Hela Rahas

Hela Rahas Official Web Portal

යකඩ ඌනතාව ඇති බව දැනගන්න ක්‍රම 10ක්

  • සිරුරේ ප්‍රමාණවත් පරිදි යකඩ පෝෂක නොමැතිවිම යකඩ ඌනතාවය නම් තත්වය ඇතිවිමට තුඬු දේ. එහි බරපතල තත්වයක් ලෙස ඇනිමියාව හෙවත් රක්තහීනතාව (ලේ හිඟකම) නිසා මතුවන පීඩාකාරි රෝග තත්වය හැඳින්විය හැක. දෛනික ජීවන කටයුතු සහ ක්‍රියාකාරකම් අතරේදී අපේ සිරුරේ පවතින යකඩ පෝෂණ ආකාරය ගණනාවකින්ම වැය වි යයි. වඩාත් වැදගත් වන්නේ එසේ වීම නිසා යකඩ ඌනතාවක් හටගැනීමේ අවදානම වළක්වාගැනීමට කටයුතු කිරීම සහ එවැනි තත්වයක් සඳහා නිසි ලෙස ප්‍රතිකාර ලබාගැනීම පිලිබඳව දැනුවත් වීමයි.
  • සිරුර පුරා ඔක්සිජන් ගෙනයාමට හැකිවන පරිදි රුධිරයේ රතු රුධිර සෛල තුල පිහිටා ඇති ප්‍රෝටීන් විශේෂයක් වන හිමෝග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය වන යකඩ ඛනිජ පෝෂක ප්‍රමාණවත් පරිදි සිරුරේ නොපැවතීම හේතුවෙන් මෙසේ යකඩ ඌනතාවක් සිරුරේ වර්ධනය විය හැකියි. රුධිරයේ හිමොග්ලොබින් අඩු වන විට සිදුවන්නේ සිරුරේ මාංශ පේශීන් සහ පටක ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම- අකර්මන්‍ය වි යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රක්තහීනතාව තත්වය වර්ධනය වේ.
  • ඔබේ සිරුරේ යකඩ ඌනතාව හටගෙන ඇති බව හඳුනාගත හැකි ඉඟි හෙවත් ලක්ෂණ කිහිපයක් පිලිබඳව පර්යේෂණ ඇසුරෙන් ලබාගත කරුණු එකතුවක් ගැනයි මේ. ඔබේ සිරුරේත් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරනවාදැයි පරික්ෂාකාරි වන්න. බොහෝ විට ඒවා ඔබේ සිරුරේ යකඩ ඌනතාව හටගෙන තිබෙන බව ඉඟි කරනවා විය හැකියි!

1.අසාමාන්‍ය තෙහෙට්‍ටුව

  • මහන්සිය සහ තෙහෙට්‍ටුකර ස්වභාවය යකඩ ඌනතාවයේ ප්‍රධාන ලක්ෂණයකි. පෙනහළු වල සිට සිරුරේ අනෙකුත් කොටස් දක්වා ඔක්සිජන් පරිවහනය කිරීම සඳහා ප්‍රධාන කාර්යබාරයක් ඉ‍ටුකරන රතු රුධිර සෛල වල අඩංගු හිමොග්ලොබින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යකඩ නොමැති කම නිසා සිරුරේ පටක සහ මාංශ පේශින් වෙත ගමන් කරන්නේ ඉතා අඩු ඔක්සිජන් ප්‍රමාණයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරට දැඩි තෙහෙට්‍ටුවක් ඇතිවේ. විඩාව දැනීම එදිනෙදා ජීවිතයේ ඉතා සාමාන්‍ය දෙයක් වන නිසා යකඩ ඌනතාවය නිසා හටගන්න තෙහෙට්‍ටුව සහ සාමාන්‍ය විඩාබර ගතිට වෙන්කොට හඳුනාගැනීම ඇතැම් විට ඉතා අපහසුය.කෙසේවෙතත්, යකඩ ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින් විසින් සිරුරේ අප්‍රාණික බව, ශක්ති මට්ටම අඩුකම, ඒකාග්‍රතාව සහ අවධානය පවත්වාගැනීමේ අපහසුතා, ඵලදායීත්වය අඩුබව ආදි තත්වයන් ද අත්දකිති.

