Hela Rahas

Hela Rahas Official Web Portal

කර්මය විපාක දුන් සෙරිණිගේ කතාව

  • වැරදි සේවනය තමන්ගෙ ජීවිකාව කරගත්ත මසුරු තරුණියක් මරණයෙන් මතු විරූපී ප්‍රේත උපතක් ලැබුව විදිය තමා මේ ‘සෙරිණි’ කථා පුවතෙන් විස්තර කරන්නෙ. සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ සේරිණි නම් ප්‍රේතියක අරභයා මෙම දේශනාව වදාළ සේක.
  • ඒ අතීත කතාව මෙහෙමයි. කුරු රටේ හස්තිනී නුවර සෙරිණි නම් වෛශ්‍යාව වාසය කළා. ඒ කාලෙ මේ නගරයට පොහොය කරන්න මහා භික්ෂු පිරිසක් රැස් වී ඇත එය දුටු නගරයේ මිනිසුන් විවිධාකාර දන් පැන් සකසා ගෙනවුත් මහ දන් පවත්වා ඇත.
  • කිසි පිනක් දහමක් නොකරපු අර වෛශ්‍යාව දුටු මිනිසුන් “මෙහි පැමිණ මෙම දානය නුඹත් අනුමෝදන් වන්න.” කියලා ඇය පිනට යොදවන්න උත්සාහ කළත් ඇය කීවෙ “හිස මුඩු මහණුන්ට දන් දීමෙන් කවර නම් ප්‍රයෝජනයක ද?” ඇය තම අකමැත්ත එහෙම පළ කර ගියා.
  • මෙහෙම අකුසල් විතරක්ම කරපු සෙරිණි පසුව මිය ගිහින් ප්‍රාදේශීය නුවරක අගලක් මතුපිට ප්‍රේතියක් වෙලා ඉපදුනා. මේ අතර දවසක් හස්තිනීපුර වාසය කළ උපාසකයෙක් වෙළඳාම සඳහා ඒ ප්‍රාදේශීය නුවරට ගියා. අළුයම් කාලයෙ යම් උවමනාවක් සඳහා අගල මතට ඔහු ගියා.අර ප්‍රේතිය ඔහු දැකලා හැඳිනගෙන නිරුවත් ඇට සහ සම පමණක් ඉතිරිව පවතින ඉතාමත් බියකරු වූ තම සිරුර උපාසකයා හට පෙනෙන්නට සැලැස්වූවා.
  • ඇයව දුටු උපාසකතුමා “ප්‍රේතිය, සිත කය වචනයෙන් කවර අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර අකුසලයක විපාකයක් හේතුවෙන් මිනිස් ලොවින් චුතව මෙම ප්‍රේත උපත ලැබුවේ ද?” ඇසුවා.
  • “මිනිසුන් ජල ස්නානය කරන ගංගා ඇළ දොළ ආශ්‍රිතව කරන ලද තොටුපළ ස්ථානයන්හි මිනිසුන්ට අමතක ව දමා ගිය යම්කිසි දෙයක් ඇත්නම් එය ලබාගනිමි සිතා ආශාවෙන් අඩමසක් පමණ කාලයක් ආහාර සොයමින් ඇවිද්දෙමි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඔවුන්ට කිසිවක් නොදෙමින් බලවත් ලෝභයෙන් යුතුව අඩමස්සත් එකතු කළෙමි. දානයට වස්තුව තිබියදීත් පරලොවට පිහිට වන, සැප ලබා දෙන පිනක් නොකළෙමි.
