Hela Rahas

Hela Rahas Official Web Portal

ආත්මාරක්ෂාව උදෙසා උපදෙස් 9 ක්

“ඔබේ ආරක්ෂාව සලසාගත යුත්තේ ඔබමයි” කියලා කතාවක් තියෙනවනේ. වර්තමාන සමාජය තුල කාන්තාවකගේ ආරක්ෂාව නිවසින් පිටතදී සැමවිටම අවදානමක තිබෙන බව නොරහසක්. ඔබට කරදරයක් ,උපද්‍රවයක් සිදුවිමට හැකි සෑම අවස්ථාවකදීම ඔබට වෙනත් අයෙකුගේ උපකාරයක් පිහිටක් නොලැබීමට ඇති ඉඩකඩ වැඩියි. ඉතින්, ඔබේ අත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා ඔබ උපක්‍රමශීලිව සන්නද්ධ වීම ඉතා වැදගත්. එය ඔබේ ආත්මවිශ්වාසය මෙන්ම ස්වාධීන බවටත් හේතු වේවි.

සටන් කිරීමේ හැකියාව කියන්නේ හොඳ ආත්මාරක්ෂක කුසලතාවයක්. නමුත්, ඊටත් වඩා හොඳම දේ තමයි ඔබව අනාරක්ෂිත වීමට ඇති අවදානම් සහගත අවස්ථා අවම කරගැනීම සහ මගහැරීම. බොහෝ විට ඉතා සුලු උපක්‍රමයකින් පවා ඔබට නොසිතු ලෙස අවදානමකින් ආරක්ෂාකාරීව බේරීමට හැකියාව ලැබිය හැකියි. එදිනෙදා ජීවිතයේ ඔබේ ආත්මාරක්ෂාව වඩාත් සහතික කරගැනීමට මේ උපදෙස් කිහිපය ඔබේ මතකයේ තබාගන්න.

1.තාප්ප වලට මදක් ඈතින් ගමන් කරන්න

  • තාප්පයක් සහිත වංගුවකින් මාර්ගය බෙදෙන විට ඔබ කල් තියාම තාප්පයෙන් මදක් ඈත්වී ඉදිරියට ගමන් කරන්න. වංගුවට සමීපව ඇවිදගෙන යන විට වංගුව නැම්මේ යම් කෙනෙකු සැඟවී සිටියත් ඔබට නොපෙනිය හැකියි. නමුත්, ඈතින් ගමන් කරන විට ඔබට ඉදිරිය වඩාත් පැහැදිලිව දැකිය හැකි නිසා ඔබට වහාම ක්‍රියාත්මක විමට කාලයත් අවකාශයත් ලැබේ. ඔබ මාර්ගයේ ගමන් කරන විට අවට වඩාත් සාවධානව අවට අවදානමක් ඇත්දැයි පරික්ෂාකාරී වීම වඩාත් නුවණට හුරුය.

2.ඔමේ මෝටර් රථය ආපස්සට (reverse) කර ගාල් කරන්න

  • හදිසියේම පිටවීයාමේ අවශ්‍යතාවයක් ඇතිව ඔබ රථ ගාලට පැමිණි විට ඔබේ මෝටර් රථය හරවා ගැනීමට ඔබට තවත් වැඩියෙන් කාලය ගත වේ. බියෙන් හා කලබලයෙන් සිටින නිසා එවැනි අවස්ථාවක මෝටර් රථය හසුරුවාගැනීම පවා අසීරූ විය හැකිය. වඩාත් හොඳම ක්‍රමය වන්නේ එය ආපස්සට ගාල් කිරීමයි.එමඟින් හදිසි අවස්ථාවකදී හෝ කරදරයක දි වුවද වේගයෙන් මෝටර් රථය වෙත දිව විත් එම ස්ථානයෙන් පිටවියාමට ඔබට හැකිය.

3.මෝටර් රථය අඳුරු ස්ථානයට ගාල් නොකරන්න

  • ඉඩක් නොලැබුනු නිසා අස්සක තිබෙන අඳුරු තැනක ඔබේ මෝටර් රථය ගාල් කිරීම එතරම් ආරක්ෂාකාරී නොවිය හැකියි. හොඳ ආලෝකයක් ඇති කාටත් පැහැදිලිව පෙනෙන ස්ථානයක වාහනය ගාල් කරන්න. අඳුරු ස්ථානයක ගාල් කර තිබෙන මෝටර් රථය දෙසට ඔබ යලි පැමිණෙන විට කවුරුන් හෝ එහි පි‍ටුපස සැඟව සිටියත් ඔබට නොපෙනිය හැකියි. එමඟින් ඔබව යම් කෙනෙකුගේ පහසු ඉලක්කයක් වීමේ අවදානම වැඩිය.

