Hela Rahas

Hela Rahas Official Web Portal

දණහිස් වේදනාව සමනය කරන ස්වභාවික ක්‍රම 7ක්

  • දණහිස් කැක්කුම් කියන්නේ අපේ දෛනික කාර්යක්ෂමබවට බාධා කරන පීඩාකාරී තත්වයක් නේ. නිදන්ගත වේදනා කැක්කුම් වලට තුඬු දෙන දෙවන විශාලතම බලපෑම ලෙසත් එය හැඳින්වෙනවා. ඒ හැරත් දවසේ විඩාබර ගතිය නිසා වගේම ඇතැම් විට අපට මුහුණ දීමට සිදුවන සුලු සුලු අනතුරු වල බලපෑමින් ද සිරුරේ එවැනි පීඩාකාරී ස්වභාවයන් හටගත හැකියි. එමෙන්ම ස්ථූලතාවය, මාංශ පේශීන් වල නම්‍යතාව නොමැතිකම ආදි හේතු සාධක වල ප්‍රතිඵලයක් ලෙසත් මෙසේ දණහිස් ආශ්‍රිතව කැක්කුම්-වේදනා හටගත හැකියි.
  • ඔබේ දණහිස් වේදනා-කැක්කුම් සමනය කරගැනීම සඳහා ඔබට ස්වභාවික අත්බෙහෙත් ක්‍රම ගෙදරදී උත්සාහ කර බැලිය හැකියි.අද දවසේ අපි ඔබට කියලා දෙන්න සූදානම් වන්නේ දණහිස් වේදනාවන් සමනය කරගැනීමට උපකාර කරන ගෙදරදීම සිදුකල හැකි ස්වභාවික අත්බෙහෙත් ක්‍රම 7 ක් පිළිබඳවයි. මෙම ක්‍රම ප්‍රතිඵලදායක වන අතර ඔබේ පීඩාකාරී දණහිස් වේදනාවන් -කැක්කුම් සමනය කරමින් ඔබට වඩාත් හොඳ සුවයක් ලබාදෙනු ඇත.

1.ඉඟුරු

  • ඔබේ දණහිස් ආශ්‍රිතව වේදනාවන් හටගැනීමට බලපා ඇත්තේ මාංශ පේශී ඇදීයාමක් හෝ ආතරයිටීස් වැනි රෝග තත්වයේ බලපෑමක් නිසා නම් ඉඟුරු යනු ඔබේ පීඩාවන්ට ප්‍රත්‍යක්ෂ ඔසුවකි. ඉඟුරු වල ඉහළ මට්ටමේ ප්‍රති-ප්‍රදාහක, ප්‍රති-ව්‍රණ සහ ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුලය. එමෙන්ම ඉඟුරු වල ගුණ මඟින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවයි.
  • දණහිස් වේදනාවට ප්‍රතිකාරයක් ලෙස ඉඟුරු භාවිතයට ගත හැකි ක්‍රම කිහිපයකි: දිනපතා ආහාර වේලට මුසු කරමින් පරිභෝජනයට එක්කරගැනීම, ඉඟුරු තේ පානය කිරීම, කිරි සමඟ ඉඟුරු මිශ්‍ර කර පානය කීරීම හෝ ජලය සමඟ ඉඟුරු මිශ්‍ර කර වේදනා දෙන ප්‍රදේශයේ ආලේප කිරීම වැනි ක්‍රම ඉන් ප්‍රධානයි.


2.වදකහ

  • වදකහ ශාකයේ අල වියළා ලබාගන්නා කුඩු කුළුබඩුවක් ලෙස භාවිතා වේ. වදකහ වල අඩංගු ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධති ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිචාර දැක්වීම ක්‍රමවත්ව වැඩිදියුණු කරයි.
  • දණහිස් වේදනාවන් සමනය කරගැනීමට කහ භාවිතා කල හැකි ක්‍රම අතර : එළකිරි සමඟ කහ මිශ්‍ර කර පානය කිරීම, වේදනා දෙන ප්‍රදේශය මත කහ වලින් සාදා ගත් ආලේපය ගැල්වීම, වගේම දිනපතා ආහාර වේලට කහ කුළුබඩුවක් ලෙස මිශ්‍ර කර පරිභෝජනයට ගැනීම දණහිස් වේදනා සමනයට පමණක් නොව වෙනත් රෝග පිඩා ගැටලු ආදිය සමනය කරමින් සිරුරට බොහෝ ප්‍රතිඵල ලබාදෙනු ඇත.

