Hela Rahas

Hela Rahas Official Web Portal

බොරුවට දිව්රීමේ විපාක

  • මේ කතාව අපෙ බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ කාමයේ වරදවා හැසිරුණු කර්ණමුණ්ඩ නම් ප්‍රේතිය උපමා කරගෙන.කාශ්‍යප බුද්ධ ශාසනයෙ කිම්බිල නුවර සෝවාන් වූ උපාසකයෙක් සිටියා. ඔහු තම පන්සියයක් විතර උපාසක පිරිසක් සමඟින් මල් වතු වැවීම, ඒ දඬු සක්මන් මළු තැනීම වගේ කුසල් කර්ම කරමින් ජීවත් වුනා.
  • එතුමා මහා සංඝරත්නයට විහාරයක් කරවා නිතර තම පිරිස සමඟින් එහි ගියා.. එම උපාසක පිරිසගේ බිරින්දෑවරු ද සමඟියෙන් මල් පහන් ගෙන නිතර එම විහාරයට ගියා. එහෙම යන අතරතුර විඩාව සන්සිඳවා ගැනීම පිණිස අතරමග පිහිටි විශ්‍රාම ශාලා, ආරාමයන්හි නතරව නැවත ගමනේ යෙදෙයි. දිනක් එම කාන්තාවන් පිරිස ශාලාවක නැවතුනා. එහෙම ඉද්දි ඒ කාන්තාවන්ව විශ්‍රාම ශාලාවෙ නැවතිලා හිටිය සල්ලාල පුරුෂයින් කිහිප දෙනෙක් දැක්කා.
  • ස්ත්‍රීන්ගේ රූප සම්පත්තිය දුටු සල්ලාලයින්ට ඒ කාන්තාවන් ගැන සිත් ඇති වුනා. ඒ පුරුෂයන් දැනගත්තා ඔවුන් සිල්වත් කාන්තාවන් බව. ඔවුන් පිටත් ව ගිය පසු එම පුරුෂයින් මෙහෙම කතා වුනා.
  • “මොවුන් අතරින් එක් ස්ත්‍රියකගේ සීලය බිඳ දැමීමට මෙහි සිටින කවරෙක්ට නම් හැකියාවක් තිබේ ද?”
  • එවිට එහි සිටි එක පුරුෂයෙක් “මම එයට සමර්ථ වෙමි.” යි කීවා.“එසේ නම් නුඹ එම එක ස්ත්‍රියකගේ සිල් බිඳීමට සමත් වුවහොත් අප විසින් මසු දහසක් නුඹට දිය යුතු ය. එසේ කිරීමට නුඹ අසමත් වුවහොත් මසු දහසක් නුඹ විසින් අප හට ලබා දිය යුතු ය.” කියා පුරුෂයන් ඔට්ටු ඇල්ලුවා.
  • අර පුරුෂයා උපාසිකාවන් රැස්වන ස්ථානයකට පැමිණ තත් හතකින් යුත් ඉතා මිහිරි හඬක් නැගෙන වීණාව වාදනය කරමින් පංච කාම ගුණයන් උද්දීපනය කරමින් ගී ගැයුවා. අර පැමිණ සිටි එක ස්ත්‍රියකගේ සිත ඔහුගේ ගීතයට බැඳී ගියා.
  • ඇය වසඟයට ගත් ඔහු ඇය සමඟින් කාමයෙහි වරදවා හැසිරී තම මසු දහස දිනා ගැනීමට සමත් වුනා. ඔහු විසින් මසු දහසකින් පරදවන ලද අනෙක් පුරුෂයෝ ඇගේ ස්වාමි පුරුෂයාට මේ විස්තර කීවා.
  • ඇගේ ස්වාමි පුරුෂයා එම කීම විශ්වාස නොකළ අතර ඇගෙන් ඒ ගැන ඇසුවා. “එම මිනිසුන් මා හට ඔබ කාමයේ වරදවා හැසිරුනේ යැයි පවසන ලදී. ඔබ එවැනි තැනැත්තියක් ද?”
