Hela Rahas

Hela Rahas Official Web Portal

සපත්තු භාවිතා කිරීමේදි ඇතිවන අපහසුතා මගහැර ගැනීමට උපක්‍රම 6 ක්

සපත්තු කියන්නේ අද කාලයේ කා අතරත් ජනප්‍රිය පාවහන් විලාසිතාවක්. උපරිම සුවපහසු අත්දැකීමක් ලබාගැනීම සඳහා පාවහන් භාවිතා කරන කවුරුත් දැන සිටීම වඩාත් නුවණට හුරු යැයි සැලකිය හැකි උපක්‍රම 6 ක් ගැනයි මේ කියන්න සූදානම.

1සපත්තු වලින් හා දෙපතුල් වලින් දුර්ගන්ධය හැමීම වළක්වාගැනීමට

  1. රබිං ඇල්කොහොල් (rubbing alcohol) අවුන්ස 1
  2. ඇපල් සයිඩර් විනාකිරි අවුන්ස 1
  3. ටී ට්‍රී ඔයිල් බිංදු 4 ක් (දිලීර වර්ධනයට එරෙහිව දෙපා වලට හොඳ ආරක්ෂාවක් ලබාදේ)
  • ස්ප්‍රේ බෝතලයකට මේවා එක්කර හොඳින් සොලවන්න. මෙය ඔබේ දෙපා වලට සහ සපත්තු වලට ස්ප්‍රේ කරගන්න.
  • ඇතැම් අවස්ථාවල අලුතින් මිලදී ගන්නා සපත්තු වලින් ද අමුතු ගන්ධයක් හැමිය හැකියි. එම නිසා ඔබේ දෙපතුල් ද දුර්ගන්ධයට පත්විය හැකියි. එය වළක්වාගැනීමට බේකිං සෝඩා සපත්තු තුලට ඉස පැය 12 ක් පමණ තිබෙන්නට හැර ඒවා ඉවත්කරන්න. මේ ක්‍රමය වෙනුවට සපත්තු තුල තේ බෑක් කිහිපයක් තැබීම ද සිදුකල හැකියි.

2.පාවහන් සවිමත්ව ‍රැඳීමට ‘හීල් ග්‍රිප්’ (heel grip) උපකරණයක් භාවිතා කරන්න

  • මෙම උපකරණය මඟින් සපත්තුව තුල කකුල ලිස්සා යාම වළක්වයි. එමෙන්ම පාවහන් වලට සම කැපී තුවාල වීම සහ දිය පට්ටා දැමීම අවම වේ. ස්නීකර්ස්, අඩි උස සපත්තු ඇතුලු ඕනෑම සපත්තු වර්ගයකට මෙය භාවිතා කල හැකියි.

3.ලෙදර් සපත්තු වල මතුපිට දිස්නය යළි ඇතිකරගැනීමට විනාකිරි භාවිතා කරන්න

  • විනාකිරි ස්වල්පයක් ගෙන දත් බුරුසුවක් එහි පොඟවා ලෙදර් සපත්තු මතුපිට පැල්ලම් ඉවත් කරගන්න. මෙය වතුර සහ ලුණු පැල්ලම් වඩාත් හොඳින් ඉවත්කරයි.

4.දෙපතුල් වලට දහදිය දමන-සපත්තු පලඳින කාන්තා ඔබට පිළිතුරක්

  • යටිපතුල් වලට අධිකව දහදිය දැමීම නිසා ඇවිදින විට සපත්තුව ඇතුලත කකුල ලිස්සන ස්වභාවයක් ඇතිවිය හැකියි. මේ නිසා ඔබේ කකුල් පැටලි අනතුරක් වෙන්නත් ඉඩ තිබෙනවා. එසේ වීම වළක්වාගැනීමට ඔබට භාවිත කල හැකි සරල උපක්‍රමයක් නම් සපත්තුව තුලට පෑන්ටි ලයිනර්ස් (panty liners) දෙකක් ඇලවීමයි. ඉන් දහදිය ඊට හොඳන් උරාගන්නා අතර දෙපා වලට වැඩි සුවපෝහසුවක් ඇතිකරයි.

5.ලෙදර් සපත්තු මතුපිට පිරිසිදු කරගැනීමට කෙසෙල් වලින් උපක්‍රමයක්

  • පාවහන් පොලිෂ් කරගැනීමට භාවිතා කල හැකි අඩු මිල උපක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකියි. ලෙදර් සපත්තු මතුපිට දිලිසෙන පෙනුමක් ඇතිකරයි. නොඇලෙන නිසා ගැටලුවක් ද ඇති නොවේ. කෙසෙල් පොතු වල ඇතුල් පැත්ත පාවහන් මතුපිට අතුල්ලා මිනිත්තු කිහිපයක් පමණ තිබෙන්නට හරින්න. වෙනත් රෙදි කැබැල්ලක් ගෙන සපත්තු මතුපිට ඉතිරිව ඇති කොටස් හොඳින් පිසදමා පිරිසිදු කරගන්න.

6.කකුලට ගැලපෙනම සපත්තු ‍තෝරාගැනීමට සවස් කාලයේ ඒවා මිලදී ගන්න යන්න.

  • පාවහන් මිලදී ගැනීමට සුදුසුම කාලය සවස් කාලයයි. ඊට හේතුව නම් උදේ පටන් දහවල් කාලය පුරා දවසම අප විසින් ගත කරන්නේ ඉඳගෙන, හිටගෙන හෝ ඇවිදිමින් නිසා අපගේ පාද වලට දැඩි පීඩනයක් එල්ල වීම නිසා පාද මදක් ඉදිමුණු ස්වභාවයක් ගැනීමයි. උදෑසන මිලදී ගන්නා පාවහන් යුගලක් දහවල් කාලයේ පලඳින විට ඒවා ඔබේ පාද වලට නොගැලපෙන බව ඔබ කවදා හෝ අත්දැක ඇත්නම් ඊට හේතුව එයයි.