3.ලෙමන්

  • ලෙමන් වල අඩංගු ගුණ මඟින් දණහිස් වේදනා වඩාත් ඵලදායි ලෙස සමනය කරයි. ඒවායේ අඩංගු ස්ට්‍රික් අම්ල මඟින් සිරුරේ ඇති විවිධ ආතරයිටීස් තත්වයන් හටගැනීම කෙරෙහි බලපාන යූරික් අම්ල ප්‍රමාණය පහත දැමීම සඳහා උපකාර කරයි. ලෙමන් වල අඩංගු ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් දණහිස් වේදනා දක්වා වර්ධනය වීමට පටන්ගන්නා පීඩාකාරී ප්‍රදාහය තත්වයන්, වේදනාවන් සහ ඉදිමුම් තත්වයන් සමනය කරයි.
  • ලෙමන් වල පොතු ඉවත් කර ඒවා කපු රෙදි කැබැල්ලකින් ආවරණය කරගන්න. ඉන් පසුව රත්කරගත් උණුසුම් තලතෙල් වල පොඟවා වේදනා දෙන දණහිස මත ආලේප කරන්න. වේදනාව සමනය වන තුරුම මෙය දිනකට දෙවරක් පමණ සිදුකරන්න. මීට අමතරව තේ කෝප්පයට ලෙමන් බිංදු කිහිපයක් මිශ්‍ර කර හෝ ජලය වීදුරුවකට ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර පානය කිරීමට හුරුවීමත් ඉතා ප්‍රතිඵලදායකය.


4.රතු මිරිස්

  • මිරිස් වල අඩංගු ප්‍රබල සංඝටක විශේෂයක් වන කැප්සයිසින් වල වේදනා නාශක ගුණ අන්තරගත බැවින් ඒවා ඔබේ දණහිස් වේදනා සුවපත් වීමේ ක්‍රියාවලිය සඳහා වඩාත් හොඳ සහයෝගයක් ලබාදේ. දණහිස් වේදනා සමනය කරගැනීමට මිරිස් අත්බෙහෙතක් ලෙස භාවිතා කල හැකි ක්‍රම ලෙස- දෛනික ආහාර වේලට කුළුබඩුවක් ලෙස මිරිස් එක්කරමින් පරිභෝජනයට ගැනීම, වේදනා දෙන පාදයේ දණහිස් ප්‍රදේශය මත සෘජුව මිරිස් ආලේප කිරීම වැනි ක්‍රම දැක්විය හැකිය.
  • බාහිර ආලේපයක ලෙස භාවිතා කිරීම සඳහ මිශ්‍රණය සකසා ගැනීමට රතු මිරිස් මේස හැඳි 2 ක් රත්කර උණුසුම් කරගත් ඔලිව් තෙල් කෝප්ප බාගයකට දමා හොඳින් කලවම් කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා මෙම ආලේපය පීඩා දෙන දණහිස් ප්‍රදේශය මත දිනකට දෙවරක් බැගින් පමණ ආලේප කරන්න. වේදනාව දුරු වි යන තුරු මෙය සතියක් පමණ කාලයක් සිදුකරන්න.


