Hela Rahas

Hela Rahas Official Web Portal

දරුවෙකු ලැබීමෙන් පසු මවකගේ මොලයේ සිදුවන වෙනස්කම් 3ක්

දරු ප්‍රසූතියකින් පසුව මව ගත කරන කාලය හඳුන්වන්නේ පසු ප්‍රසව අවධිය යනුවෙනි. මේ කාලය තුලදී මවක් කායිකව මෙන්ම මානසිකව යම් යම් ශාරිරික වෙනස්කම් වලට ලක්වේ. දරු ප්‍රසූතියකින් පසු මවකගේ මොලයේ සම්බන්ධයෙන් සිදුවන වෙනස්කම් සහ ක්‍රියාකාරීත්වයන් මොනවාද යන්න පිළිබඳව විමසා බලමු.

1.මොලයේ සතු‍ටු හෝර්මෝන වැඩිවේ

  • දරු ප්‍රසූතියකින් පසු මවක් වැඩිවශයෙන් කාලය ගත කරන්නේ තම දරුවා සමඟයි. පර්යේෂකයින් විසින් මෙම මව සහ දරුවා අතර ඇති අන්තර්සබඳතාව සහ ඉන් මවගේ මොලයේ ප්‍රතික්‍රියාවන් සිදුවන්නේ කෙසේද යන්න අධ්‍යයන කර ඇත. විශේෂයෙන්ම දරුවාගේ හැඬීම් සහ සිනාසීම් වලට මව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න විෂය විය. තම දරුවා සිනාසෙනවා දකින විට මවගේ මොලයට ප්‍රිතිමත් බව ඇතිවන රසායනයන් විශාල ප්‍රමාණයක් ගලා ඒමට පටන්ගනියි. මේවා සතු‍ටු හෝර්මෝන යනුවෙන් හඳුන්වයි.
  • උදා: ගර්භණී සමයේදී මවකට ඔක්සිටික්සින් (ආදර හෝර්මෝන) සහ ඩොපමයින් (ප්‍රීතිය ඇතිකරන හෝර්මෝන) මාත්‍රාවන් ලැබෙන්නට පටන්ගනියි.පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මෙම රසායනයන් මඟින් මවට දරුවාගේ අවශ්‍යතා හඳුනාගැනීමට සහ දරුවාට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලබාදෙන බවයි. මොලයේ සිදුවන තවත් වෙනස්කමක් වන්නේ මොලයේ පාරි‍තෝෂ ප්‍රදේශය (reward region) විශාල වීමය. දරුවා සමඟ වඩාත් ශක්තිමත් බැඳියාවක් සහ සැලකිලිමත්භාවයක් ඇතිකරගැනීමට මව පෙළඹවීම සඳහා මෙම වෙනස්කම දායක වේ.

2.ධුසර ද්‍රව්‍ය (grey matter) හැකිළෙයි; නමුත් එය අයහපත් තත්වයක් නොවේ.

  • මිනිස් මොලයේ ඇති ධුසර ද්‍රව්‍ය පුද්ගලයාගේ දෘෂ්‍ය හැකියාව, ශ්‍රවණ හැකියාව,මතක සහ චිත්තාවේගයන් පැසුරුම් (process) කිරීම, තීරණ වලට එලඹීම සහ අන් අය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකිරීමේ හැකියාව සඳහා වගකියනු ලබයි. උදාහරණයක් ලෙස මේවා මඟින් අන් පුද්ගලයින් හට දැනෙන හැ‍ඟෙන ආකාරය තේරුම්ගැනීමට, වාචික නොවන යම් යම් ඉඟි වල අර්ථය අවබෝධ කරගැනීමට සහ සබැඳියාවන් ඇතිකරගැනීම සඳහා බොහෝ සෙයින් උපකාරී වේ. ඇතැම් අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ මවකගේ මොලයේ ඇතැම් කොටස් වල ධුසර ද්‍රව්‍ය කුඩා වී ගොස් ඇති බවයි. මෙම වෙනස්කම දරු ප්‍රසූතියෙන් වසර 2 ක් පමණ කලක් දක්වා කල්පැවතිය හැක.
  • එසේ ධුසර ද්‍රව්‍ය අඩු වීම අයහපත් තත්වයක් සේ හැඟුන ද පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මෙම තත්වය නිසා මවකට තම හට දරුවා කෙරෙහි වැඩි බැඳියාවක් හැ‍ඟෙන්නට හේතු වන බවයි. එමෙන්ම ඔවුන් කෙරෙහි සෘණාත්මක චිත්තාවේගයන් ඇතිවීම අවම වී යන බවයි. මෙසේ මොලයේ ඇති ධුසර ද්‍රව්‍ය වෙනස්වීමට භාජනය වීම නිසා මවකගේ අවධානය වෙනත් පුද්ගලයින්ගෙන් තම දරුවා කෙරෙහිම වූ විශේෂ අවධානයකට විතැන් වීම සිදුවේ. එසේ වීම නිසා දරුවා හොඳින් තේරුම් ගැනීමට, දරුවාගේ ශරීර භාෂාවන් හා ඉඟි හඳුනාගැනීමට හා අරුත් වටහාගැනීමට අන් කාටත් වඩා දරුවාගේ මවට හැකිවේ.
  • මෙසේ සිදුවන්නේ අලුත උපන් බිලිඳා කෙරෙහි වැඩි සැලකිලිමත්භවක් දැක්වීමේ වැදගත් වීම නිසා, මොලයේ ඇතැම් ස්නායු සෛල අතර සන්නිවේදන සබඳතා බිඳ වැටී ගොස් නව සෛල අතර නව සන්නිවේදන සබඳතා ගොඩනැගෙන්නට පටන්ගැනීමට ඉඩදීම නිසා බව පර්යේෂකයින් විසින් පෙන්වාදේ.මොලය දැඩි සංවිධානාත්මක ස්වභාවයකට පත්වන අතර සියුම් දත්ත පවා වඩාත් කාර්යක්ෂම පැසුරුම් කරමින් අවදානම් හඳුනාගනියි. උදා: දරුවාට යම් අනතුරක් සිදුවේදැයි විමසිලිමත් වීමට පටන්ගැනීම, දරුවාට ආරක්ෂාව සැලසීමට නිතර උනන්දුවීම

3.මවගේ මතක ශක්තිය පෙර පැවතියාක් මෙන් යහපත් මට්ටමේ පවතියි

  • ඇතැම් කාන්තාවන් තම දරු ප්‍රසූතියෙන් පසු තම මතක ශක්තිය දුර්වල වී ඇති බවත් බොහෝ දේවල් නිතර මතකයෙන් ගිලිහී යන බව පවසති. නමුත්, මෙය මනසින් වදවීමට අවශ්‍ය තත්වයක් නොවන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් පැහැදිලි කරයි. දරු උපතකින් පසු මවකගේ ඥානන හැකියාවන් (cognitive abilities) පරිහාණියට ලක්වන්නේ නැත.මවකගේ මොලය වැඩිවශයෙන් සාවධාන වී පවතින්නේ අලුත උපන් දරුවාගේ අවශ්‍යතා සහ දරුවා ‍රැකබලාගැනීමේ කාර්යන් කෙරෙහිය. දරුවා සඳහා මවකගේ දවසින් වැඩි අවධානයක් සහ කාලයක් වැයකිරීමට සිදුවන නිසා දරුවාට අදාළ නොවන වෙනත් දේවල් කෙරෙහි ඇයගේ අවධානය ගිලිහී යාම සිදුවිය හැකියි. එය මතකය අමතක වීමක් සේ වටහා නොගත යුතුයි.