුධිර ප්‍රවාහයට අවශෝෂණය වේ. නමුත් එය කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ක්‍රියාවලියට අහිතකර වේ. වෙළඳපොලේ ඇති එවැනි නිෂ්පාදන වල කල් තබාගැනීමේ ද්‍රව්‍ය, රසකාරක, වර්ණකාරක අඩංගු විය හැක. පලතුරු යුෂ ලබාදීමට වඩා පලතුරු කැබලි ලෙස ලබාදීම වඩාත් හිතකර බව පෝෂණවේදීන් පෙන්වාදේ. පලතුරු වල අඩංගු තන්තු පෝෂක නිසා එහි ඇති යුෂ සිරුරට අවශෝෂණය වන්නේ ක්‍රම ක්‍රමයෙනි. යුෂ පාන ලබාදීමේදි නිවසේදි ඔබේ අතින් පිලියෙල කල පලතුරු බීම හා ස්මූති වර්ග දරුවාට ලබාදෙන්න.

2.යෝගට්

  • සෞඛ්‍යාරක්ෂිත යෝගට් එකක් ‍තෝරාගැනීමට නම් එහි අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තුව කියවා බැලීම අවශ්‍යයයි. ශීතකරණයේ නොමැතිව විවෘත රාක්ක වල අසුරා ඇති ඒවා මිලදි නොගන්න. රස ගන්වා ඇති ඒවාට වෙනුවට ස්වභාවික යෝගට් වර්ග මිලදි ගන්න. පලතුරු මිශ්‍ර යෝගට් වල සීනි , මේද හා කැලරි බහුලය. ඒවා ආහාරයට ගැනීමෙන් දරුවන් බර අධික වීම සහ දියවැඩියාව වැනි රෝග අවදානම් වැඩිවීමට ඉඩ තිබේ.

3.සීරියල්

  • බොහෝ විටමින් සහ ඛනිජ පෝෂණයක් ලබාදෙන බව වෙළඳදැන්වීම් වල සඳහන් වුවත් ඒවායේ බහුලව ඇත්තේ පෝෂක නොව සීනිය. නිෂ්පාදන ක්‍රියාවලියේදි ඉරිඟු, තිරිඟු සහ ඕට්ස් වල අඩංගු හිතකර පෝෂක ‍රැසක් ඉවත් වී යන අතර ඉතිරි වන්නේ කාබෝහයිඩ්‍රේට් පමණි. මේවා ආහාරයට ගැනීමෙන් බඩගිනි සන්සි‍ඳෙන්නේ සීමිත කාලයකටය. පැය කිහිපයකින් දරුවාට යළි බඩගිනි දැනීමට පටන්ගනියි. සීරියල් වෙනුවට ඕට් මීල් ලබාදීම හොඳ සෞඛ්‍යය සම්පන්න ආදේශකයකි. පලතුරු කැබලි සහ නට් වර්ග මුසු කරමින් ආහාර වේල වඩාත් රසවත් වගේම ගුණවත් බවින් වැඩි කරන්න.

4.මී පැණි

  • වයස අවුරුදු 2 කට වඩා අඩු දරුවන්ට මි පැණි ලබා නොදිය යුතුය. ඊට හේතුව ආසාත්මිකතා ඇතිවිය හැකි අවදානම පමණක් නොවේ. ඇතැම් විට මී පැණි වල බරපතල සම්ප්‍රේෂණය විය හැකි රෝගයක් වන බොතුලීනියාව (Botulism)නම් තත්වය හටගැනීම කෙරෙහි බලපාන බැක්ටීරියා විශේෂය අන්තර්ගත වි තිබිය හැකි බැවිනි.

5.මිදි

  • මිදි වල කුඩා දරුවන්ට අවශ්‍ය විටමින් හා ඛනිජ පෝෂණය හොඳින් අඩංගු වේ. නමුත් ඒවායේ ස්වභාවය විශාල නිසා සහ ගිලීගොස් උගුරේ සිරවිය හැකි ස්වභාවයක් ගන්නා නිසා ඒවා දරුවන්ට ඔබේ අනුදැනුමක් නොමැතිව ලබානොදීමට සැලකිලිමත් වන්න. පෝෂණ ගුණය අඩංගු වුවත් මිදි කුඩා දරුවන්ගේ ජීර්ණ පද්ධතිය තුල දිරවීමේ හැකියාව තරමක් අපහසුය.වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට මේවා වෙනුවට ලබාදිය හැකි හොඳ ආදේශක පලතුරක් ලෙස කෙසෙල් හැඳින්විය හැක.

6.මල්ටිවිටමින්

  • විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව හිතුමතේ දරුවා හට විටමින් වර්ග ලබාදීම අනතුරුදායකය. එබැවින් වෛද්‍ය උපදෙස් වලින් තොර විටමින් දරුවාට ලබාදීමෙන් වළකින්න. දරුවන්ට අවශ්‍ය විටමින් පෝෂණය ආහාර මඟින් ලබාදීමට සැලැස්වීම වඩාත් හිතකරය වන අතර එසේ කරන්නේ නම් දරුවන් හට අමතර විටමින් පෝෂක (සප්ලිමන්ට්) ලබාදීමට අවශ්‍යතාවක් නැත

7.මිල්ක් ෂේක්

  • මේවා සෝඩා පාන තරම්ම අහිතකර බවත් බහුලව ඇත්තේ මේද හා සීනි බවත් පෙන්වාදේ. දිනපතා මෙවැනි මේද අඩංගු බීම වර්ග පානය කිරීමට හුරුවිම නිසා දරුවන් තුල හෘද රෝග වර්ධනය වීමට ඇති අවදානම වැඩි කරවන බව මෑතකාලීන විද්‍යාත්මක පර්යේෂණයක් මඟින් කරුණු පැහැදිලි කරයි. මෙවැනි පාන වර්ග කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට ද අහිතකරය.
  • දරුවන් පැණි රස ආහාර අනුභව කිරීම වැළැක්විය නොහැකි වගේම එසේ කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැහැ. නමුත්, පැණි රස ආහාර වර්ග සෞඛ්‍යයට අහිතකර වන ආකාරය පිලිබඳ නිසි ආකල්ප දරුවා තුල ඇතිකිරීම වඩාත් වැදගත් ය. පැණි රස ආහාර වර්ග සාමාන්‍ය හා ප්‍රධාන ආහාර වලට ආදේශකයන් නොවන බවත් ඒවා අතුරුපස ලෙස කුඩා ප්‍රමාණයකින් අනුභව කල යුතු බවත් ඔවුන්ට කියාදෙන්න. කුඩා කාලයේ පටන්ම දරුවා හට නීරෝගි ආහාර රටාවක් අනුගමනය කිරීමට හුරු කරවීම තුලින් ඔවුන් වැඩිහිටි වන විට වඩාත් සෞඛ්‍යාරක්ෂිත දිවි පෙවතකට හැඩගැසෙනු ඇත.