Hela Rahas

Hela Rahas Official Web Portal

රූමස්සල කඳුවැටියේ සැගවුණු රහස මෙන්න

  • රූමස්සල කියන්නෙ ලෝකයෙ වෙනත් පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර පද්ධතියකින් සමන්විත කඳුවැටියක් කීවොත් නිවැරදී. රූමස්සල ඉතිහාසය ක්‍රි.පූ. 3000 තරම් ඈතට විහිදෙනවා.
  • රූමස්සල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටා ඇත. මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙ වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණ වලින් සැකසී ඇත. රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර 7ක විතර කුඹුරු යායක්ද ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
  • තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්‍ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්‍රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලයි.
  • ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර ඇත. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසක් බව කියනවා.
  • රූමස්සල බිහිවීම ගැන ජනප්‍රවාදයේ විවිධ කතා කියනවා. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාර වුන බව කියනවා.
  • තවත් එක කතාවක් තමා රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්වෙලා ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කරනවා.. හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක වුනා. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන ආවා අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල බව කියනවා. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ඇත.
  • රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්‍රවාදයේ කියනවා. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් බැරි බව කියනවා.
  • රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ කියලා හඳුන්වනවා. 1991 දී කරන අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ගයි. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ කඩොලාන විශේෂයක් වන කෝන්තාලං ශාක කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ ඇත. ලෙඩ රෝග 108කට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මේ ගසේ ගෙඩි ගන්නවා.
  • නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක.කුලුනු කන්ද ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන වගේ ශාක ඇත. බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දකින්න පුළුවන්.. ඒ වගේම රූමස්සල කඳුමුදුනේ සමනලුන්, සිව්පාවුන්, පක්ෂීන් රැසක් දකින්න පුළුවන්.
  • ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුළ පිහිටි බොනවිස්ටා කොරල්පරය හඳුන්වනවා. සුන්දරත්වය අතින් වෙනත් කිසිදු කොරල් පරයක් හා සම කළ නොහැකි මෙම කොරල් පරයෙන් මාළු විශේෂ 491ක් සොයා ගෙන ඇත. මෙය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාවයි. ලෝක සංරක්ෂණ සංගමය 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙනවා..
  • මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා නොවේ. 71% ක් සජීවී කොරල්වලින් සමන්විත බොනවිස්ටාවේ පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මේ කොරල් පරයේ ජීවත් වෙන බව කියනවා.
  • රූමස්සල කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ හුම්මානයක් ඇත. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දකින්න පුළුවන්. එයින් නෑවම ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ජනප්‍රවාදයෙ කියනවා. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත.
  • බ්‍රිතාන්‍යයින් විසින් රූමස්සල ප්‍රදේශයේ දේවස්ථානයක් ද පවත්වා ගෙන ගොස් ඇත. එහි කටයුතු භාරව සිටි ප්‍රධානියාගේ නැගණිය ළමුන් පිරිසකට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පාඨශාලාවක්ද ආරම්භ කර ඇත. එම පාඨශාලාව වර්තමානයේ බොනවිස්ටා විද්‍යාලය නමින් ඇත.
  • බ්‍රිතාන්‍යයින් විසින් 1874 ආරම්භ කරන ලද සුසාන භූමියක් ද බොනවිස්ටා ප්‍රදේශයේ දැක ගත හැක. රූමස්සල කන්දේ ගාල්ල දෙසට විහිදී ඇති තුඩුවේ වධකාගාරයක, පෝරකයක සහ වෙඩි ගෙයක නටබුන් ද ශේෂ වී පවතී. ගල් බිත්ති වලින් නිමවා ඇති වධකාගාරයක අඩි 10ක් පමණ උසින්, අඩි 12 පමණ පළලින් සහ අඩි දෙකක් පමණ ඝනකම බිත්ති වලින් යුක්තය.