Hela Rahas

Hela Rahas Official Web Portal

අදටත් හාස්කම් පිරි මහියංගනයේ නාගදීපය

  • බුදුහාමුදුරුවො ලංකාවෙ දෙවනි වරට වැඩිය පුණ්‍ය භූමිය තමා නාගදීපය කියන්නෙ. ඒත් ඒ යාපනයෙ නාගදීපය ද? මේ කියන මහියංගනය නාගදීපය ද? අපි දන්නෙ ඒ යාපන අර්ධද්වීපයෙ ඇති නාගදීපය කියලා. ඒත් සමහරු කියනවා ඒ මහියංගනයෙ නාගදීපය කියලා.පළමු වර ලංකා ගමනෙදි මහියංගනයට වැඩිය බුදුහාමුදුරුවො දෙවනි වරටත් මහියංගනය අසළ නාගදීපයටම වඩින්න ඇතිද?
  • කොහොම වුනත් මේ මහියංගනය නාගදීපයට වැඩි බව එක මතයක් විතරක් බව කතාව පටන් ගන්න කලින් කියන්න ඕන. මහියංගනයෙ රිදීමාලියද්දට අයිති නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමක්.
  • නාගදීප වැවෙන් වට වෙලා ඇති මේ ප්‍රදේශය අක්කර 4ක් විතර විශාල දූපතක්. මෙහි ඇති ඉතිහාස කතාව කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස දක්වා යන බව කියනවා. ඉස්සර කාලෙ නාග ගෝත‍්‍රික ජනයා ජීවත් වුන පැත්තක් නිසා ‘නාගදීපය’ කියල හැඳින්වුවා කියලා ජනප‍්‍රවාදයේ කියනවා. තවත් ජනප‍්‍රවාදයක කියන්නෙ නාගයන් බහුලව සිටිය මේ අද්භූත පරිසරයේ නාගයන්ගෙන් විහිදුණු ආලෝකය නිසා ‘නාගදීප’ නම ලැබී ඇති බව.
  • දුටුගැමුණු රජතුමා සතුරු සේනා සමග යුද වැදීමට යන්න මේ ප‍්‍රදේශයේ සේනා රැස්කර සටන් පුහුණුව ලබාදුන්න බවත්, යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර මෙම ස්ථානයේදී බාර හාර වුන බවත් ජනප‍්‍රවාදයේ සඳහන්.ඒ ජනප්‍රවාදවල ඇත්තක් ඇති බව අදටත් නාගදීප බිමේ දකින්න ලැබෙන විශාල හුඹස් වලින් කියනවා. මේ බිමේ වටිනා අතීතයක් තිබුනා කියලා අනාවරණය කරන සාක්කි අදත් ඉතුරු වෙලා තියෙනව.
  • නාගදීපයෙ ගරාවාස වෙලා ඇති චෛත්‍යයන් දෙකක් ඇත. එකක් ටිකක් කුඩා වුවද අනෙක් චෛත්‍යය අතිවිශාලයි. කුඩා චෛත්‍ය ඉදිරියේ වීදුරු කාමරයක තැන්පත් කළ නාග රුපයක් දකින්න පුළුවන්. එය පූජා කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
  • ඒ පොඩි චෛත්‍යය දුටුගැමුණු රජ්ජුරුවෝ හැදුවා කියල තමයි කියන්නේ. මෙහි ධාතු ගර්භය හා ඊට ඉහළ කොටස් දකින්නට ලැබෙන්නෙ නෑ. එසේ නොමැති වීමෙන් එම කොටස්, නිර්මාණය නොකළේද නැතිනම් පසුකාලයක විනාශවී ඇත්දැයි කියන්න බෑ.
  • චෛත්‍යක කොටස් යැයි අනුමාන කළහැකි එක සමාන චතුරස‍්‍රාකාර කුඩා කුහර කැපූ ගල් පුවරුවක් හා කුඩයක්වන් ආවරණයක් සහිත ගල් ආවරණයක් චෛත්‍ය අසල බිම වැටී ඇත. එ්වා නිධන් වස්තු තැන්පත් කර තිබූ ඒවා යැයි කියනවා.
  • මෙහි ඇති අතිවිශාල චෛත්‍යය ඈතට පෙනෙන්නෙ මහා පස් කන්දක් වගේ. ඒ ස්ථානයේ බුදුමැදුරක් ඇත.ඒක හදලා තියෙන්නේ විශාල චෛත්‍යයේ නටබුන් උඩ කියල කියනවා. විහාරගොඩ නමින් හැඳින්වෙන කන්දට නැග්ගම අද අපිට පේන්නේ චෛත්‍යයේ ඉහළ කොටස විතරයි. ඊට පහළ ඔක්කොම පස් කන්දක් වගේ.
  • බුදුමැදුර පසුකර ඉහළට යනවිට එහි විශාල වහල කොටසේ නටුබුන් දක්නට ඇත. ඒ විහාරකන්ද පාමුල රජ දවස ඉදිකර තිබූ විහාරගෙයි නටබුන්. ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති කාලයේ 1989 දි මේ නාගදීප විහාරස්ථානයද සංරක්ෂණය කිරීම ආරම්භ කර ඇත. පුරා විද්‍යාත්මක කැණීම් සිදුකරණ අවස්ථාවේ පැරණි සංඝාවාසයේ නටබුන් වලට දැඩි අවධානය යොමු කර ඇත.
