Hela Rahas

Hela Rahas Official Web Portal

මුහුදු තුනක් එකතු කරන කන්‍යා කුමාරි නගරය

  • අපේ ලංකාවේ නගර වල ලක්ෂණ වලට සමාන රටක් හෝ නගරයක් පිට රටක තියෙනවා ඔයා දැකලා තියෙනවාද? අසා තියෙනවද? ඔයා අහලා නැත්නම් අද ඒ ගැන දැනගන්න.ලෝක සිතියමේ ලංකාවත් ඉන්දියාවත් පිහිටා ඇති ආකාරය බලන්න. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ තුඩක් වැනි කොටසට යටින් ශ්‍රී ලංකාව කුඩාවට පෙනෙනවා. රටවල් දෙක වෙන් වන්නේ ඉන්දියානු සාගරයෙන්.
  • කන්‍යා කුමාරි සුවිශේෂී වන්නේ මුහුදු තුනක් එකට එක් වෙන ස්ථානය නිසා. එක් පැත්තකින් ආරාබි මුහුදු ද, අනෙක් පසෙන් බෙංගාල බොක්ක ද පැමිණ ඉන්දියන් සාගරය මුණ ගැහෙන්නේ කන්‍යා කුමාරි වලදීය.අර තුඩ වැනි කොටස හඳුන්වන්නේ සදර්න් ටිප් ඔෆ් ඉන්දියා කියලා. මේ තුඩ පිහිටි ප්‍රදේශයේ වෙරළ තීරයේ පිහිටි කුඩා නගරය කන්‍යා කුමාරි කියලා හඳුන්වනවා. මේ නගරය අයිති තමිල්නාඩු ප්‍රාන්තයේ කන්‍යා කුමාරි දිස්ත්‍රික්කයට ය. එය මුහුදු නගරයක්.
  • කන්‍යා කුමාරි නගරයට කිට්ටුම කේරළ ප්‍රාන්තයේ පිහිටි තිවේන්ද්‍රපුරම් ගුවන් තොටුපොළයි. එහි සිට කන්‍යා කුමාරි නගරයට ඇති දුර 90 km ක් විතර. කන්‍යා කුමාරි කියන්නෙ එක්තරා සංචාරක පාරාදීසයක්. කන්‍යා කුමාරි නගරයට ඇතුළත් වූ විට හරියට අපි ලංකාවේ ඉන්නවා වගේ දැනෙනෙවා.
  • එහි කඩ සාප්පු, හෝටල්, ආපන ශාලා වගේ දේවල් ලංකාවේ වගේ. සමහර කඩ සාප්පුවල සිංහල අකුරෙන් ලියන ලද නාම පුවරු ද දක්නට ඇත. බත්, සයිවර් කෑම, පරාටා, අපේ රටේ තියෙන අනිත් කෑම මේ කන්‍යා කුමාරි නගරයෙ විකුණන්න තියෙනවා. මේ නගරයේ වෙළෙන්දන් කතා කරන්නේ දෙමළ මලයාලම්.
  • ඔයා කන්‍යා කුමාරි නගරයේ දී උතුරු ඉන්දියාව දෙසට පිටුපා ඇති ඉදිරි මුහුද දෙසට සිටගන්නේ නම් දකුණින් ආරාබි මුහුද වම් පසින් බෙංගාල බොක්ක මුහුද ද පැමිණ ඉදිරියේ ඇති ඉන්දියන් සාගරයේ ගැටෙන අයුරු දකින්න පුළුවන්.
  • මුහුදු තුනක් එක් වන නිසා ත්‍රිවේනි සංගම් කියලත් මේ ස්ථානය හඳුන්වනවා. මේ මුහුදු තුන එක් වන ස්ථානයේ මණ්ඩපයක් ගොඩනගා ඇත. එහි සිට බොහෝ සංචාරකයෝ මේ සොඳුරු දසුන් නරඹනවා. වර්තමානයේ කන්‍යා කුමාරි ලෙස හැඳින්වුවද බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙය කේප් කොමරිත් කියලා හඳුන්වලා තියෙන්නෙ.
  • කන්‍යා කුමාරි කියන නම හැඳුන විදිය ගැන විවිධ ජනප්‍රවාද තියෙනවා. මේ නම ලැබුණේ දේවි කන්‍යා කුමාරි හෙවත් ශිවගේ පෙම්වතිය නිසා බව කියනවා. ඇය ක්‍රිෂ්ණාගේ සොහොයුරියක ලෙස ද සඳහන් වෙයි. කන්‍යා කුමරියගේ හා ශිවගේ විවාහ මංගල්‍යයට සියල්ල සූදානම්ව තිබිණ. ඒත් ශිව මංගල්‍යයට ආවේ නෑ. එම නින්දා සහගත තත්ත්වයෙන් කන්‍යා කුමාරි බොහෝ කෝප වුණා. ඇය මංගල්‍යය සඳහා සූදානම් කර තිබූ ධාන්‍ය ඇතුළු ආහාර ඉවතට විසි කළා. ඇයගේ වළලු‍ පවා විසි කර දැමූ බව කියනවා.
