Hela Rahas

Hela Rahas Official Web Portal

මහ සමන් දේවාලේ පැලවෙන ගලේ කතාව

  • රත්නපුර සමන් දේවාලය කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක්. ඒ වගේම මේ සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ද වේ. අද අපි කියන්නෙ සබරගමු මහ සමන් දේවාලය ගැනත් ඒ දේවාලෙ ඇති විශේෂ දෙයක් ගැනත්.
  • ‘ගල් පැලවෙන බොරු’ අපි එහෙම කතාවක් අහල තියෙනවා. ඒත් ගල් පැලවෙනවා කියල අහල තියෙනවද. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද? දේවාල හදන එක පටන් ගෙන තියෙන්නෙ දඹදෙණියේ රජ කළ දෙවනි පරාක්‍රමබාහු රජුගෙ කාලෙ. ඒ කාලෙ සමන් දෙවියන් උදෙසා ගම්වර පූජා කිරීමක් ගැන තඹ සන්නසේ කියවෙනවා. සමන් දේවාල හදලා දේව පූජා පැවැත්වීම ආරම්භ වී ඇත්තෙ පොළොන්නරු යුගයෙන් පසුවයි.
  • සමන් දේවාල වල ප්‍රධාන දෙවොල සමනල කන්දේ සාදා ඊට හතර කොනින් සතර දේවාල වශයෙන් නැගෙනහිරින් මහියංගනය සමන් දේවාලයද, දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණියගල සමන් දේවාලය ද, බටහිරින් සබරගමුව මහ සමන් දේවාලයද ඉදිකර ඇත.
  • කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජු රත්නපුර සමන් දේවාල ගල් සන්නසේ රජු විසින් දේවාලයට කළ පුද පූජා ගැන සඳහන්. ඒ සන්නස පෘතුගීසින් විනාශ කළත් පුස්කොළ පිටපත් හමු වෙලා තියෙනවා. මේ පෘතුගීසි විනාශ නිසා දේවාලයේ භාරකරුවෝ දේවාලෙ තැන්පත් කරල තිබුන දේවාභරණ ආරක්ෂාවට බලංගොඩ බොල්තුබේ සමන් දේවාලයට රැගෙන ගිහින් රහසේ සුරක්ෂිතව තැන්පත් කර දේවාභරණ පුද පූජාවලට ලක් වුනා.
  • මේ පෘතුගීසි හානි කළ සන්නසෙ තියෙන්නෙ රත්නපුර සමන් දේවාලය ඉදිකරවා ඇත්තේ දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේ බව. කෝට්ටේ යුගය වෙද්දි සමන් දේවාල පුදබිම බැතිමතුන්ගේ දුකට පිහිට වන පූජ්‍යස්ථානයක් වෙලා ඇත.
  • දඹදෙනි යුගයේ රජ කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ නියෝගයකට අනුව තම මහා භාණ්‌ඩාගාරය ශක්‌තිමත් කර ගැනීමට තම ප්‍රධාන අමාත්‍යවරයා වූ ආර්ය කාමදේව ඇමැතිවරයා මැණික්‌ ගැරීම සඳහා රත්නපුරයට පිටත් කර හැරි බවත් ඔහු විසින් සමන් දේවාලයට ගොස්‌ බාරයක්‌ දී මැණික්‌ ගැරීම ආරම්භ කළ බවත්, එය ඉෂ්ට වී මැණික්‌ ලැබී තම පැතුම් ඉටු වූ පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ස්‌ථානයේ තෙමහල් මන්දිරය සහිත දෙවොලක්‌ ඉදිකර බව ‘සමන් සිරිත’ නම් කාව්‍ය සංග්‍රහයෙන් කියනවා.