  • “මම එවැනි දෙයක් නොදනිමි ස්වාමීනි.” ඇය තම ස්වාමි පුරුෂයාට කීවා. ස්වාමියා එවිට එය විශ්වාස නොකළ හෙයින් ඇය තමා අසල සිටි සුනඛයෙකු පෙන්වා බොරු දිව්රීමක් කළා. ඒ, “මා විසින් එබඳු පාප කර්මයක් කරන ලද්දේ නම් මේ කන් කැඩුණු බල්ලා ඒ ඒ භවයෙහි උපන් මා කා දමත්වා.”
  • ඇය සමඟ සිටි අනිකුත් පන්සියයක් ස්ත්‍රීන් ඇය අනාචාරයේ හැසිරුණු බව දන්නා නමුත් “අපි එවැනි දෙයක් නොදන්නෙමු.” කියලා බොරු කීවා. “ඉතින් අපි එවැන්නක් දැනගෙන සිටියේ නම් භවයක් භවයක් පාසා මැයට දාසියෝ වන්නෙමු.” යි කියා බොරුවට දිව්රීම කළා. .
  • කළ වරද නිසා දුක් වුන එම කාමයේ වරදවා හැසිරුණු ස්ත්‍රිය මිය ගොස් හිමවත් පර්වතය ළඟ විල් හතකින් එකක් වුන කර්ණමුණ්ඩ විල්තෙර ළඟ විමාන ප්‍රේතියක් ව ඉපදුනා. පරිවාර ස්ත්‍රීන් පන්සියය ද අකුසල විපාක වශයෙන් ම ඇයට දාසියන් වී ඉපදුනා.
  • ඇය දවල් දිව්‍ය සම්පත් අනුභව කොට අර්ධ රාත්‍රියෙහි පාපකර්මයේ බලයෙන් යහනින් නැඟිට පොකුණට යයි. ඇය එම ස්ථානයට ගිය විට ඇත් පැටවෙක් තරම් වූ කන් කැඩුණු භයානක පෙනුමක් ඇති සුනඛයෙක් පැමිණ ඇයගේ ඇටසැකිල්ල දක්වා ම කා දමයි. පසුව ඇගේ ඇටසැකිල්ල දත්වලින් ගෙන පොකුණට දමා අතුරුදන් වෙයි. ඇගේ එම ඇටසැකිල්ල පොකුණට පතිත වූ සැණින් පෙර සිටි සාමාන්‍ය ස්වභාවයට පත් වෙයි. මේ සියල්ල දක්නා පරිවාර ස්ත්‍රීහු ඇයට වහල් වී ඉපදී දුක් වින්දා. මෙසේ ඔවුන්ට අවුරුදු පන්සිය පනහක් දුක් විඳින්න වුණා.
  • පුරුෂයන්ගෙන් තොරව දිව්‍ය සැප විඳින්නා වූ ඔවුන්ට මහත් කලකිරීමක් ඇති වුණා. එම කර්ණමුණ්ඩ විලෙන් නික්මී පර්වත සිදුරකින් පිටතට පැමිණ ගංගා නම් ගඟට වැටුණු එක් ගඟක් ඇත. ඔවුන් වාසය කරන ස්ථානයේ දිව්‍යමය ඵල ඇති අඹ, කොස්, දෙල් ආදී ගස්වලින් පිරුණු උයනක් සහිත ය. එම ස්ත්‍රීන් උපායක් සිතා බැලුවා.
  • “අපි මේ අඹ ගෙඩි මේ ගඟේ පා කර හරිමු. මේ අඹ ගෙඩිවල රසයට ලොල් වී යම් පුරුෂයෙක් මෙතනට පැමිණියහොත් ඔහු සමඟ එක්වන්නෙමු.” යි කියා අඹ ගෙඩි ගංගාවෙ පා කළා.
  • එම අඹ ගෙඩිවලින් සමහරක් තාපසයන් විසින් ගන්නා ලදී. සමහරක් වන සතුන්ගේ ආහාර බවට පත් විය. එක අඹ ගෙඩියක් ගංගාවෙහි ජල පහරට හසුව පිළිවෙළින් බරණැස් නුවරට ආවා. ලෝහ දැලකින් වට කරන ගංගා ජලයේ බරණැස් රජු ස්නානය කරමින් සිටි වෙලේ ගංගා ජලයේ පාව ආ අඹ ගෙඩිය එම ලෝහ දැලෙහි රැදුණා. දිව්‍යමය අඹ ඵලය දුටු රාජ පුරුෂයෝ එය රජු හට පිළිගැන්වූවා..
