Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ දැන සිටිය යුතු කාමර උෂ්ණත්ව අගයන් 7ක්

විවිධ අධ්‍යයනයන් ඇසුරින් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් ඉහළ කාමර උෂ්ණත්වයන්ට වඩාත් ප්‍රිය කරන බවයි. කෙසේවෙතත් බොහෝ දුරට මෙය එකිනෙකාගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත අනුව වෙනස් වෙන්න පුලුවන්. හිතකර කාමර උෂ්ණත්වයක් පවත්වාගෙන යාම ඔබේ කටයුතු වලට පහසුවක් ඇතිකරනවා වගේම ඔබේ සෞඛ්‍යයටත් ඉතා වැදගත් දෙයක් වෙනවා. ඔබේ නිවසේ සෑම කාමරයකම නිවැරදි උෂ්ණත්ව අගයක් පවත්වාගැනීමට සැලකිලිමත් වන්න.විශේෂයෙන්ම පහත සඳහන් කරුණු වලින් විස්තර කෙරෙන එදිනෙදා ජීවිතයේ යෙදෙන අවස්ථා වලදී ඔබේ වටපිටාවේ උෂ්ණත්වය හරියාකාරව තබාගන්නේ කොහොමද කියා අද දවසේදී ඔබට හොඳ දැනුමක් ලබාගත හැකි වේවි.

1.නිදන කාමරය සඳහා වඩාත්ම සුදුසු උෂ්ණත්වය

  • සිරුරේ වැය වූ ශක්තිය අලුත් කරගැනීමටත් එහි අලුත්වැඩියා ක්‍රියාවලියේ පහසුව සඳහාත් සුවබර නින්දක ඇති වටිනාකම ඉතා ඉහළය. ඔබේ නින්ද ඔබේ ශරිර සෞඛ්‍යයේ පැවැත්මට එතරම්ම වැදගත් වන නිසාම නිදාගැනීමට වඩාත් සුදුසු පරිසරය ‍තෝරාගැනීමත් වඩාත් වැදගත් වෙනවා. අප නිදා සිටින විට අපගේ ශරීරයේ ඇති තාපය ස්වභාවිකව අඩු වී යාම සිදුවේ. එබැවින් 60 ˚F- 67 ˚F (15 ˚C -19 ˚C) අතර අගයකින් යුතු කාමර උෂ්ණත්වයක් ඇතිකරගැනීම වඩාත් සුදුසු වේ.

2.ව්‍යායාම කරන ස්ථානයේ තිබිය යුතු කාමර උෂ්ණත්වය

  • ව්‍යායාම වල නිරත වීම මොලයට ද හිතකරයි. එමඟින් පුද්ගලයාට වඩාත් සාවධාන වීමට, අවදියෙන් සිටීමට සහ හොඳ මානසික ඒකාග්‍රතාවකින් යුතුව මනා අවධානයකින් කටයුතු කිරීමට උපකාර කරයි. ව්‍යායාම වල නිරත වීමේදී අවට තිබිය යුතු කාමර උෂ්ණත්වය මෙසේ විය යුතුයි යනුවෙන් පුද්ගලයික ප්‍රියතාවයන් එකිනෙකාට වෙනස් විය හැකියි. නමුත් , බොහෝ දෙනා පවසන්නේ තමන් ගෘහස්ථව 68 ˚F -72˚F (20 ˚C -22 ˚C) මධ්‍යස්ථ කාමර උෂ්ණත්වයක සිට ව්‍යායාම් වල නිරත වීමට ප්‍රිය කරන බවත් ඉන් තමන්ගේ සිරුරට ව්‍යායාම හොඳින් දැනෙන බවත්ය. මෙම උෂ්ණත්වය යටතේ ව්‍යායාම අභ්‍යාස වල නිරත වීම වඩාත් ප්‍රතිඵල සහගත වනු ඇත.

3.පාඩම් කරන ස්ථානයේ තිබිය යුතු උෂ්ණත්වය

  • පාඩම් කිරීම ඵලදායි වීමට නම් ඔබේ කාමරයේ ඇති උෂ්ණත්වය කෙරෙහි සැලකිලිමත් වීම ද ඉතා වැදගත් වේ. උණුසුම් උෂ්ණත්වයක් ඇති විට ඔබේ සිරුරට අලස බවක් , වෙහෙසකාරී බවක් මෙන්ම නිදිමත ගතියක් දැනීමට පටන්ගත හැක. ඉන් සිදුවන්නේ ඔබේ පාඩම් කිරිමේ අරමුණ අඩාල වීමයි. ඔබ පාඩම් කරන කාමරයේ උෂ්ණත්වය 70 ˚F -77 ˚F (21˚C -25 ˚C) උෂ්ණත්වයකින් යුතුව පවත්වාගැනීම සුදුසු බව නිර්දේෂයයි. එමඟින් ඔබේ පාඩම් වැඩකටයුතු වඩාත් ඵලදායිතාවයකින් යුතුව කරගෙන යාමට හැකිය.