  • ඒ අනුව මේ සමන් දේවාලෙ දේවාල සැලසුම බැලුවොත් පහත මළුවෙහි ප්‍රාකාරය දෙපස ඇති ගොඩනැගිලි පෙරහර නැරඹීම සඳහා භාවිත කරනවා. පඩිපෙලට වමින් කුලුණු හතරකින් යුත් පත්තිරිප්පුවද පඩිපෙළ දෙපැත්තෙ මුරගෙවල් දෙකක් ඇත. දේවාලය දෙපස “මඩම” යනුවෙන් හැඳින්වෙන අඩි 6ක් උසට තැනූ වේදිකා දෙකක් ඇත. පහළ මළුවේ පඩිපෙළ නැගීමෙන් පසුව හමු වෙන්නේ ශාන්ති මණ්ඩපය කියන කොටසයි. ඊට ළඟින් අඩි 50ක් දිග දික්ගෙයයි. ඒ කොටස භාවිත කරන්නේ නැටුම් නිර්මාණ සඳහා. ඊට පස්සෙ තියෙන්නෙ දේවාල ගොඩනැගිල්ල. මහල් තුනකින් යුක්ත එය සඳුන් කූඩම හෙවත් වැඩසිටින මාලිගය නම්වේ. එහි පළමු මහල ගබඩාවටත් දෙවැනි මහල දේවාභරණ තැන්පත් කිරීමටත් තුන්වන මහල සමන් දේව ප්‍රතිමාව තැන්පත් කිරීමට වෙන් කර ඇත.
  • ශාන්ති මණ්ඩපයට වමින් දළදා විහාරයත් දකුණින් පත්තිනි දේවාලයත් ඉදිකර ඇත. ශාන්ති මණ්ඩපයට ඇතුළුවන ප්‍රධාන දොරටුව දෙපැත්තෙ බිත්තිවල පැරණි චිත්‍ර කොටස් කීපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මතුකරගෙන සංරක්ෂණය කර තිබේ. ඒවා ශිව වටුක සහ චාලී නම් ආරක්ෂක යක්ෂ රූප බව කියනවා. එයට ඉහළින් මකර තොරණක් දැකගත හැක. පෙරහර ගමන් කිරීම සඳහා උඩුවීදිය, කුඹල් වීදිය, හුණු වීදිය ලෙස වෙන්කරන ලද වීදි කිහිපයක්ද ඇත. පැරණි බෝධි වෘක්ෂයක් සහ බුදු මැදුරක්ද මෙහි පිහිටා ඇත.
  • ඉතිං දැන් අපි බලමු මේ රත්නපුර සමන් දෙවොලේ ඇති ’’පැලවෙන ගලේ’’ කතාව ගැන.බැතිමතුන්ගේ ගෞරවය හා භක්‌ති ප්‍රණාම ප්‍රකාශ මැද පිය ගැට පෙළ නඟිමින් සමන් දෙව් අභියසට ළං වනවිට අමුතු වගේම අපූරු දෙයක් දකින්න පුළුවන්. ඒ එහි දොරකඩ උළුවස්‌ස පුදුම හිතෙන ලෙස කළුගලෙන් නිර්මාණය කර තිබීමයි. වම් පස ඉතා පෞරාණික ශිලා ලේඛන කිහිපයක්‌ද ආරක්‍ෂාකාරීව තබා තිබූ අතර ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ නොකර ඉතා පෞරාණික චිත්‍ර කිහිපයක්‌ද දේවාල බිත්තියේ දක්‌නට ඇත.
  • ඇත්දළ, උඩුවියන් මැදින් තවත් ඉදිරියට යනවිට දැක ගත හැකිවන්නේ පුදුම වෙන තවත් දෙයක් 3m ක් විතර‌ උස වීදුරුවෙන් නිම කළ අලංකාර බඳුනක තිබූ පැළ වුණ ගලක්. මුල සාමාන්‍යයෙන් අඟල් 6 × 6 ක විතර ප්‍රමාණයේ කළුගල් කැබැල්ලක්. එතැනින් මතු වී වැඩුණ අඟලක විතර ප්‍රමාණයෙන් මහත ඇති වැලක්‌ සේ ලියලා 3m ක්‌ විතර ඉහළට වැඩුණු කළු ගල දකින ඕනම කෙනෙක් පුදුමයට පත් කරනු ඇත.