  • රජතුමා අඹ ගෙඩිය ගැන සොයා ගන්න සිරගෙයි සිටි සොරෙකුට ටිකක් කෑමට දුන්නා. අඹ කෑල්ල කෑමෙන් පසු ඔහුගේ සිරුරෙ පැසුණු හිසකෙස් නැති වී සමෙහි රැළි නැති වී යෞවනයෙකුගේ පෙනුමක් ලැබුණා. රජු ද අඹ ඵලය වළඳා සිරුරෙ සිදුවන ආශ්චර්යය දැක වැද්දන් කැඳවා ඔවුන් විසින් පවසන ලද වැද්දෙකු හට කහවණු දී ඒ අදාළ අඹ ගස සෙවීමට පිටත් කරා.
  • බොහෝ දුෂ්කරතා මැද අද්භූත ගංගාවක් පසුකරමින් මැණික් වර්ගවලින් බබළන දිව්‍යමය උයනට පැමිණීමට ඔහු සමත් වුනා. ඔහු පැමිණෙන අයුරු ඈත සිට ම දුටු අමනුෂ්‍ය ස්ත්‍රීන් “මොහු මා හට අයිති ය.” කියමින් ළඟට දිව එන්නට වුනා. දිව්‍ය සම්පත් අනුභව කිරීමට සමත් පුණ්‍යකර්මයක් නොකළ බැවින් ස්ත්‍රීන් දැක බියපත් වූ වැද්දා පලා ගොස් බරණැස් රජුට එම පුවත කීවා.
  • රජතුමා වැද්දාගේ උදව් ඇතිව දිවා කාලයෙහි ම අඹ වනයට ඇතුළු වුනා. රජතුමා දැක සතුටට පත් ස්ත්‍රීන් රජුට නොයෙක් අයුරින් උපස්ථාන කොට විමනට නංවාගෙන රජ හට කැමති පරිද්දෙන් කාලය ගත කළා. අවුරුදු එකසිය පණහක් ගත වී ගිය පසු අර්ධ රාත්‍රියෙහි පරපුරුෂ සේවනයට හසු වූ ස්ත්‍රිය පොකුණ අසල දී සුනඛයා විසින් කනු ලබන අයුරු රජුට පෙනුනා. තුන් දවසක් මෙම සිදුවීම දුටු රජතුමා සුනඛයාව හීයකින් විද මරා දමා ස්ත්‍රිය පොකුණට බස්වා ඇයගේ පළමු රූපය ලබා ගත් අතර ඇගෙන් ඒ පිළිබඳ ව විමසුවා.
  • ස්ත්‍රිය තමා විසින් පෙර භවයේ කරන ලද අකුසල කර්මයන් රජුට විස්තර වශයෙන් පැහැදිලි කළා. රජතුමාගේ පැමිණීමෙන් කර්ණමුණ්ඩ සුනඛයාගෙන් නිදහස් වූ බවත්, දැන් ශෝකය සහ බිය පහව ගිය බවත් රජුට පැවසුවා. රජතුමා එම විමානයෙහි වාසය කිරීමට කැමැත්තක් නොමැති බව ඇයට ප්‍රකාශ කළා. ස්ත්‍රිය රජු කෙරෙහි බොහෝ කැමැත්තක් උපදවාගෙන සිටි බැවින් එහි නැවතී දිව්‍ය සම්පත් අනුභව කරන ලෙස රජුට නැවත නැවතත් ඇවිටිලි කළත් ස්ත්‍රියගේ ආයාචනය ප්‍රතික්ෂේප කළ බැවින් රජු ව නැවතත් ඔහුගේ මාලිගාවට ඇරලවා බොහෝ වටිනා මැණික් වර්ගයන් රජුට තෑගි ලෙස ලබා දී බොහෝ සිත්තැවුලෙන් යුතුව හඬා වැළපී නැවත තම විමානයට ගියා.
  • රජු එය දැක සංවේග සිත් ඇතිව දන් පින් කරමින් කල් ගතකර මිය පරලොව ගියා.පර පුරුෂ සේවනයේත් බොරුවට දිව්රා සිටීමෙත් විපාක කොතරම් භයානකද. පරපුරුෂ සේවනය විතරක් නෙමේ සෑම අකුසලයකම විපාක දරුණුය. නොපමාව කුසල් වඩන්න.