Hela Rahas

Hela Rahas Official Web Portal

සද්ධාතිස්ස රජතුමා කුලී වැඩ කොට දානයක් දුන් හැටි

  • ලංකාවෙ රජ කළ ධාර්මික පාලකයන්ගෙ මුලින් සිටින රජ කෙනෙක් තමා සද්ධාතිස්ස රජු. මේ රජුගේ දානාදි කතාවයි. දිනක් රජතුමා විවේක සුවයෙන් සිංහාසනයට වී සිටියා. මෙහෙම සිටින විට බුදුහාමුදුරුවො සංයුක්ත නිකායේ දේශනා කර ඇති සමාදාන දානය ගැන කල්පනා කළා. අනුන් තලා පෙළා හිරිහැර කොට නොදදෙන දානය තමා සමාදාන දානය කියන්නෙ.
  • කල්පනා කරමින් සිටිය රජු තමන්ගෙ මෙහෙසිය කැඳවලා කීවේ දැන් ධාන්‍ය පැසෙන කාලය ළඟ බවත් තමන්ටත් වෙහෙස මහන්සි වෙලා උපයලා සංඝරත්නය කෙරෙහි දානයක් දිය යුතු බවත්.පසුදාක රජතුමා රාජ වස්ත්‍ර ගලවා සාමාන්‍ය කෙනෙක් වගේ සැරසිලා රජ මාළිගාවෙන් පිට වෙලා කුලියක් කරන්න ගියා.මෙහෙම යන විට එක ගෘහපතියෙක් හමු වුණා. රජතුමා පැවසුවේ තමන් කම්කරුවෙක් බවත් කුලියක් සොයන බවත්. ගෘහපතියා කීවා තමන්ගෙ පෙනුම රජකම් කරන කෙනෙක්ගෙ පෙනුමක් මිස කම්කරුවෙක්ගෙ පෙනුමක් නොවේ කියලා.
  • කොහොමහරි අර ගෘහපතියා කුඹුරක් කපන්න තියෙන බවත් කරන්න හැකිද කියලා රජතුමාගෙන් ඇසුවා. රජු පුළුවන් බව කියලා දවසම මහන්සි වෙලා ගොයම් කැපුවා. ගෘහපතියා කැමති නම් ගොයම් ටිකක් ගෙනියන ලෙස රජුට කීවා. අඳුර වැටෙන තුරු සිට රජු ගොයම් මිටියක්ද රැගෙන මාළිගාවට ආවා.
  • රජතුමා තමන්ගෙ මෙහෙසිය එක්ක මහන්සි වෙලා බැත පොලා වී සුද්ධ පවිත්‍ර කරලා ගත්තා. පසුව රජතුමා දේවියට පැවසුවේ කාටවත් එන්න නොදෙන ලෙසත් හැකි අයුරින් දානය පිළියෙල කරන ලෙසත්. ඉතිං දේවිය සහල් ටිකක් විකුණා හකුරු, ගිතෙල්, කැවුම් ගෙනාවා. ඒ එක භික්ෂූන් වහන්සේ නමකට සෑහෙන්න.
  • පසුව රජු තමන්ගෙ දාසියක් විහාරයට යැව්වා භික්ෂූන් වහන්සේ නමකට දනට ආරාධනා කරන ලෙස. මේ ගැන පුවඟු දිවයිනෙ වැඩ සිටිය තිස්ස තෙර දිවැසින් දුටුවා. උන්වහන්සේ මේ දානය රජු ඉතා ධාර්මිකව මහන්සියෙන් සාදා ගෙන ඇති බවත් ඒ නිසා එය පෘතග්ජන භික්ෂුවකට වැළඳීමට නොදිය යුතු බවත් සිතුවා.
  • ඒ බව වෙනත් භික්ෂූන් වහන්සේ නමකට කියලා උන්වහන්සේට වැඩිමහල් පිළිවලට අසුන්ගෙයි සිටගන්න බවත් කීවා. ඒ භික්ෂූන් වහන්සේ එසේම කර දානය පිළගත්හ. දානයට වැඩිය උන්වහන්සේ රජතුමාගේ ප්‍රණීත දානය පිළිගෙන තමන් වහන්සේට අසුන් ගන්න අනවශ්‍ය බවත් තමන් පිඬු කොට විහාරයට වඩින බවත් පවසා අහසින් විහාරයට වැඩියා.
  • උන්වහන්සේ ගෙනා දානය භික්ෂූන් වහන්සේලා දහතුන් දහසකට වළදන්න ප්‍රමාණවත් වුණා. ඉතිරි දානය උන්වහන්සේ වැළඳුවා. ඉතිං මෙහෙම පිං දහම් කරමින් සිටින විට සද්ධාතිස්ස රජතුමාගෙ මරණය ළඟා වුනා. මරණාසන්න මොහොතේ සිටි ධර්මකථිකයානන් වහන්සේ රජුට පැවසුවේ තමන් කළ පිං දහම් මතක් කර ගන්න ලෙස. කොතෙක් පිං කළත් රජතුමාට සිහියට ආවේ අර මහන්සි වෙලා උපයා දුන්න දානය. ඉතිං ඒ සමඟම මියගිය සද්ධාතිස්ස රජතුමා තුසිත දෙව්ලොව ඉපදුනා.