  • පැන් පිපාසයෙන් පීඩාවට පත් මා පැන් බීමට ගඟක් කරා ගියේ නම් කවුඩන් විසින් ඉවුරේ සිට පානය කළ හැකි අයුරින් ජලය පිරී ඉතිරී ගලා බැස්ස ද ඒ ගංගාව ද මාගේ පාප කර්මයේ බලවත් බව හේතුවෙන් ම දිය හිස් වී වැලි පමණක් ඉතිරි වෙයි. උෂ්ණ කාලයෙහි මම සෙවණ ඇති තැනකට ගමන් කරමි. මා එතැනට පැමිණි කල්හි එම ස්ථානයට අව්ව වැටෙයි. සිහිල් වාතය යමෙකුගේ සිරුරෙහි හැපුණ විට සිසිලක් දැනවූව ද එම සිහිල් සුළඟ ම මා ගතෙහි ස්පර්ශ වූ විට ගින්දර හා සමාන ව තාපයෙන් වියළවමින් සිරුර දවාලයි. මෙම කියන ලද දුක්වලට අමතරව ඊටත් වඩා දරුණු දුක් විඳීමට ද මම සුදුසු වෙමි. කුමක් නිසා ද බොහෝ නින්දිත පව්කම් කළ නිසාවෙනි.
  • උපාසකතුමනි, ඔබ හස්තිනී පුරයට ගොස් මාගේ මවට මෙසේ කියනු මැනවි.‘ඔබගේ දියණිය අකුසල කර්මයන් සිදුකොට යම ලෝකය යැයි කියනු ලබන ප්‍රේත අපායෙහි ඉපදී දුක් විඳින අයුරු මම දැකගත්තෙමි.’පෙර මනුලොව සිටිය දී මා නිදාගත් සයනය යට මා විසින් තබන ලද හාරලක්ෂයක ධනය ඇත. මා විසින් එය කිසිවෙකුට පවසා නොමැත. ඒ ධනය රැගෙන එයින් ස්වල්පයක් මා උදෙසා දන් දෙත්වා. ඉතිරිය මාගේ මවගේ ජීවත් වීම උදෙසා වේවා. මාගේ මෑණියන් දන් දී මට දක්ෂිණාව දුන්නේ නම් එවිට මම සියලු කාම සැපතින් සමෘද්ධිමත් ව සැප ඇත්තියක් බවට පත්ව‍ෙමි.”
  • ඇය මෙහෙම කියලා ප්‍රේත ආත්මෙන් නිදහස් කරන ලෙස කියා ඇත.උපාසකතුමා ඇගේ වචනය පිළිගෙන නැවත හස්තිනීපුරයට ගොස් ඇගේ අම්මට ප්‍රේතිය කීව කාරණය පැවසුවා.එය ඇසුව අම්මා අර ධනය රැගෙන භික්ෂූ සංඝයා හට දන් දීලා ඒ පින ප්‍රේත උපත ලබා සිටින තම දුවට අනුමෝදන් කළා. ප්‍රේතිය ඒ පිනෙන් සුවපත් වෙලා ශරීරයේ බියකරු පෙනුම පහව දැකුම්කළු දිව්‍යමය සිරුර තම අම්මාට පෙන්වුවා.
  • වැරදි කාම සේවනය කොතරම් දරුණුද? අද සමාජයෙ වැඩිපුරම දැනගන්නට ලැබෙන්නෙත් මෙවැනි සිදු වීම්. අදත් මහාපරිමාණ ව්‍යාපාර විදියට මේවා වෙනවා අපි අහලා තියෙනවා. සමහරු කියන්නෙ නොදැනුවත් කමට ඒවාට වැටුන කියලා.නොදැනුවත්කම දැනුවත් බවට හැරුණත් එවැනි වෘත්තින් අතහරින්නෙ බෙහොම සුළු පිරිසක්. මේ වෘත්තිය කරන අයත් ඒ පහස ලබන අයත් මෙලොවත් ලෙඩ දුක් හැදිලා දුක් විඳිනවා. ඒ වගේම මරණින් පස්සෙ විඳින්න වෙන දුක කියා නිම කරන්න බෑ.”කොයි ලොව යන්නේ මරණින් පස්සේ … පිං පවු එනවා අපි පසු පස්සේ..” (සෙරිණි ප්‍රේත වස්තුව)