Hela Rahas

Hela Rahas Official Web Portal

දේව ආශීර්වාදය ලැබෙන රන් තැඹිලි බල මහිම

  • ඈත අතීතයේ සිටම දිව්‍යමය ඖෂධ ගුණ ඇති ඉතා වටිනාකමකින් යුත් ඖෂධයක් ලෙස රන් තැඹිලි භාවිත කෙරේ. අප රටේ තැඹිලි වර්ග කිහිපයක්ම ඇත. ඒ අතර ගොන් තැඹිලි, රන් තැඹිලි, රෝස තැඹිලි, රත් තැඹිලි, රත් පොල්, නවසි, කිඩාරම් සහ බෙහෙත් තැඹිලි ද වේ.
  • හින්දු දේව පුරාණයට අනුව නම් ගණ දෙවිඳුගේ හිස කඳෙන් වෙන් වී හිමාලයට වැටුණ බවත් එතැනින් මෙම පොල් සහ තැඹිලි වර්ග හටගත් බවත් පැවසේ. මෙම තැඹිලි අතරින් රන් තැඹිලි ඉතාම දුර්ලභ වේ.
  • රන් තැඹිලි ගෙඩියේ හැඩය අනුව එය රවුම් ගෙඩියකි. පිටුපසින් කොණ්ඩ කැවුමක් වගේය. අතින් ලෙලි ඉවත් කළ හැකිය. ඒ තරමටම රන් තැඹිලි ගෙඩිය සියුමැලිය. ගෙඩි 3-4කට වඩා හට ගන්නේ ද නැත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ රන් තැඹිලි ගසේ අතු කපුටන්ගේ ප්‍රියතම ආහාරයක් වීමයි.
  • රන් තැඹිලි ගෙඩිය රතු පාට හෝ රෝස පාට නොවේ. එය රන්වන් පාටය. එවැනි රන් තැඹිලිවල පමණය, නියම ඖෂධ ගුණය ඇත්තේ. ඒ අනුව රන් තැඹිලිවලට සුවිශේෂි වු ස්ථානයක් අතීතයේ සිට වර්තමානය දක්වාම හිමි වේ.
  • පුරාණයේ සිටම වෙදහෙදකම් සඳහා රන් තැඹිලි නැතිවම බැරි ඖෂධයක් විය. ඒ වගේම ගුප්ත ශාස්ත්‍රයේ එන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ක්‍රියාවේදී ද රන් තැඹිලි යොදා ගැනේ. මිනිසාගේ යහපත උදෙසා දෙවියන්ගේ ආකර්ෂණය සහ ආශිර්වාදය ලබා ගැනීමට පවත්වන පුද පූජාවල දී රන් තැඹිලි බහුලව භාවිත කරනු ලබයි.
  • රන් තැඹිලි තෙල් සිඳ ගැනීමේ දී ගින්දර අවුළුවා තෙල් සිඳ ගන්නවාට වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ අව් රශ්මියෙන් තෙල් සිඳ ගැනීමට හැකිනම් ය. එසේ නැතිනම් ගසකින් බිම නොදා කඩා ගන්නා ලද රන් තැඹිලි ගෙඩියක් හෝ කිහිපයක් යකඩයක් සම්බන්ධ නොකර ලී උලකින් ලෙලි ඉවත් කර ලී හිරමණයකින් පොල් ගා එම වතුර ද පිරිසිදු වතුර ද එක් කර පොල් මිරිකා කිරි ගෙන උඩු වියනක් බැඳ උසකින් ළිපක් සාදාගෙන සුවඳ දර වර්ග යොදා පළමුව ස්නානය කර පිරිසිදු වී මල් පහන් පුදා තුනුරුවන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කර තම කාර්යය ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමින් ශුභ හෝරාවෙන් ගිනි අවුළුවාගෙන රන් තැඹිලි තෙල් සිඳ ගැනීම ඉතා යහපත්ය.
  • ළිපට කටින් පිඹින්නේ නැතිව පවන් සලා ගිනි අවුළුවා ගත යුතුය. සැවැන්න මුල්, සුදු හඳුන්, කපුරු යොදා ගැනීමෙන් සුගන්ධය ඇති වේ. මෙසේ පිරිසිදුව සිඳින ලද රන් තැඹිලි තෙල් රාජ වශීයට, සම්මුඛ පරීක්ෂණයට, ස්ත්‍රී පුරුෂ වශීයට, ව්‍යාපාර වශීයට මෙන්ම සර්ව ආරක්ෂාවට ද ජීවම් කරනු ලැබේ. නිවාස, ව්‍යාපාර, පතල් කර්මාන්තයේ සහ වාහන ආරක්ෂාවට ද මෙම රන් තැඹිලි තෙල් ඉතාම යහපත් වේ. රන් තැඹිලි ගෙඩියක් ගෙන කපා එයට සුදු හඳුන් කුඩු කලං 2ක් සහ ඉඟිනි ඇට කුඩු කලං 2ක් යොදා සරස්වතී දැහැනෙන් ජීවම් කර රාත්‍රී පින්නේ තබා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් ගිලිහී යන මතක ශක්තිය හා බුද්ධි වර්ධනය ඇති වී අධ්‍යාපන කටයුතු සාර්ථක වන බව පැවසේ.
  • නොඉඳුල් රන් තැඹිලි තෙල් ගෙන ධන ලක්ෂ්මී මෑණියන්ට පහන් දල්වන්නේ නම් ධනය, සැපත, සම්පත හා සෞභාග්‍යය උදා වේ. අෂ්ටඵල බෝධීන් වහන්සේට රන් තැඹිලි මලක් පූජා කිරීමෙන් ග්‍රහ අපල සහ පෙර අකුසල් දුරු වන බව සඳහන් වේ. විෂ්ණු දෙවිඳුට, ශිව දෙවිඳුට, කතරගම දෙවිඳුට, ගණ දෙවිඳුට, පත්තිනි දේවියට සහ සමන් දෙවියන්ට රන් තැඹිලි මල් පූජා කිරීමෙන් දේව ආශිර්වාදය සහ ආකර්ෂණය මෙන්ම ප්‍රසාදය ද හිමි වේ. ඉතා යහපත් ගුණ ඇති බලගතු දිව්‍යමය ඖෂධයක් වන රන් තැඹිලි පැළයක් ඔබේ ගෙවත්තේ රෝපණය කිරීමෙන් යහපත් ප්‍රතිඵල ගෙන දේ.