Hela Rahas

Hela Rahas Official Web Portal

අඩසිය වසක් දළදා හිමිට කැප වුන රාජා ඇතාගේ නොදන්නා කතාව

  • උතුම් දළදා පෙරහැර කියන්නෙ අපෙ රටේ අභිමානය කීම නිවැරදියි. දෙස් විදෙස් ලෝකයක් ආදරය කරන ගෞරවය දක්වන ශ්‍රී දළදා පෙරහැර කරඬුව වැඩමවීමට ලැබීමට ඇතෙක් කොතරම් පිං පුරන්න ඕනෑද.ශ්‍රී දළඳා කරඬුව වැඩම කරන ඇත් රජු අනිත් ඇත්තුන්ට වඩා විශිෂ්ට වාසනාවන්ත පිංබර හස්තියෙක්. අවුරුදු 50ක් ශ්‍රී දළදා පෙරහරට සම්බන්ධ වී අවුරුදු 37ක් දළදා කරඬුව වැඩම කළ ‘රාජා ඇතා’ මේ පිංවන්තයන් අතර විශිෂ්ටයෙක්.
  • ඇතුන් අතර සද්ධන්ත කුලයේ ඇතකුට සරිලන අංග 5ක් පොළොව ස්පර්ශ කිරීමද කරඬුව වැඩම කිරීම සඳහාම පිටකොන්ද උස්ව පිහිටා තිබීම මෙන්ම දළ දෙකද වක්‍රව පිහිටීම මේ රාජා ඇතාගේ තිබුණු සුවිශේෂී ලක්ෂණයි.රාජාගේ තිබුණ බුද්ධිමත්භාවය, හික්මීම, ගමන් කිරීමේ ලතාව ආදී විශේෂ ලක්ෂණ අදටත් මිනිස්සු මතක් කරන්නෙ ලොකු අභිමානයකින්. දළදා පෙරහරේදී කරඬුව වැඩම කිරීමේදී රාජාගේ තිබුන සංයමයත් ගාම්භීර උදාර විලාශයත් නිසා එකල පෙරහර නැරැඹූ දේශීය හා විදේශීය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ගෞරවාදරයටත් ප්‍රශංසාවටත් ලක් වුණා. රාජා පාරේ ගමන් කරන විට රාජට වඳින්න පවා මිනිස්සු පුරුදු වෙලා සිටියා.
  • රාජා ඇතාගේ බුද්ධිමත් බව, සංයමය පෙන්නුම් කරන සිදුවීම් බොහොමයක් අපිට අහන්න දකින්න ලැබෙනවා. දළදා අවසන් මහා පෙරහරේදී කරඬුව වැඩම කරවන ඇතා රන්සිවි ගෙය තුළින් ගමන් කරවීමත් පාවඩ එළීමත් සිදුකරනවා. රාජා ඇතා පෙරහරේ ගමන් කරන විට පාවඩ එළීම පරක්කු වුණොත් එකතැන හිඳ පාවඩය එළන තෙක්ම බලා සිට පාවඩය මතම කකුල් තැබීම දළදා හාමුදුරුවන්ට කරන ගරු ගාම්භීර භක්ති පූජාවක්.
  • එක අවස්ථාවක පෙරහරේ ගමන් කරමින් සිට එක්වරම එක අඩියක්වත් ඉදිරියට නොතබා රාජා නිසොල්මනේ සිටි විට ඇත්ගොව්වන්ට පෙනී ගියේ කරඬුව ඇතාගේ සිරුරට බැඳි පටිය කැඩී ඇති බවයි. එදා රාජා තව අඩියක්වත් ඉස්සරහට තැබුවා නම් කරඬුව බිම වැටීමට ඉඩ තිබුණ බව කියනවා.
  • දවසක් රාජා කටුගස්තොට අලි නාවන තොටේදී කුලප්පු වී ඇත. රාජා කුලප්පු වී පැය ගණනාවක් තිස්සේ දඟලමින් එහෙත් කිසිවකුට හිංසා නොකරමින් ගඟටම වෙලා සිටියත් හවස ඇතා බඳින තැනට යාමට පාර දෙසට දුවලා. ඇත් ගොව්වන්ද එයට ලැහැස්තිව සිට ඇතා පාරට ගෙනවිත් පාර දිගේ ඇතා දිවගෙන යනවිට පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් පාරේ සිටින අයට අයින් වීමට දන්වලා.