  • එහි විශේෂිත වූ පඬුරු කිහිපයක්‌ ද ගැටගසා ඇත.කිසිවකුට අතපත ගෑමට නොහැකි වන සේ ආවරණය කර ඇති අමුතු ගල ගැන අමුතු කතාත් තියෙනවා. ඒ ගල කලින් තිබුණේ දේව ප්‍රතිමාව තිබෙන ඇතුළත. විශේෂිත වූ අයට තමයි ඒ දවස්‌වල මේක පෙන්නල තියෙන්නෙ. ඒත් ඒක දිගටම කරන්න අපහසු නිසා දේවාලයේ ප්‍රතිමාව තිබෙන දොර අභියස පසු කාලීනව තැන්පත් කර ඇති බව කියනවා. මෙහි ඉතිහාසය ගැන කියනවා නම් මහා පරාක්‍රමබාහු රජතුමාගෙ අනුග්‍රහයෙන් මෙතන දේවාලයක්‌ ඉදිකරන්න සූදානම් කරපුවෙලේ මුල් ගල හැටියට ගෙනාපු ගලෙන් කොටසක්‌ කඩල මේ වැඩේ සාර්ථක වෙන්න කියල දෙවියන්ට පූජා කරල භාරවෙලා තියෙනව.
  • කොහොමහරි දේවාලෙ හදල පුද පූජා පවත්වාගෙන යන අතරතුර සමන් දෙවිහාමුදුරුවන්ගෙ ප්‍රතිමාව අභියසින් මේ කියන දෙවියන්ට භාර කරපු මුල්ගලේ කොටසක්‌ ආරක්‍ෂිතව පූජා භාණ්‌ඩයක්‌ විදිහට තියල තියෙනව. ඔහොම කලක්‌ ගත වෙනකොට මේ ගල පැළවෙන්න පටන් අරගෙන තියෙනවා. අඟල් 2, 3 උඩට ඉස්‌සිලා තමයි අද වෙනකොට මේ වගේ තත්ත්වයකට ලියලල තියෙන්නෙ කියල විශ්වාස කරනවා.
  • ඉස්සර පැරැන්නෝ සමන් දේවාලය වඳින්න එනකොට මේ ගල මෙච්චර උස නැහැලු. සමන් දේවාලෙට එන හැම බැතිමතෙක්‌ම මේ විශ්වකර්ම ගල දැක වැඳ පුදා ගැනීමට අමතක කරන්නෙ නෑ. මේක නම් තනිකරම දේව හාස්‌කමකට සිද්ධ වෙන දෙයක්‌ මේ ස්‌ථානයේ දෙවියන් ජීවමානව වැඩ ඉන්න බවට මේක උදාහරණයක් කියල මිනිස්සු විශ්වාස කරනවා.
  • ඒත් මීට අවුරුදු 40 කට විතර කලින් අයගම පැත්තෙන් ආපු නඩයක්‌ ඇත්තටම මේ කළු ගල පැළවෙනවද බලන්න දල්ල කඩල දාලා තියෙනවා. ඒ පාපකර්මය සිදු වුණ දවසෙ ඉඳන් මේ ගලේ පැළවීම නැවතිලා කියල තමයි කියන්නෙ.ලෝකෙ කොහේවත් තැනක දකින්නට නොලැබෙන මේ වැනි පැළවුණු ගලක්‌ මේ සබරගමු මහ සමන්දේවාලයෙ තමයි තියෙන්නෙ. මේක වුණේ අපේ දෙවිහාමුදුරුවන්ගෙ හාස්‌කමෙන් කියල තමයි මිනිස්සු ගොඩක් දෙනා විශ්වාස කරන්නෙ.
  • ඇත්තටම මේක විශ්වාසය මතම පදනම් වුන දෙයක්. අජීවි වස්තුවක් එසේ පැළවෙන්න පුළුවන්ද? එයට ජීවයක් තියෙන්න පුළුවන්ද? එසේ ජීවයක් ඇත්නම් සැබෑවටම හාස්කමක්.