Hela Rahas

Hela Rahas Official Web Portal

පඩිය ඉතිරි කරගැනීමට ජපන් උපක්‍රම 6ක්

සල්ලි නාස්ති නොකර අරපරිස්සමින් අනාගතයට ඉතුරුවක් වන විධියට කළමනාකරණය කරන ක්‍රමයක් ගැන ඉගෙන ගන්න කැමති ද? මේ උපක්‍රමය අපට කියාදෙන්නේ ජපානයයි. ‘කකෙයිබෝ (Kakeibo)’ නම් මෙම ක්‍රමයේදී ඔබට අවශ්‍ය වන්නේ කුඩා සටහන් පොතක් සහ පෑනක් පමණයි. මෙම ක්‍රමය අනුගමනය කල හැකි ආකාරය පියවර කිහිපයකින් සමන්විතයි.

පියවර 1: සටහන් පොතක් ගන්න

  • තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයේ මේ නමින් විවිධ මෘදුකාංග පවා දැන් වන විට අතේ තිබෙන ස්මාර්ට් දුරකථනයට බාගත කරගත හැකියි. නමුත්, මෙම ක්‍රමයේදි පැරණි ක්‍රමයම භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ටයිප් කිරීමට වඩා පොතක සටහන් කිරීමෙන් ඔබේ මතකයේ ඒවා ‍රැඳීම වැඩි බවයි අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ.කකෙයිබෝ යන ජපන් වචනයේ සරල පරිවර්තනය නම් ‘ගෘහස්ථ ගිණුම් පොත’ යන්නයි. මෙය 1904 තරම් ඈත අතීතයකට සිට පැවත එන ක්‍රමයකි.හනි මොටෝකෝ නම් කාන්තාව විසින් මෙය පළමු වරට හඳුන්වාදී ඇත.ඇය ජපානයේ පළමු කාන්තා පුවත්පත් කලාවේදිනිය ලෙස සැලකේ.

2.පියවර 2: මාසික ආදායම ලැබෙන ආකාර පිළිබඳ සැලැස්ම

  • පළමුව, ඔබට ආදායම් ලැබෙන ආකාර මොනවාද යන්න සහ මසකට ඔබ විසින් උපයන මුදල කොපමණදැයි සටහන් කරන්න. මාසයට අදාළ සති 4 සඳහා තීරු 4ක් අඳින්න. එම සති වලදි ඔබට ලැබුණු ආදායම් සහ අමතර මුදල් ඉපයීම් සටහන් කරන්න. මෙහිදී නිශ්චිත ආදායම් (මාසික පඩිය වැනි) එක් වර්ණයකින් ද අමතරව උපයාගත් මුදල් (භාණ්ඩ විකුණුම්, පොලී ආදායම්,සේවාවක් සපයමින් ලැබූ ආදායමක් ආදිය) වෙනත් වර්ණයකින් ද සටහන් කරන්න.

3.පියවර 3:මාසික ඉතුරුම් සැලැස්ම

  • එම මාසයේ සෑම සතියකදීම ඔබ විසින් ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල ඇතුලත් කරමින් තවත් වගුවක් සකස් කරන්න. වියදම් සැලැස්මට කලින් ඔබ ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය තීරණය කිරීම ඉතා වැදගත් ය.

4.පියවර 4: මාසික වියදම් සැලැස්ම

  • ඊලඟ පියවරට අනුව ඔබ විසින් ඔබේ මාසික වියදම් මොනවාද යන්න සැලසුම් කල යුතුය. මසකට යෙදෙන විදුලිය,ජලය, අන්තර්ජාලය හා දුරකථන වැනි බිල්පත් වියදම්, ගෙවිය යුතු කුලී මුදල් ආදි ස්ථීර වියදම් මොනවාද යන්න සටහන් කරන්න.

5.පියවර 5: වෙනත් වියදම් සඳහා සැලැස්මක්

  • මාසික ආදායමින් මසකට යෙදෙන පොදු වියදම් සහ ඔබ විසින් ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල අඩු කල විට ලැබෙන මුදල වියදම සඳහා මසකට ඔබට ඉතිරි වන මුදලයි.මෙය කාණ්ඩ 4 ක් යටතේ බෙදී යයි. පළමු වියදම් ශීර්ෂය ජීවන වියදම් වන ආහාර පාන, ඇඳුම්, නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ආදිය සඳහා වෙන් කල යුතුයි. දෙවැන්න සංස්කෘතික (උත්සව අවස්ථා සඳහා) සහ අධ්‍යාපනික වියදම් (පාඨමාලා, පොත්පත් ආදිය සඳහා) සඳහාය. තෙවැන්න විනෝදාස්වාදය (චිත්‍රපට නැරඹීමට යාම, විනෝද ගමන්, සාද වැනි) සඳහා වියදම් ය . සිවුවැන්න ඉහත තීරු යටතේ සටහන් කල නොහැකි වෙනත් ඕනැම වියදම් වර්ග සටහන් කිරීමටය (අනපේක්ෂිත වියදම් වර්ග). මෙම තීරු යටතේ එන වියදම් වර්ග සමබර අනුපාතයක් පවත්වාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.

6.පියවර 6: සීමාව තුල ‍රැඳීම

  • මාසය අවසානයේදී සටහන් කල දේවල් හොඳින් විශ්ලේෂණය කරමින් ඔබගේ ආදායම් සීමාව තුල ඔබේ වැයකිරීම් පවතියි ද යන්න පරික්ෂා කරන්න. මෙම ක්‍රමය හරහා ඔබේ අතින් සිදුවන අනවශ්‍ය වියදම් මොනවාද යන්න පැහැදිලිව හඳුනාගත හැකි අතර ඒවා ක්‍රමයෙන් කපා හරිමින් එම මාසයට වඩා හොඳ අය වැය සැලැස්මක් ඉදිරි මාසය සඳහා සැලසුම් කිරිමට ඔබට හැකිවේ.
  • වියදම් සියල්ලට පසුත් ඔබේ අතේ යම් මුදලක් ඉතිරි වේ නම් එම මුදල වටකුරු ගණනක් ලෙස කැටයකට දමා ඉතිරිකරන්න. එසේත් නැතිනම් ගිණුමකට දමන්න.මෙම ක්‍රමයෙන් ඔබේ ආදායම් මුදලින් 35% ක් පමණ අනාගතය සඳහා ඉතිරිකරගත හැකිය.බුද්ධිමත්ව මුදල් කිරීම කකෙයිබෝ ක්‍රමෝපායකි.
  • එම නිසා ඔබට මිලදී ගත නොහැකි දේ මොනවාද යන්න සිතීම සඳහා නොව ඔබට වඩාත් වැදගත් වන සහ ඔබට වියදම් කල හැකි දේවල් මොනවාද යන්න ගැන වැඩි අවධානයක් යොමුකරන්න. ඔබ සතුව කොපමණ මුදලක් තිබේද? කොපමණ මුදල් ප්‍රමාණයක් ඔබ ඉතිරි කිරීමට කැමතිද? ඔබ කොපමණ මුදල් ප්‍රමාණයක් වැය කරනවාද? වඩාත් හොඳ අනාගතයකට ඔබට සිදුකල හැකි දේවල් මොනවාද? යන්න පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
  • එදිනෙදා ජීවිතයේදි ඔබ විසින් කුඩා දේවල් සඳහා පවා වැය කරන මුදල් සටහන් කිරීමට වෙනත් සටහන් පොතක් තබාගන්න. එමඟින් ඔබට ඔබේ අනවශ්‍ය වියදම් අවම කරගැනීමට හැකි වේවි