5.අබ තෙල්

  • දණහිස් වේදනා ඇතුලු සිරුරේ හටගන්නා වෙනත් කැක්කුම්-පීඩා ‍රැසක් සුවපත් කිරීමේ හැකියාව අබතෙල් වල අඩංගුය. දණහිස් වටා පිහිටි ශිරා තුල රුධිර ප්‍රවාහය උත්තේජනය කරවමින් ක්‍රමවත් කිරීම සඳහා අබතෙල් උපකාර කරයි. ඒ හරහා මාංශ පේශීන් සහ සන්ධි අශ්‍රිත වේදනා-කැක්කුම් අඩු කර සහනයක් සලසයි.
  • තලාගත් සුදුලූණු බික්කක් අබතෙල් ස්වල්පයකට මිශ්‍රකරන්න. එම තෙල් ස්වල්පයක් අත්ලට ගෙන වේදනා දෙන දණහිස් ප්‍රදේශයේ ආලේප කරමින් මෘදුව සම්බාහනය කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දිනකට කිහිප වරක් මෙය සිදුකරන්න.

6.පොල් තෙල්

  • පොල් තෙල් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනග්ගමින් ශක්තිමත් කරනවා මෙන්ම සිරුරේ හටගන්නා මාංශ පේශී පෙරළීම් සහ දණහිස් වේදනා -කැක්කුම් සඳහා හොඳ ප්‍රතිකාරයක් ද වේ. පොල් තෙල් වල අඩංගු ප්‍රති-ප්‍රදාහක ගුණ සහ නිර්වේදනික ගුණ අඩංගුය. එහෙන්ම එහි අඩංගු ඉහළ මට්ටමේ ලෝරික් අම්ල මඟින් සිරුරේ හටගන්නා වේදනා සුවපත් වීමේ ක්‍රියාවලිය සඳහා වඩාත් හොඳ සහයක් ලබාදේ.
  • ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීමේ ක්‍රම ලෙස දිනපතා ආහාර වේලට පොල් තෙල් මුසු කරගැනීම සහ ආලේපනයක් ලෙස භාවිතා කිරීම දැක්විය හැක. පොල් තෙල් වලට කපුරු තෙල් හෝ වෙනත් ගුණදායි එසෙන්ෂියල් ඔයිල් වර්ගයක් මුසු කර භාවිතා කිරීම ඉතා යෝග්‍යයයි. තුනී ස්ථරයක් සේ සම මත ආලේප අර දණහිස් වටා හොඳින් සම්බාහයන කරන්න. එමඟින් පාදයේ රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු වෙනු ඇත. ඉන් ඔබේ දණහිස් වේදනාවන් සුවපත් වීමේ ක්‍රියාවලිය වඩාත් හොඳින් වේගවත් වී ඔබට සහනය සැලසෙනු ඇත.

7.එප්සම් ලුණු (සවිඳ ලුණු)

  • එප්සම් ලුණු වල අඩංගු මැග්නීසියම්, සල්ෆේට් ආදී වේදනා-සමනය කරවන ගුණාංග අඩංගු ඛනිජ අන්තර්ගත බැවින් ඒවා ඔබේ දණහිස් වේදනාවන් දුරුකරගැනීමට හොඳ ප්‍රතිකාරයක් සේ භාවිතා කල හැකිය. දණහිස් ආශ්‍රිතව හටගන්නා ප්‍රදාය (ඉදිමුම) තත්වය අඩු කිරීම සඳහා මැග්නීසියම් විශාල කාර්යබාරයක් ඉ‍ටුකරයි. මෙම ලුණු භාවිතයෙන් දණහිස් සඳහා ප්‍රතිකාර කල හැකි වඩාත් ඵලදායි ක්‍රමය නම් ‘සෝක් බාත්’ හෙවත් ලුණු මිශ්‍ර ජලයේ පාද පොඟවාගෙන සිටීමයි. එමඟින් පාද වල රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු වී සන්ධි ආශ්‍රිත වේදනා-කැක්කුම් අඩු වී යයි. වතුර පිරවූ නාන තටාකයකට එප්සම් ලුණු කෝප්ප 1 ක් එක්කර කලවම් කරගන්න. වඩාත් හොඳ පතිඵල සඳහා පෙපර්මින්ට් හෝ වෙනත් ගුණදායි එසෙන්ෂියල් ඔයිල් වර්ගයකින් බිංදු කිහිපයක් ජලයට එක්කරන්න. ඔබේ දෙපා පැය බාගයක් පමණ කාලයක් තිස්සේ එම ජලයේ පොඟවාගෙන සිටින්න.