Hela Rahas

Hela Rahas Official Web Portal

කතරගම කිරි වෙහෙර වහන්සේගේ ඉතිහාස කතාව

  • හම්බන්තොට වගේ ශුෂ්ක දේශගුණයක් ඇති ප්‍රදේශයක පිහිටා ඇති කිරි වෙහෙර පුණ්‍ය භූමිය සොඳුරු මැණික් ගඟ, නිල්ල පිරුණු කුඹුක් ගස් පෙළත් තවත් විවිධ ගස්වලින් සෙවන ලද රමණීය පරිසරයක කතරගම පුද බිම පිහිටා ඇත. මෙය ඇත්තටම ස්වභා දහමේ අපූරු නිර්මාණයක්.
  • සම්බුදු පහසින් පවිත්‍ර වුන බිමක අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේත් සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කර සාදා ඇති කිරිවෙහෙරත්, කතරගම දෙවිඳුන් වෙනුවෙන් ඉදි වී ඇති දේවාලයත් මේ පුද බිම තවත් අසිරිමත් කරනවා.
  • බුදුරජාණන් වහන්සේ තුන්වැනි ලංකා ගමනේදි කතරගම කිරිවෙහෙර ඇති ස්ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිට ඇති බව කියනවා. ඉතිං අපි සොළොස්මස්ථානය වන්දනා කරද්දි අවසානයට කියවෙන සිද්ධස්ථානය තමා කතරගම කිරි වෙහෙර කියන්නෙ. මේ ගැන ධාතු වංශයේ සඳහන් වෙනවා.
  • කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථාන වලින් එකක් නිසාත් අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් පිහිටි බිමක් නිසාත් සුවිශේෂී පූජනීය ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා.බුදුන් වහන්සේ වඩින විට මේ ප්‍රදේශයේ සිටියේ ‘මහාඝෝෂ’ නම් දෙව් රජකු කියල කියනවා. මේ කතරගමත් කිරිවෙහෙර ගැනත් ගොඩක් පැරණි ඉතිහාසයක් තියෙනවා.
  • ඉතිං කිරි වෙහෙර ගැන ඉතිහාස කතාව මේ ආකරයට කියනවා. ඒ අනුව බුදුන් වහන්සේ වැඩ ධර්මය දේශනා කිරීමෙන් පසුව මෙහි වැසියන් බෞද්ධාගමට අනුගත වුන බවති ‘කිහිරි වනයේ’ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ පසු කාලෙක කිහිරි නොහොත් ‘කිරි වෙහෙර’ ඉදි කළ බව කියනවා.
  • කිරි වෙහෙර ඉදි කරවන ලද්දේ ක්‍රි.පූ. 1 වැනි සියවසෙ රුහුණේ රජ කළ ‘මහානාග‘ රජු. එ වගේම ශිලා ලේඛනයක සඳහන් වෙන්නෙ මේ චෛත්‍යය ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ දී කටගමුවේ විහාරස්ථානයක වැඩ විසුව හාමුදුරුනමක් කරවන ලද බවට ද මතයක්. ක්‍රි.පූ. 5 වන ශතවර්ෂයට අයත් ශිලා ලේඛනයක කිරිවෙහෙර හඳුන්වා ඇත්තේ මංගල මහා චෛත්‍ය ලෙස.
  • බොහෝ කල් ගිය පසු 1961 දි ගරා වැටී තිබුණ කිරිවෙහෙර නැවත ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා. දැනට අඩි 96 ක් පමණ උස චෛත්‍යයේ බිම් මට්ටමේ වට ප්‍රමාණය අඩි 280 ක් පමණ. අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ නමක් කතරගමට ප්‍රදානය කිරීමට හේතු වී ඇත්තේ ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වඩමවන උත්සවයට කතරගම ක්‍ෂත්‍රිය ප්‍රධානියෙක් ද සහභාගී වීම බව කියනවා.
  • කතරගමට වඩමාගෙන ආ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ මැණික් ගඟ අසබඩ රෝපණය කිරීමෙන් පසුව අනුරාධපුර යුගයේ දි කතරගම දකුණේ ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත් වුණා.
  • දුටුගැමුණු රජතුමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ ඒකායන අරමුණෙන් සටන් බිමට අවතීර්ණ වීමට ප්‍රථම කතරගම බෝ සමිඳුන් වෙත පැමිණ බෝධි පූජා පවත්වා පඬුරක් ගැට ගසා භාරයක් වුන බව ජනප්‍රවාදයේ සඳහන්.
  • ඉන් පසුව යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමෙන් දුටුගැමුණු රජතුමා කතරගම දෙවිඳුන් වෙනුවෙන් ද දේවාලයක් ඉදි කළ බවත් වර්තමාන කතරගම දේවාලය පවතින්නේ එම ස්ථානයේම බවත් ජනප්‍රවාද කියනවා.
  • මේ බුදු පහස ලද කතරගම පූජා බිම අද වෙද්දි ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ භාර හාර වෙන දේවාලයක් විදියට. ඒ වගේම මිනිස්සු අද කතරගම වඳින්න යන්නෙ තමන්ට කරදරයක් වුණාම දෙවියන්ට කියන්න මිසක් බුදුන් වැඩි පිංබිමක් වඳින්න යන ලෙස නෙමේ.
  • අපි කරන්න අවශ්‍යය කතරගම කිරිවෙහෙර අභියස පිරිසිදු සිතින් මලක් පහනක් පූජා කර බෝ සමිඳුට වන්දනා කර ඒ සිසිලස විඳිමින් පවිත්‍ර චේතනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීම.
  • එහෙම නැතිව දහස් ගණන් වටිනා පූජා වට්ටි, දහසින් බැඳි පියළි තබා මෝහයෙන් මුළා වෙලා තමන්ට ඕන දේවල් ලබා දෙන්න කියල දෙවියන්ට කියන එක නෙමේ කළ යුතු වෙන්නෙ. එය තවත් තණ්හාව, ආශාව පොදි ගසා ගෙන තවත් සසර දිගු කර ගැනීමයි.
  • ඒ නිසා බුදුන් වැඩි බිමකට ගිහින් බුදු දහමට නොගැළපෙන අන්ධ විශ්වාසවල ඇලී නොසිට බුදු දහමට අනුකූලව කුසල් කර්ම රැස් කරන්න.