2.සම සුදුමැලි ස්වභාවය

  • සමේ නීරෝගි බව සහ රෝස පැහැ ස්වභාවය ඇතිකරවන්නේ රුධිරයේ රතු සෛල වල පවතින හිමොග්ලොබින් මඟිනි. ප්‍රමාණවත් තරමින් යකඩ නොමැති නිසා හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වීමත් සමඟ පුද්ගලයාගේ සම සුදුමැලි බවට හැරිය හැක. ඔබේ තොල් ඇතුල් පැත්තේ, විදුරුමස්, නියපොතු ඇතුල් පැත්තේ සහ පහළ ඇහිපිල්ලමේ ඇතුලත ස්වභාවය වෙනදාට දකින රතු පැහැයට වඩා අඩු සුදුමැලි පැහැයක් ගනියි නම් සිරුරේ යකඩ ඌන බව ඉන් ඉඟි ලබාදේ.

3.හුස්ම හිරවීම/පපුවේ වේදනාව

  • යම් කාර්යක් කරන විට හුස්ම ගැනිමේ අපහසුතාව හෝ පපුවේ වේදනාව ඇතිවේ නම් එය ද යකඩ ඌනතාවයේ ලක්ෂණයකි. සිරුරේ වෙනත් අවයව සඳහා වන සීමිත ඔක්සිජන් සැපයුම හේතුවෙන් ඒවා ක්‍රමවත්ව ක්‍රියාකාරී වීමට නොහැකි තත්වයකට පත්වේ. ඒ හේතුවෙන් හුස්ම හිර වීම වැනි තත්වයන් හටගනියි.

4.ඉස කරකැවිල්ල සහ හිසරදය මතුවීම

  • ප්‍රමාණවත් ලෙස මොලයට ඔක්සිජන් ගමන් නොකිරිම නිසා රුධිර නාල ඉදිමිමට පටන්ගන්නා අතර එම පීඩනය හිසරදය හෝ මිග්‍රේන් තත්වයක් ලෙස වර්ධනය විය හැක. එමෙන්ම යකඩ ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුට හිස පාවෙන ගතිය හෝ කරකැවිල්ල ඇතිවිය හැක. මොලයේ ඔක්සිජන් ඌනවිම හෝ හෘදය සහ රුධිර වාහිනි වලට ප්‍රමාණවත් නොවන ඔක්සිජන් සැපයුම හේතුවෙන් ඇතිවන අඩු රුධිර පීඩන තත්වය හේතුවෙන් එසේ ඉස කරකැවෙන ගතිය ඇතිවන්නට පටන්ගනියි.

5.අක්‍රමවත් හෘද ස්පන්දනය

  • යකඩ ඌනතාවයේ තවත් ලක්ෂණයක් වන්නේ අක්‍රමවත් ලෙස හදවත ගැහීමට පටන්ගැනීමයි. හිමොග්ලොබින් මට්ටම අඩු වී ඇති නිසා හෘදයට සිරුරේ වෙනත් කොටස් වෙත ඔක්සිජන් ගමන් කරවීම සඳහා ශ්‍රමයකින් සහ වෙරදැරීමකින් කටයුතු කිරීමට සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය හෘද ස්පන්දනයක් හෝ අක්‍රමවත් ලෙස ඉතා වේගයෙන් හදවත ගැහෙන බව පුද්ගලයාට දැනෙනු ඇත. අතිශයින්ම බරපතල තත්වයකදී නම් හෘදය අකර්මන්‍ය වි යාම පවා සිදුවිය හැක. නමුත්, යකඩ ඌනතාවයෙබ් පෙළෙන පුද්ගලයෙකු තුල මෙම ලක්ෂණ පෙන්නුම් කරන්නේ පසුවය. හෘද ස්පන්දනයේ වෙනස්කම් අත්දැකීමට පෙර වෙනත් රෝග ලක්ෂණ වලින් පුද්ගලයා පෙළිය හැක.

