Hela Rahas

Hela Rahas Official Web Portal

කළුදිය පොකුණේ සැගවුණු අප්‍රකට කතාව

  • එදා ලංකාද්වීපයට වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ස්වාමින්වහන්සේලා වස් වැසීමට භාවිතා කළ ලෙන් පිහිටා ඇති එක බිමක් තමා කළුදිය පොකුණ බිම කියන්නෙ. මිහින්තලා පුදබිම පුරා ධුතාංගධාරි අල්පේච්ඡ භික්ෂූන් වහන්සේලාට පූජා කළ ශූන්‍යාතඝාර හැට අටක් ඇත. එයින් අක්කර 150 පුරා කළුදිය පොකුණ සෙනසුන පිහිටා ඇත. ඒ භූමිය පුරා ශූන්‍යාගාර 38 ක් ඇත. ඉන් භාවිතයට ගනු ලැබු ලෙන් 18 ක් වුනා
  • අනුබුදු මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළාට පස්සෙ වස් වැසීම සඳහා ඇවැසි බව දේවානම්පියතිස්ස රජුට දන්වා සිටි පසු ඇත්වෙහෙර කන්ද , රාජගිරි ලෙන කන්ද, කළුදිය පොකුණ කන්ද පුරා පිහිටි ලෙන් මෙසේ පිළිසකර කර පූජා කළ බව සඳහන්. ස්වභාවික ගල් ලෙන් කටාරම් කොටා දොර ජනෙල් යොදා පිළිසකර කර ඒ ලෙන් පූජා කර ඇත. දොළොස් දාහක් රහතුන් වහන්සේලා එහි වැඩසිටි බව කියනවා.
  • අද පොසොන් පෝය දවස තිස්ස රජු දවසේ ක්‍රීඩාව සඳහා උත්සව දිනයක්. ඒ දවස හඳ්න්වලා තියෙන්නෙ ‘ජෙට්ඨ මූල නක්ඛත්ත‘ දිනයක් ලෙස. මේ බිම ඉර අවුවෙන් වී පැදුරක් තල පැදුරක් වේළා ගැනීමටවත් නොහැකි වන සේ ධ්‍යාලාභී භික්ෂුන් වහන්සේලා ඍද්ධියෙන් ගමන් කිරීම හේතු කොට ගෙන හිරුගේ එළිය පොළවට පතිත නොවුණ පින් බිමක බව කියනවා.
  • අපි මිහින්තලේ රෝහල, මිහින්තලා රජමහා විහාර මැද මහ මළුවට ගමන් කරන මාවත, කටු සෑය පසුකර යද්දි පාරෙ වම් පැත්තෙ ‘‘කළුදිය පොකුණ -තපෝවනය – මිහින්තලය ‘‘ ලෙසින් සඳහන් පුවරුව ඇත. ඒ ප්‍රදේශය ඉතාම නිහඬයි, නිසංසලයි. ප්‍රධාන පාරේ සිට මීටර් පනහක් පමණ ගිය පසු මළුවට පිවිසිය හැක. මෙහි එක පැත්තක ඇත්තෙ සුදු හුණු පිරියම් කරන ලද බණ මුඩුවක්. අනික් පැත්තෙ ඇත්තේ හික්ෂූන් වහන්සේලා වැඩ වසන ලෙන්. ඒ ළඟ පිහිටා ඇති කුඩා අම්බලමක හැඩයෙන් යුතු විවේක මඩුවක් ඇත.
  • මේ බණ මඩුවත්, විවේක මඩුවත් අතරින් කුඩා දෙවැට පාරක් ඇත. කළුවර ගස් අතරින් මේ පාර වැටී ඇත. කළුදිය පොකුණ දෙසට පිවිසිය යුත්තේ ඒ අඩිපාර ඔස්සේ. කළුදිය පොකුණු ලෙන් 18 තුළම භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරනවා. ඒ නිසා ඒ දෙසට යාමට නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගත යුතුයි.
  • ඒ ප්‍රදේශයේ කඳු මුදුනේ ඇති සුළං කපොල්ල, සක්මන් භාවනා සඳහා නිම කරන ලද සක්මන් මළු, භාවනාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා සිටී. පොකුණ දෙසට ගමන් කිරීමේදී මුලින්ම හමු වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් රහතන් වහන්සේලා සඳහා ශූන්‍යාගාරයක් පිළිසකර කර ඇති අයුරුය. වර්තමානයේ බොහෝ ලෙන් වරිච්චි බිත්ති බැඳ කටු මැටියෙන් නිම කර තිබුනද මුල්ම යුගයේ ලෙනක ස්වභාවය දැක ගැනීමට හැකි වන්නේ මෙහිදී පමණයි. ගල්වලින් තැනඅව උලුවහු ජනෙල් කවුලු මෙහි ඇත. ඉන් මඳක් දුරින් කළුදිය පොකුණ ඇත.
