Hela Rahas

Hela Rahas Official Web Portal

පතිවත රැකීමේ ආනිසංස

අපි කලිනුත් නිමි රජතුමා ගැන කතා කියල තියෙනවා. මේ කතාවත් නිමි රජතුමා හා බැඳුනු කතාවක්. ඉතිං නිමි රජුට දවසක් මෙහෙම සිතිවිල්ලක් ආවා. ඒ තමා ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද?’. රජතුමාට මේ පහළ වුන සිතුවිල්ල දැකලා උපෝසථ සිල් රකින රජුගේ සිල් තෙදින් සක් දෙවිඳුගේ ආසනය උණු වුණා. උපෝසථ දිනයේ අලුයම අහසේ පහළ වුන සක් දෙවිඳු නිමි රජුගේ ප්‍රශ්නයට උත්තර දුන්නෙ මෙහෙමයි.

  • “හීනේන බ්‍රහ්මචරියේන – ඛත්තියේ උපපජ්ජති
  • මජ්ක්‍ධිමේන ච දේවදත්තං – උත්තමේන විසුජ්ඣති”
  • “බලවත් නැති බඹසරින් රජ කුලයේ උපදී. මධ්‍යම බ්‍රහ්මචරියාවෙන් දෙව් බවට පත්වේ. උතුම් බ්‍රහ්මචරියාවෙන් පිරිසිදු බව ලැබේ.”
  • “න හේතේ සුලභා කායා – යාච යෝගේන කේනචී
  • යේ කායේ උපපජ්ජන්ති – අනාගාරා තපස්සිනෝ’ති”
  • “අනගාරිකව කෙලෙස් තවන (බඹසර රකින) යම් කෙනෙක් බඹලොව උපදිනවා නම් එවැනි බ්‍රහ්මත්වයක් වෙන දානයකින් නම් නො ලැබිය හැක්කේ ය.”
  • පසුව සක්‍ර දෙවියො බඹසර දානයට වඩා උතුම් බව කීවා.
  • ඒ, ” පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු ද තවත් බොහෝ දෙන ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය”.
  • ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙනවා. ඒත් දානය දෙව්ලොව ඉක්මවා යන්නෙ නෑ. අතීතයේ යාමහනු, සෝමයාග, මනෝජව, ඉසිකාලි, රක්ඛිය, කස්සප, සමුද්ද, මාද, භරත, කිසවම්ව, අකිත්ති යන ඍෂිවරු අනගාරිකව සිල්වත් වූ, කෙලෙස් තවන, ඒ බඹසර මුල්කරගෙන කාම ලෝකය ඉක්මවා බ්‍රහ්ම ලෝකයේ උපන්නා.

බඹසරයෙ වටිනාකම පැහැදිලි කරන කතාවක් නිමි රජුට සක්‍ර දෙවිඳු කියලා දුන්නා.

  • ” හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් ඇත. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. ඒ තාපසයෝ රස තෘෂ්ණාව මැඩ ධාර්මික භෝජනයෙන් යැපුනාහු ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
  • තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය.
  • ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය. එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
  • එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ සක් දෙවිඳු. එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් එතුමා තව්තිසාවේ ඉපදුනා. ඒ බ්‍රහ්මචාරීන් බඹලොව උපන්නා. බඹසර රකිනවා කියන දේ වෙහෙස වී කළ යතු දෙයක් නෙවේ. අපිට අපේ සිත පාලනය කර ගන්න පුළුවන් නම් බඹසර රැකීම කොතරම් ලේසිද. ඒත් අද මේ සමාජයේ බොහොමයක් ඉන්නෙ කාම ගින්නෙන් දැවෙමින්. ඒ සිතේ තියෙන අසංවර කම නිසා.
  • “අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය -අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
  • අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං -පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
  • “නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
  • ඉස්සර කාලේ නුවණැති සමහර අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළා. තවත් අය විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වෙලා වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරමින් පතිවත රැක්කා. ඒ කාලේ කුමර බඹසර, කුමරි බඹසර ජීවිතය හා සමානව රැක්කා. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රියාවක යෙදුනෙ නෑ.
  • බඹසර සීලයේ අනුහස් බොහෝය. අද සමාජයෙ සමහර මිනිස්සු කියන්නෙ දැන් කාලෙ ඕවා හරියනවද, බොරු කතානෙ කියල. ඒ මොනව වුනත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ බොහෝමයක්, මේ උතුම් ප්‍රතිපදාවන් වල සමාදන් වෙලා වාසය කරනවා. බඹසර කියලා කියන්නේ ඉතාම ආනුභාව සම්පන්න සීලයක්.

බඹසර රැකීමේ ආනිසංස ගැන, කුද්දක නිකායේ ඛද්දක පාට අට්ඨ කතාවේ සඳහන් වෙනවා.

  • බඹසර රකින් කෙනා බොහෝ දෙනාට ප්‍රිය වෙනවා සුවසේ නින්ද යනවා, සුවසේ අවදිවෙනවා, කාන්තිමත් ප්‍රභාෂ්වර සිරුරක් ලැබෙනවා, දුටු දුටුවන්ගේ සිත්, සිත් ඇදී යන ස්වභාවයේ, දුටුවන්ගේ සිත් ප්‍රය උපද්දන ස්වාභාවයේ සිරුරක් ලැබෙනවා. බඹසර කියන්නේ ඒක තේජස්. ඒ නිසා බඹසර රකිනවනම් සතුරෝ ඈත් වෙනවා,
  • ​ඒ වගේම පතිවත රැකීමේ අනිශංසත් බොහොමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙ ඉතා ප්‍රිය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා.
  • දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඇය ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයයි. මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක්. සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළා.
  • රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන් කළා. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මෙහෙම යහපත් දිවි පෙවෙතක් ගත කළ ඇය කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා.
  • ඇය මිය ගොස් ජීවත්ව සිටියදී ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නා. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුණා.
  • මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය.මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ ඇසුවා.
  • ‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය.
  • ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?”‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.”
  • ඉතිං විවාහ වෙන තුරු බඹසර රැකීම, විවාහයෙන් පසුව පතිවත රැකීම වැඩකට නැති දෙයක්ද. නෑ නේද. ඒ පිං බලය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයිති. විවාහක කාන්තාවකට ඇති වටිනාම ආභරණයක් තමා පතිවෘතාව කියන්නේ. ඒ ධර්මය එදා වගේම අදටත් පොදුයි. වැරදි කාම සේවනය නිසා අද වෙද්දි ජීවිත කීයක් විනාස වෙලා තියෙනවද, පවුල් කීයක් විනාස වෙලා ඇතිද. ඊට වගකිව යුතු වන්නෙ බිරිඳ වෙන්නත් පුළුවන්, සැමියා වෙන්නත් පුළුවන්. ඉතිං දෙන්නාම වැරදි නොකර ජීවත් වීම සුදුසු නොවේද.