6.හිසකෙස් සහ සම හානි වීම

  • හිසකෙස් සහ සම යනු සිරුරේ ද්විතියික ලෙස සැලකෙන ක්‍රියාකාරීත්වයන්ය. මීට හේතුව නම් සිරුර මඟින් සීමිත ඔක්සිජන් සැපයුම ලබාදෙන්නේ අත්‍යාවශ්‍ය අවයව සහ පටක ආශ්‍රිත ක්‍රියාකාරීත්වයන් සඳහා වීමයි. හිසකෙස් සහ සමාට් ප්‍රමාණවත් තරමින් යකඩ පෝෂණය නොලැබී ගිය විට ඒව වියළි සහ හානි වූ-පලුදු වූ ස්වභාවයකට පත්වේ. යකඩ පෝෂක ගබඩාකිරීමේ ක්‍රියාවලිය සහ සිරුරේ වෙනත් කොටස් වලට කාලීනව යකඩ පෝෂණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය සහ වැදගත් කාර්යක් ඉ‍ටු කරන ෆෙරිටින් නම් ප්‍රෝටීන හිඟතාවය ද මෙම තත්වය ඇතිවීමට ප්‍රබල ලෙස හේතු වේ. ආර්තවහරණය සිදුනොවූ කාන්තාවන්ගේ හිසකෙස් හැලීයාමේ වේගය වැඩිවීම කෙරෙහි මෙම යකඩ මට්ටම අඩුකම බලපානු ලබයි.

7.දිවේ සහ මුඛයේ ඉදිමුම් සහ තුවාල තත්වයන් හටගැනීම

  • යකඩ ඌනතාව හඳුනාගත හැකි තවත් ආකාරයක් ලෙස මුඛය සහ දිවේ ස්වභාවය නිරික්ෂණය කල හැකිය. උදාහරණයක් ලෙස දිව ඉදිමුණු, ප්‍රදාහයට ලක්වුණු හෝ අවපැහැ ගැන්වුණු ස්වභාවයකට හැරි ඇත්නම් එය බොහෝ විට යකඩ ඌන බව ඉඟි කරන ලක්ෂණයකි. අපේ සිරුරේ මයෝග්ලෝබින් නම් ප්‍රෝටීන විශේෂයක් පවතින අතර ඒවා යකඩ සහ ඔක්සිජන් බන්ධකයක් ලෙස ක්‍රියාකරයි. ඒවා පිහිටා ඇත්තේ දිවේ පේශී පටක වලය. සිරුරේ මයොග්ලොබින් අඩු මට්ටමක් ඇතිවී ඒ බලපෑම් ලෙස දිව වණ වීම,මෘදු ස්වභාවයකට සහ ඉදිමීමට ලක්විය හැක. යකඩ ඌනතාව හේතුවෙන් මුඛයේ වියළිබව සහ කට කොන් ආශ්‍රිත රතු පැහැතු පැළුම් තුවාල හටගැනීම (කට කොන් වණ වීම) සිදුවිය හැක.

8.නිය පොතු කැඩෙනසුලු ස්වභාවයට ලක්වීම

  • රක්තහීනතාවයේ පසු අවධීන් වලදි මතුවන ලක්ෂණයක් වන මෙය යකඩ හීනතාවයේ පොදු ලක්ෂණ පෙන්නුම් කිරීමක් නොවන තරම්ය. මෙම තත්වය koilonychia නම් නිය රෝග තත්වයක් ලෙස හැඳින්වේ. මෙම තත්වයේදි සිදුවන්නේ නියපොතු අසාමාන්‍ය ලෙස සිහින් වී යාම සහ උත්තලතාව ඉවත් වී පැතලි හෝ බොකු ගැසුණු ස්වභාවයකට වෙනස් වී යාමයි. මුල් අවධීන් වලදි නියපොතු පලුදු සහ පොතු ගැලවි යා හෝ පහසුවෙන් කැඩී යන ස්වභාවයකට පත්වේ. මෙම තත්වය හටගන්නේ නියපොත්තේ මැද කොටසේ වන අතර දාර ඉහළට එස වී හැන්දක් මෙන් වක්‍රාකාර ස්වභාවයකට පත්වීම සිදුවිය හැක.