4.ළදරුවන් සිටින කාමර වල තිබිය යුතු උෂ්ණත්වය

  • ළදරුවන් සඳහා වඩාත් සුවපහසු වටපිටාවක් ඇති කිරීම දෙමාපියන් විසින් සැලකිලිමත් විය යුතුම කරුණකි. එය වඩාත් උණුසුම් නැති -වඩාත් සිසිල් නැති ප්‍රශස්ථ මට්ටමේ කාමර උෂ්ණත්ව අගයක් වීම ඉතා වැදගත් ය. 68 ˚F -72 ˚F (20 ˚C -22 ˚C) අතර අගයකින් යුතු උෂ්ණත්වයක් සහිත කාමරයක ළදරුවන් තැබීම ඔවුන්ට මෘදු සුවදායි සැපපහසුබවක් ඇතිකරනු ඇත.

5.සුරතල් සතුන් සඳහා වඩාත්ම සුදුසු උෂ්ණත්වය

  • ශරීර ප්‍රමාණය, ප්‍රභේදය, සහ සෞඛ්‍යය තත්වයන් ආදී සාධක මත සුරතලුන් සඳහා සුදුසුවන උෂ්ණත්ව අගයන් වෙනස් විය හැකියි. ප්‍රමාණයෙන් කුඩා සුරතලුන්ට සීතල දරාගැනීමට නොහැකිය. සිරුරෙන් විශාල සුරතලුන් හට දිගු කාලයක් පුරා සිරුර උණුසුම්ව සිටිය හැක. ඔබ නිවසින් පිටවී යන විට නිවසේ ‍රැඳී සිටින සුරතලුන් හට හිතකර වන ආකාරයෙන් ඇතුලත උෂ්ණත්වය සකසන්න අමතක නොකරන්න. අධික උණුසුම් කාල වලදී 80 ˚F -82 ˚F (26 ˚C -27˚C) වැනි අගයන්ට වඩා ඉහළ උෂ්ණත්වයකට සැකසුම් වෙනස් නොකරන්න. සීතල දිනවලදී 69 ˚F -72 ˚F (20 ˚C -22 ˚C) අතර පරාසයක කාමර උෂ්ණත්වය පවත්වාගැනීම ඉතාමත් උචිතයි.

6.වැඩකරන ස්ථානයේ තිබිය යුතු සුදුසුම කාමර උෂ්ණත්වය

  • සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තම ජීවිත කාලයෙන් පැය 90,000 ක් පමණ වැය කරන්නේ තම ‍රැකියා ස්ථානයේ බව සඳහන් වේ. තමන් වැඩ කරන ස්ථානය තුල සැපපහසු බවක්, ප්‍රශංසනීය බවක් දැනීමට නම් එහි වටපිටාවේ ස්වභාවයද ඉතාමත් වැදගත් වේ. ඔබේ ඵලදායි බව සහ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නට ඔබේ කාර්යාලයේ ඇති කාමර උෂ්ණත්වය ද බලපායි. කාන්තා-පිරිමි දෙපාර්ශවයම සඳහා හිතකර ‍රැකියා ස්ථානයේ තිබිය යුතු ප්‍රශස්ථ කාමර උෂ්ණත්ව අගය දැක්වෙන්නේ 75 ˚F (24 ˚C) ලෙසයි.

7.වැඩිහිටි පුද්ගලයින් සඳහා වඩාත්ම සුදුසු උෂ්ණත්වය

  • මහළු වයසේ පසුවන පුද්ගලයින් හට ඉහළ උෂ්ණත්වයන් විවිධ පීඩා සහ ගැටලු මතු කරවිය හැකියි. විශේෂයෙන්ම වයසට යන විට සිරුරේ තාපය මනාව පාලනය වීමේ ගැටලු හටගන්නා නිසාය. ඔවුන්ගේ සිරුරු වල තාප පාලන හැකියාව සම්බන්ධ ගැටලු නිසා දිගු කාලයක් අධික සීතලක් ඇති හෝ අධික උණුසුමින් යුතු කාමරයක එක දිගට කාලය ගත කිරීම ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකර ආකාරයේ සෘණාත්මක බලපැම් පවා මතුකල හැකිය. එබැවින් ,ඔබේ නිවසේ වැඩිහිටි පුද්ගලයින් සිටියි නම් ඔවුන්ගේ කාමර තුල 68 ˚F -74 ˚F (20 ˚C -23 ˚C) වැනි ආරක්ෂිත උෂ්ණත්වයක් සහිතව සකස් කර දෙන්න.