4.මෝටර් රථයට නැවත ගොඩවීමට පෙර ඇතුලත සෝදිසි කර බලන්න

  • නැවත මෝටර් රථයට නැවත නැගීමට පෙර දුරසිටම අවට සහ යට මදක් පරික්ෂාකර බලන්න. එමෙන්ම වාහනයට ලංවී ඇතුලත කවුරුන් හෝ සිටියි දැයි සෝදිසි කර තහවුරු කරගන්න.

5.ෆ්ලෑෂ්ලයිට් එකක් භාවිතා කරන්න

  • ඔබ ලඟ ප්‍රබල ආලෝකයක් විහිදෙන විදුලිපන්දමක් තබාගන්න. විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි ඔබට ගමන් කිරීමට සිදුවේ නම් ඔබේ ස්මාර්ට් දුරකථනයේ ආලෝකයට වඩා ෆ්ලෑෂ්ලයිට් වර්ගයේ විදුලිපන්දමක ආලෝකය වඩාත් ආරක්ෂාකාරීය. පළමුව, දුරකථනය සොරුන්ගේ ග්‍රහණයට හසුවිය හැකි දෙයක් වීමය.දෙවන හේතුව නම්, ඔබව යම් කෙනෙකුගේ ග්‍රහණයට හසු වූ අනපේක්ශිත අවස්ථාවකදී ඒ පුද්ගලයාට පහර දීමට විදුලි පන්දම භාවිතා කල හැකිය. විදුලි පන්දම් ආලෝකය සොරාගේ ඇස් දෙසට සෘජු කරවමින් මොහොතකට එම පුද්ගලයා අන්ධ කර එතැනින් ඉක්මනින් පළායෑමට උත්සාහ කිරීම තවත් උපක්‍රමයකි.එමෙන්ම දුරකථනය භාවිතා කරමින් ඇමතුමක් ගැනීමට නොහැකි අවස්ථාවකදී යම් කෙනෙකුගේ උදවු ඉල්ලා සංඥා කිරීමට විදුලි පන්දම් ආලෝකය මහමගදී ප්‍රයෝජනවත් වේ.

6.ඔබ ‍රැඳී සිටින කාමරය ගැන විස්තර ලබා නොදෙන සේ සේවකයින්ට පවසන්න

  • හෝටල් කාමරයක් වෙන්කරවා ගන්නා විට එය වචනයෙන් නොකියා ලියා දෙන මෙන් ඉල්ලිමක් කිරීමට ඔබට හැකිය. ඔබ ‍රැඳි සිටින හෝටල් කාමරයේ විස්තර සහ ඔබේ විස්තර කිසිවෙකුට ලබානොදෙන ලෙස ද හෝටල් සේවකයින්ගෙන් ඉල්ලිමක් කිරීමට ඔබට හැකියි.

7.දොර විවෘත කිරීමට නොහැකි සේ බාධකයක් තබන්න

  • නිවසින් පිටත ස්ථානයක රාත්‍රිය ගත කරන විට වැඩි ආරක්ෂාව සඳහා ඩෝර් ස්ටොපර් වැනි දොර‍ටුව විවෘත කල නොහැකි බාධකයක් දොරට යොදන්න.ඉන් ඇතුලත සිටින ඔබට වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇත.

8.විදුලි සෝපානයක ගමන් කරන විට සිටගත යුතු ආකාරය

  • විදුලි සෝපානයක ගමන් කරන විට පාලක පැනලයට පසෙකින් බිත්තියට පි‍ටුපස හරවා සිටගන්න. එම ඉරියව්වේදි ඔබට අවට සිටින පුද්ගලයින්ව පැහැදිලිව පෙනේ.

9.පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරන විට

  • බස් වල, දුම්රිය වල ගමන් කිරිමේදී ආරක්ෂාව සම්බන්ධ අවදානම වැඩියි. දොර‍ටුව අසල ආසනයක ඉඳගෙන සිටින විට ඔබේ බඩු බාහිරාදියේ ආරක්ෂාව ගැන සැලකිලිමත්වන්න. විශේෂයෙන්ම ඔබේ පසුම්බිය හෝ දුරකථනය සොරෙකු විසින් ‍රැගෙන පලායාමට ඉඩ තිබිය හැකියි. රියදුරු ආසනයට ලඟ ආසනයක වාඩි වීමට හැකිනම් වඩාත් සුදුසු වේවි.එවිට ඔබට කොන් නොවන අතර ඔබට යම් කෙනෙකු කරදරකරනවා නම් එතැනින් ඉවත් වීමට පහසු වේ.