Hela Rahas

Hela Rahas Official Web Portal

පරිසර දූෂණය කොතරම් බිහිසුණු දැයි පෙන්නුම් කරන ඡායාරූප 16ක්

ලෝකයේ ප්‍රබල අර්බුධ අතර පරිසර දූෂණය ද ප්‍රධාන තැනක් උසුලයි. තාක්ෂණයත් සමඟ ඉදිරියට යන සමාජය ක්‍රම ක්‍රමයෙන් සොබාදමින් ඈත්වෙමින් සිටියි. බොහෝ දෙනාට තමන් ජීවත් වන පරිසරය ආරක්ෂා කරගත යුතු බවට වගකීමක් තබා හැඟීමක් හෝ නොමැති වීම අවාසනාවන්ත තත්වයකි. ජීවත්වීමට හුස්ම පොද දෙන ගස් වැල්, පිපාසය සන්සිදුවමින් ජලය ලබාදෙන ගංගා, ඇළදොළ, නිවාස අහස උසට ගොඩනැගිලි තැනීමට බිම්කඩ ලබාදෙන මහපොළොව ,සතාසිවුපාවුන් ඇතුලු ජීවී අජීවීන්ගෙන් ගහණයව ඇති අප අවට පරිසරය විනාශ මුඛයට පත්වෙනු තවදුරටත් බලාසිටිය හැකි ද?මිනිසුන්ගේ අදූරදර්ශී හා නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරය දූෂණය වී ඇති ඛේදනීය ආකාරය පිළිබඳ කැමරා කාච වලට හසු වී තිබූ ඡායාරූප පෙළක් පහළින් දැක්වේ.