  • එහි දොරටුවේ තිබූ රූප රහිත සඳකඩපහණ හා ගල් අත්තිවාරමක කොටස් මෙහිදී අධීක්ෂණයට ලක්ව ඇති අතර, ඉපැරණි විහාරගෙ මතම පසුව සංඝාවාසය ඉදිකර ඇති බවට කරුණු හෙළි කරගෙන ඇත. එහි ඇති බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිය ක්‍රි.ව. 9-10 අතර කාලයට අයත් යැයි සොයාගෙන ඇත. රාජ්‍ය නිලධාරි සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප‍්‍රදානය කළ වරප‍්‍රසාද ගැනත් ඒ සෙල්ලිපියේ සඳහන්.
  • දැනට ඇති සංඝාවාසය වටා ඇති ශෛලමය නටබුන් ඉපැරණි බුදුගෙයි සලකුණු පෙන්නුම් කර ඇති බවත් ඉපැරණි විහාරගෙය සංඝාවාසයට යටවී ඇති බවට සාක්ෂි ලැබී ඇත.ඒ වගේම වර්තමානය වෙද්දි මෙහි හාමුදුරුවන් දොළොස් නමකට විතර වැඩ සිටිය හැකි සංඝාවාසයක් ඇතත්. වැඩ වසන්නෙ එක් නමක් විතරයි. ඒ ගැන කතා කරද්දි අමුතු සිදුවීම් ගැන මත ඇත.
  • ඒ වගේම මෙහි කැණීම් කරන්න හැමදාමත් බාධා එන බව කියනවා. එකපාරක් ඩෝසර් කරන්න යනකොට ඩෝසරයක් ගිනි අරන් තියෙනවා. 1968 දී නාගදීපය කියන ගම අයින් කරලා කැප්ටන් සෙනෙවිරත්න මහත්තයා තමයි මේ නාගදීප ව්‍යාපාරය ආරම්භ කර ඇත. එතකොට මෙහි වැඩවාසය කරලා තියෙන්නේ කොටගම සුමංගල හාමුදුරුවන් නම් හිමි නම. මේ කියන ව්‍යාපාරය හැදුවට පස්සේ මේ පන්සල් භූමිය සම්පූර්ණයෙන්ම යටවෙනවා. අංග සම්පූර්ණ පන්සලක් හදලා තිස්සපුර ප‍්‍රදේශයේ පදිංචි කරනවා කියලා ඒ ඉංජිනේරුවරු කියලා තියෙනවා හාමුදුරුවන්ට. ඒත් එය සිදුවෙලා නෑ. හාමුදුරුවොත් තිස්සපුර ඉඳලා ඇවිත් සැරෙන් සැරේ මේ වැඩ කටයුතු දිහා බලාගෙන ඉඳලා තියෙනවා.
  • යටවෙලා තියෙන විහාර ගේ මතු කර ගත්තොත් බොහෝ ඉතිහාස කරුණු සෙල්ලිපි මතුවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙයිද කියල විශ්වාසයක් තිබිලා නෑ. මේ විහාරස්ථානයේ වාර්ෂික පුණ්‍යෝත්සවය දවස් 7ක් මුළුල්ලේ පැවැති බවත් එක දවසකට එක ගමකින් පෙරහැරක් බැගින් පෙරහැර 7ක් විහාරස්ථානයට පැමිණ පුද පූජා පැවැත්වූ බවත් පැරැන්නන් කියනවා. ඒත් පසුව බොහෝ කාලයක් තිස්සේ ස්ථිර භාරකර හිමිනමක් නැතිවීමත් සමග ඒ සියල්ල නතර වී තිබේ.
  • එහෙත් භාරහාර වීමට හා ඒවා ඔප්පු කිරීමට නන්දෙසින් පැමිණෙන බැතිමතුන් දැකිය හැක. එසේ විශාල පිරිසක් පැමිණෙන බවත් ඒ අතර ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයින්ද සිටින බවත් කියනවා.සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙත් තියෙන්නේ මහියංගනං නාගදීපං කියලා. බුදුහාමුදුරුවෝ වැඩිය නාගදීපය කියලා කියන්නේ මේ ස්ථානයලූ.
  • යාපනයේ තියෙන ස්ථානයට නෙවෙයි. මහියංගනයේ නාග ගෝත‍්‍රිකයන් හිටපු බවට නාග වනය හොඳින්ම සාක්කි දරනවා. බුදුන් වහන්සේ පළමු වතාවට මහියංගණයට වැඩම කරලා දෙවන වරට මෙම ස්ථානයට වැඩියා කියලා තමයි කියන්නේ කියල මතයක් ඇත.නැවතත වතාවක් මතක් කළ යුතු කරුණක් තමා මේ එක මතයක් විතරයි. එහි සත්‍ය අසත්‍ය බව කියන්න තරම් සාක්ෂි නෑ.