  • ස්වභාවික පරිසරයට අනුව නිම කරන ලද මේ පොකුණ මධ්‍යයේ සීමා මාලකය දැක ගත හැකි වෙනවා. පොකුණට දකුණු දෙසින් කාලබුද්ධරක්ඛිත හිමියන් බණ දෙසූ කලුගල් අසුන ද ජන්ඨාගරයද පොත් ගුලද ඇත. මිහින්තලා පුද බිමටම ඇති එකම ජන්ඨාඝරය මෙයයි.
  • මේ පොකුණ ගැන විවිධ ජනප්‍රවාදයන් ගැමියන් තුළ ඇත. මිනිස්සු කියන්නෙ පොකුණ අඩි 170ක් පමණ හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ගැඹුරින් යුක්ත වන බව. මෙහි හැඩය කේතුවක් කණපිට ගැසූ ආකාරයට වන බවද කියැවේ. නමුත් පොකුණෙහි කිමිදී ගැඹුර මැන බැලූ කිසිවකු පිළිබඳ සටහනක් දැකගැනීමට නෑ.
  • ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල බලකේන්ද්‍රස්ථාන පවතිනව කියනවා. ඉතිං ඒ බලකේන්ද්‍රස්ථාන අතරින් එකක් විදියට මේ කළුදිය පොකුණ හඳුන්වන බවද පැවැසේ. තවත් ජනප්‍රවාදයක් තමා රාවණා රජ්ජුරුවන් සක්වළ සමඟ සම්බන්ධ වීමට මේ ස්ථානය යොදාගත්තා කියනවා. තවද බොහෝ අවස්ථාවල රාවණා රජු සක්වළ හා සිදුකළ යුද්ධවලදී පරාජිත සේනාවන්හි ජීවග්‍රහයෙන් අල්වාගත් සතුරන් මෙම කළුදිය පොකුණෙහි ස්ථාපිත කර තිබූ සිරකුටිවල රඳවන්නට ඇතිබව ඇතැම් ජනප්‍රවාදවල සඳහන්. අද වන විටත් බොහෝ දෙනෙක් එය විශ්වාස කරන අතර ඒ හා සමාන අදහස් පළකර තිබෙයි.
  • කළුදිය පොකුණ අසලට ගිය විට කළුගලින් සාදන ලද ආසන බොහෝමයක් දැකගන්න පුළුවන්. මේ ආසන භාවනානුයෝගීව වැඩවසන ස්වාමීන්වහන්සේලා සඳහා නිර්මාණය කරන ලද අසුන් බවටද මතයක් ඇත. ඒ අතරින් එක් අසුනක් කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ භාවනානුයෝගීව වැඩවිසීමට යොදාගත් ආසනය කියනවා. ඒ වගේම එම ස්ථානයේ සිට කාලබුද්ධ රක්ඛිත තෙරුන් සක්වළ හා සම්බන්ධ වී ඇති බවට ජනප්‍රවාදයෙහි සඳහන්. උන්වහන්සේ රාජගිරි ලෙනෙහි වැඩ වසමින් භාවනානුයෝගී කටයුතු කිරීම සඳහා කළුදිය පොකුණ අසලට වැඩි බව කියනවා. කොහොම වුණත් අදටත් ඒ ආසනයෙ හිඳ භාවනා කිරීමට කිසිම පුද්ගලයකුට යම්කිසි බලවේගයන් ඉඩ ලබා නොදෙන බව පවසයි.
  • ඒ වගේම පොකුණෙ සක්මන් කරන කොටසෙ විවිධ අද්භූත සිදුවීම් සිදුවී ඇති බවට කියනවා. අදටත් මෙම ස්ථානයෙ චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් ප්‍රශ්නාර්ථයක්. ඒ ගැන දේශීය, විදේශීය පර්යේෂකයන් පරීක්ෂණ කටයුතු සිදුකරනවා. රන්මසු උයන, සීගිරිය ආදී වූ සක්වළ දොරටු අතරට කළුදිය පොකුණද අයත් වෙන බවට මතයක් ඇති අතර අදටත් නිසොල්මන්ව හිඳින ජල කඳ විශාල අබිරහසක් සඟවා සිටිනවා.
  • කළුදිය පොකුණේ වතුර කළු පාට ඇයි? එයට බලපාන කරුණු කීපයක් ඇති බව කියනවා. එනම් කඳු වලින් වටවී වන අරණක් මැද පිහිටීමත් අඩි 60, 70 පමණ ගැඹුරකින් පිහිටීම හා පතුල කළු ගල් තලාවක් වීමයි. කළුදිය පොකුණේ පතුලේ ජල කර්ණිකා පිහිටා ඇති බව සඳහන්. දැන් මඩෙන් වැසී තිබුණත් ඉස්සර වතුර විහිදුව ලස්සන වතුර මල් එහි තිබුණ බව කියනවා.
  • මේ කළුදිය පොකුණ වගේ අපෙ රටේ වටිනා උරුම කීයක් නම් දැන් නටබුන් වෙලා තියෙනවද. මේ උරුමයන්ගෙ වටිනාකම කියා නිම කරන්න බැරි තරම්. ඉතිං මේවා තවත් විනාශ වෙන්න නොදී ආරක්ෂා කර ගැනීම අපෙ රටේ හැම දෙනාගෙම වගකීම බව විශ්වාස කරනවා.