  • මෙසේ යන අතරමඟ නවයාලතැන්න ප්‍රදේශයේදී කකුල් දෙකම පණ නැති යාචකයකු අත් දෙකින් වාරු ගනිමින් ඇවිද එමින් සිට ඇති අතර කිසිවකුට කර කියා ගන්නට දෙයක් නොවුණු බවත් එම යාචකයා මේ තමන් ඉදිරියට එන්නේ දළදා කරඬුව වැඩම කරන රාජා බව දැන අත් දෙක ඔසවා වැඳගෙන සිටි බවත් එක්වරම රාජා හොඬවැලෙන් ඔහු ගෙන පාර අයිනේ කණ්ඩිය උඩින් තබා ගිය බවත් කියනවා.
  • 1959 මහ පෙරහර දින ඇතිවූ අලි කුලප්පුව මහනුවර ඇසළ පෙරහරේ අමතක නොකළ හැකි සිද්ධියක්. මේ වෙලාවේ කරඬුව වැඩම කළ රාජා ඇතා එදා පොරෝලිස් ප්‍රනාන්දු ආයතනය (අද බේක් හවුස්) අසල ගසක බැඳ තැබුවා. එදා ලොකු කලබලයක් වුනත් රාජා නිසොල්මනේ ගහට හේත්තු වී තමන්ගේ සුවිශාල රාජකාරිය වන කරඬුව ආරක්ෂා කරමින් සිටියා.
  • තවත් දළඳා පෙරහරක ඉන්දියාවෙන් දළදා මාළිගයට පූජා කෙරුණ ඇතෙක් පෙරහරේ ගමන් කරමින් සිට එක්වරම කුලප්පු වෙලා. ඒ ඇතා ක්වීන්ස් හෝටලය හා හැටන් නැෂනල් බැංකුව අසල වටරවුමේ ඇති ගසට හේත්තු කර එම ගසේ බැඳීමට ඇත් ගොව්වෝ සමත් වෙලා. පෙරහර ඉවර වෙලා ගෙවැදුණත් එම ඇතා එතනින් රැගෙන යාමට බැරි වෙලා. අවසානයේ රාජා ඇතා එතනට ගෙනවිත් කුලප්පු වූණ ඇතාට හොඬවැලෙන් පහර කීපයක් දුන් අතර ඇතා වෙව්ලමින් එතනම බිම වැතිර ඇත. ඒ අවසරයෙන් කකුල්වලට මාංචු දමා ගසෙන් ලිහා රැගෙන ගිහිං.
  • ඇසළ පෙරහර ගෙවදීමෙන් පසු රාජා දළදා මාළිගයෙන් පිටවන්නේ දළදා මාළිගයට වන්දනා කිරීමෙන් පසුවයි. රාජාගේ අවසාන දවල් පෙරහර අවසාන වී දළදා මාලිගයට වඳින විට රාජා ඇතාගේ ඇස්වලින් කඳුළු කැට කඩා හැලීම ඔහුගේ හදවතේ තිබුණු ශෝකය ප්‍රකාශ කර ඇති බව කියනවා.
  • රාජා ඇතා තරම් දළදා කරඬුව වැඩම කළ වාසනාවන්ත පින්බර ඇතෙකු තවත් නැති තරම්. රාජා ඇතා ජාතික වස්තුවක් විදියට J.R. ජයවර්ධන ජනාධිපතිතුමන් විසින් 1986 දී ප්‍රකාශයට පත් කළා. තැපැල් දෙපාර්තමේන්තුව විසින් රාජා ඇතා සිහි කිරීමට 1989.12.12 දින මුද්දරය සහිත මුල් දින කවරයක් නිකුත් කළා.
  • 1988 ජුලි 16 වන දින ඇතා මිය යාමත් එක්තරා දෛවෝපගත සිද්ධියක් විදියට දක්වන්න පුළුවන්. ඇසළ මාසයකම දළදා මාළිගයට පූජා කෙරුණු රාජා ඇසළ මාසයේදීම මිය ගියා. එවිට රාජාගේ වයස අවුරුදු 75ක්.රාජා මිය ගිය පසුව තාක්ෂණ ක්‍රම උපයෝගි කර ගනිමින් දළ දෙක, හිස් කබල හා ශරීරයේ කල්පවතින කොටස් උපයෝගී කර ගනිමින් ජීවමාන ස්වරූපයෙන් ඇතා ප්‍රතිනිර්මාණය කර ඇතා පරිහරණය කළ සියලුම ඇඳුම්, පලඳනා, උපකරණ හා මෙවලම් සහිතවද විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූපද සමඟ රාජා කෞතුකාගාරය පිහිටුවා ඇත.