  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පැසි‍ෆික් සාගරයේ කුණු කසල එක් ‍රැස් වී ඇති ප්‍රදේශයක් හරහා යාත්‍රාවක් මග සොයමින් ගමන්කරන ආකාරයයි. උතුරු පැසි‍ෆිල් ප්‍රදේශයේ ඉහළ අහසේ සිට සාගරය දිස්වන අයුරු චන්ද්‍රිකා ඡායාරූප වල සටහන් වී ඇත්තේ මෙලෙසය. Great Pacific garbage patch යනුවෙන් හඳුන්වන්නේ මෙම සාගර ප්‍රදේශයයි.
  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දියාවේ යමුනා ගංගාවේ කසල වලින් පිරුණු ජලයේ පිහිනමින් හුස්ම ගැනීමට උත්සාහ කරන පිරිමි ළමයෙකි.එරට ජල දූෂණය කොතරම් ඉහළ මට්ටමක පවතියි දැයි මේ ඡායාරූපය උදාහරණ සපයයි.
  • කැරිබියන් මුහුද කසල වලින් වැසි ගොස් ඇති අයුරු යි මේ. අධික වර්ෂාපතනය නිසා මොන්ටිග්වා ගංගාව හරහා කසල ගලාවිත් මුහුදට එක්වි තිබීම මීට හේතුව බව පරිසර සංවිධාන පවසයි. කෙසේවෙතත් ප්ලාස්ටික් පරිසරයට කොතරම් හානියක් කරන්නේ දැයි මේ ඡායාරූපය හොඳ නිදසුනකි.
  • ආර්ක්ටික් ධ්‍රැවයේ ජීවත්වන හිම වලසෙකු දිය වෙමින් යන අයිස් කුට්ටියක් මත දිවි ‍රැකගැනීමට උත්සාහයක නිරත වෙමින්. ගෝලිය උණුසුම ඉහළ යාමත් සමඟ ග්ලැසියර සහ ධ්‍රැව ප්‍රදේශ දියවෙමින් පවතියි. හිම වලසුන් වැනි එවැනි සීත කලාප වල සතුන් හට ජීවිත තර්ජන පවා එල්ලකිරීමට මෙම දේශගුණික විපර්යාසයන් හේතු වී ඇත. ඉහළ යන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සහ වායු දූෂණය නිසා මෙසේ ගෝලිය උණුසුම ඉහළ යමින් පවතියි. මේ වන්ම විට ආර්ක්ටික් හි ප්‍රදේශ 19 ක් මෙම අර්බුධය හමුවේ අවදානමට ලක්ව ඇත.
  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ චීනයේ හෙනන් පළාතේ ලුඕයෑංන්ග් නම් නගරයේ දූෂිත ගංගාවකි. ඡායාරූපය ගෙන ඇත්තේ 2011 දෙසැම්බර් 13 වන දාය. ගංගා ජලය මෙසේ අපවිත්‍ර වී තිබීමට හේතුව පසුව අනාවරණය වි තිබිණි. එනම් නිති විරෝධි රසායනික බලාගාර දෙකක් විසින් තම ආයතින කසල හා අපද්‍රව්‍ය වැසි ජල නළ වලට හරවා තැබීම නිසා ඒවා එසේ අසල තිබූ මෙම ගංගාවට එකතු වී ඇති බවයි.
  • ලුසියානා වෙරළතීරයේදි එක්තරා පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන් වි තිබූ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ තෙල් වලින් නැහැවී ගිය පක්ෂියෙකි. අසල වූ සාගර කලාපයේ තෙල් බහාලුම් ඉහිරියාමේ සිදුවීමක් නිසා සාගර ජලයට එසේ තෙල් එක්වී ඇත. ඒ හේතුවෙන් සාගර ජීවින් හා පක්ෂීන් පීඩාවට ලක්වී ඇත.
  • ගෝලිය උණුසුම ඉහළ යාම නිසා සහ අධික පාරිසරික දූෂණය හේතුවෙන් ඉදිරි වසර 50 ඇතුලත මාලදිවයින් දූපත ගිලී යනු ඇති බව අනාවැකි පල වී ඇත
  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ වෙනත් මාර්ගයක් නොමැතිකමින් අපිරිසිදු ජලය පානය කරන කුඩා දරුවෙකි. මෙම සිදුවීම කැමරාවට හසු වි තිබුණේ 2009 වසරේ මාර්තු 20 චීනයේ යුනැනන් පළාතේ ෆූයුආන් ගම්මානයේදීය. එනම් ලෝක ජල දිනයයට දින 2 කට පෙරය.
  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ උතුරු චීනයේ දූෂිත නගරයක මිනිසුන් මුව ආවරණ පලඳිමින් ගමන් කරන අයුරුය. ඊට හේතුව නම් ජාත්‍යන්තර ආරක්ෂණ සම්මතයන්ට වඩා 40 ගුණයකින් එම ප්‍රදේශයේ වායු දූෂණය ඉහළ ගොස් තිබීමය,
  • චීනයේ අන්හුයි පළාතේ ඇන්චින් හි පිහිටි කඩදාසි කම්හලකින් විශාල පරිමාණයෙන් අපද්‍රව්‍ය එරට ප්‍රසිද්ධ යැන්ග්ට්සි ගංගාවට එක්වන අයුරු. චීනයේ ජල දූෂණය යනු ප්‍රධාන පෙළේ අර්බුධයක් වී ඇත්තකි.
  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ චීන මහා ප්‍රාකාරයේ එක් ස්ථානයක කසල ගොඩගසා ඇති අයුරුයි. ලෝක උරුම 7 න් එක් ස්ථානයක් වන මෙහි මෙවැනි තත්වයක් ඇතිවීම කණගා‍ටුදායකය.
  • චීනයේ චින්ග්දාඕ වෙරළේ ඇල්ගී විශේෂයක් වර්ධනය වීම නිසා ජලය අපවිත්‍ර වී ඇති අයුරු. ලෝකයේ බොහෝ සාගර, ගංගා සහ ජලාශ ආශ්‍රිත මෙසේ ඇල්ගී වර්ධනයක් හටගැනීම පාරිසරික තර්ජනයක් විය හැකි බව පරිසරවේදීන් පෙන්වාදෙති.
  • මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ යම් භක්තිකයින් පිරිසක් පූජාවල නිරතවන අයුරුය. වළාකුළ මත ඔවුන් සිටගෙන සිටින බවක් පෙනුණත් ඇත්තෙන්ම ඒ විෂ රසායනයන් ජලයට මුසු වීම නිසා සෑදුනු ඝනකම් පෙන තට්‍ටුවක් මතුවීමට පටන්ගෙන ඇති ඉන්දියාවේ යමුනා ගංගාව ආශ්‍රිත ගං ඉවුරකි.
  • චීනයේ චාඕහු විලෙන් දිය දෝතක් ගත් ධීවරයෙකුගේ අත කැමරා කාචයේ සටහන් වි තිබුණේ මෙසේය. ඇල්ගි වර්ධනයක් නිසා විලේ ජලය අපවිත්‍ර වි ගොස් ඇති අයුරු දැකිය හැකිය. ජලජ ජීවීන්ගේ පැවැත්මට මෙය විශාල තර්ජනයක් එල්ල කර ඇත.
  • බ්‍රසිලයේ රියෝ ඩි ජැනයොරෝ නගරයේ ගුආනබාරා බොක්ක ප්‍රදේශයේ අපවිත්‍ර ජලය නිසා මසුන් මියගොස් තිබූ අයුරුයි මේ.
  • මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ චීනයේ දාලියාන් හි ඇතිවූ මහා පරිමාණ තෙල් ඉහිරුම් සිද්ධියක් නිසා අපවිත්‍ර වූ ප්‍රදේශයක් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතවෙමින් සිටින සේවකයෙකි. මෙම සිදුවීම ඇතිවූයේ 2010 වසරේදීය. එම අවස්ථාවේ විශාල තෙල් නළ 250 කට අධික ප්‍රමාණයක් පුපුරා ගොස් තිබූ අතර වර්ග සැතපුම් 500 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා තෙල් විසිරී ගොස් විශාල පාරිසරික හානියක් සිදුවිය.