9.පාද වල පීඩාකාරි ස්වභාවය

  • රුධිරයේ යකඩ මට්ටම අඩු වීම හේතුවෙන් සිරුරේ ඩොපමයින් ප්‍රමාණය පහත බැසීම සිදුවේ. ඩොපමයින් යනු චලනය සඳහා අවශ්‍ය වන මොලයේ ඇති රසායනයකි. මෙවැනි තත්වයකදි restless legs syndrome නම් පිඩාකාරි සහලක්ෂණ තත්වය පවා වර්ධනය විය හැක. මොලය සහ ස්නායු පද්ධතිය අතර පණිවිඩ හුවමාරුකරුවෙක් ලෙස ක්‍රියාකරන ඩොපමයින් චලන සිදුකිරීම සහ පාලනය කිරීමට මොලයට සහය ලබාදේ. ස්නායු සෛල වලට හානි වූ විට මොලයේ ඩොපමයින් ප්‍රමාණය අඩු වී යයි. ඒ හේතුවෙන් මාංශ පේශීන් ගැස්මන් සහ අනිංච්ඡානුග චලනයන් සිරුරේ ඇතිවිය හැකියි. සිරුරේ ඩොපමයින් මට්ටම දවස අවසානයේ පහත වැටිම ස්වභාවිකව සිදුවන්නකි. මේ හේතුව නිසා මෙම සහලක්ෂණ තත්වයේ රෝග ලක්ෂණ සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වඩාත් උත්සන්න වීමට පටන්ගනියි.

10.උදර වේදනා සහ මූත්‍රා සමඟ රුධිරය පිටවීම්

  • අන්තරාසර්ග රක්තපාතය /රුධිරජාරණය (Intravascular hemolysis) යනු යකඩ ඌනතාවය නිසා ඇති වන තත්වයකි. රුධිරයේ ඇති රතු රුධිර සෛල ඛණ්ඩනය වී යකඩ නිකුත් වී යන අතර ඒවා මූත්‍රා සමඟ බැහැර වී යයි. මෙම තත්වය තීව්‍ර ව්‍යායාම වල නියැලෙන පුද්ගලයින්,විශේෂයෙන්ම ‘ජොගිං’ වැනි ව්‍යායාම කරන්නන් තුල මෙම තත්වය ඇතැම් විට හටගනියි. මෙම තත්වය හේතුවෙන් පාද වල කුඩා රුධිර වාහිනි වලට කම්පනය ඇතිවිය හැකිය.

දිනකට ලබාගත යුතු යකඩ පෝෂක ප්‍රමාණය

  • ළදරුවන්
  • මාස 0-6- මිලිග්‍රෑම් 0.27
  • මාස 7-12- මිලිග්‍රෑම් 11
  • ළමුන්
  • අවුරුදු 1-3 -මිලිග්‍රෑම් 7
  • අවුරුදු 4-8- මිලිග්‍රෑම් 10
  • පිරිමි
  • අවුරුදු 9-13- මිලිග්‍රෑම් 8
  • අවුරුදු 14-18- මිලිග්‍රෑම් 11
  • අවුරුදු 19 සහ ඊට ඉහළ- මිලිග්‍රෑම් 8
  • කාන්තාවන්
  • අවුරුදු 9-13- මිලිග්‍රෑම් 8
  • අවුරුදු 14-18- මිලිග්‍රෑම් 15
  • අවුරුදු 19-50- මිලිග්‍රෑම් 18
  • අවුරුදු 51 සහ ඊට ඉහළ- මිලිග්‍රෑම් 8
  • ගර්භණි සමයේ- මිලිග්‍රෑම් 27
  • යකඩ බහුල ආහාර-නිවිති, ඕට්ස්, ඩාක් චොකලට්, බෙල්ලන්, හරක් මස් (අක්මාව), පරිප්පු, ටොෆු, කඩල,තක්කාලි, අර්තාපල්, කජු…රුධිර පරික්ෂාවක් මඟින් ඔබේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම පරික්ෂාකරගන්න. යකඩ අතිරේක පෝෂක භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් අනුව සිදුකරන්න. පළමුව වෛද්‍යවරයෙකු හමුවී ඔබේ තත්වය පරික්ෂා කරවාගනිමින් ආරක්ෂිත සහ නිවැරදි මාත්‍රාවන් පිලිබඳව මෙන්ම ඔබ කටයුතු අනුගමනය කල යුතු උපදෙස් ලබාගන්න.