  • වෙරළට විසි කරන ලද එම ධාන්‍ය ගල් කැට බවට පත් වී අද ද දක්නට ලැබෙන බව ඒ ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරනවා. තවත් ජනප්‍රවාදයක කියන්නෙ රාම රාවණා යුද්ධයේදී හනුමන්තා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී හිමාලයෙන් කඩාගෙන ආ කැබැල්ලක් කන්‍යා කුමාරි ප්‍රදේශයට වැටුණු බවයි. බෙහෙත් පැලෑටි වලින් ගහණ වූ උස් කඳු මුදුනක් කන්‍යා කුමාරි කිට්ටුව දකින්න පුළුවන්.
  • මුහුදු තුනක් සහිත වෙරළ තීරය කිලෝ මීටර් 71 ක් පමණ දිගට විහිදෙයි. වෙරළ තීරය දිගේ යන පාර කෙළවර වෙන්නෙ කන්‍යා කුමාරි අම්මාන් නැත්නම් භාග්‍යවතී අම්මාන් කෝවිලෙන්. එය අවුරුදු 3000 ක් පමණ පැරණියයි සැලකේ. කෝවිල ඇතුළත පෞරාණික කැටයම් චිත්‍ර ආදිය දැක ගත හැකිය. මැයි ජූනි වල පැවැත්වෙන උත්සවයේදී කන්‍යා කුමරියගේ රූපය පෙරහැරකින් වඩම්මා ගෙන යනු ලබයි.බොහෝ බැතිමතුන් බාර හාර වීමට මේ කෝවිලට පැමිණෙනවා.
  • කන්‍යා කුමාරි නගරයේ සංචාරක ආකර්ෂණය දිනා ගත් තවත් අංගය වන්නේ සාගරය මැද ගල් කුලක පිහිටා ඇත් ස්වාමි විවේකානන්ද ආශ්‍රමය. බෝට්ටුවල ගිහින් පසුව ටික දුරක් ඇවිද ගොස් ස්වාමි විවේකානන්ද ආශ්‍රමයට යන්න පුළුවන්. ස්වාමි විවේකානන්ද ආශ්‍රමය පිහිටි මුහුද ලක්ෂාදිව් මුහුද ලෙස ද සඳහන් වෙයි. බෝට්ටුවෙන් ස්වාමි විවේකානන්ද ආශ්‍රමය පිහිටි කුඩා කඳු මුදුනට ගමන් කරද්දි ඈත සිටම දැකිය හැකි වන්නේ ග්‍රන්ථ රචනා කළ දෙමළ කවියකු හා දාර්ශනිකයකු වූ තිරුවල්ලවුර්ගේ ප්‍රතිමාවක්. දාර්ශනිකයකු වුන ස්වාමි විවේකානන්ද සිහිවීම සඳහා තනන ලද ආශ්‍රමය ඈතින් දැක ගත හැක්කේ ඉන් පසුව.
  • ඒ වගේම මහත්මා ගාන්ධි ස්මාරකය, සුනාමි ස්මාරකය ද කන්‍යා කුමාරි වල දැක ගන්න පුළුවන්.මේ කන්‍යා කුමාරි කුඩා නගරයේ සුවිශේෂත්වය තමා සමුදුරෙන් ඉර නැගීම මෙන්ම ඉර බැස යාම ද එකම තැනක සිට දැක ගත හැකි වීමයි. එම දසුන සුවිශේෂය. ඒ වෙනුවෙන් සුවිශාල මුහුදු වෙරළේ මඳක් උස් කඳු මුදුනට වන්නට සෑදු එක් ටැම් ගෙයක් වැනි විශේෂ ස්ථානයක් ඇත. පඩි පෙළ නැග ගොස් එම කුලුන මුදුනට පැමිණි පසුව ක්ෂිතිජයෙන් ඉර බැස යාම දැක ගැනීම මනරම් දර්ශනයක්. පසළොස්වක පෝය දවසට නම් ඉර බැස යාමත් අනෙක් පැත්තෙන් පුන් සඳ නැග ඒමත් එකවර සමුදුරට ඉහළින් දකින්න පුළුවන්.
  • රට රටවල් වල සංචාරය කරන අයට යන්න සුන්දර ස්ථානයක් තමා කන්‍යා කුමාරි නගරය කියන්නෙ. ඉතිං කොරෝනා ඉවර වුන දවසට සංචාරයේ යන්න කැමති ඔයත් මේ කන්‍යා කුමාරි නගරයේ සුන්දරත්වය විඳින්න යන්න අමතක කරන්න එපා.