Hela Rahas

Hela Rahas Official Web Portal

නල්ලතන්නියේදී සමන් දෙවියෝ සිල් මාතාවගේ හිස අත ගෑ හැටි

සිරිපාදය කියන්නෙ පිං පිරුණු බිමක්. ඒ බිම ස්වභාවධර්මය අතින්ද බොහොම ලස්සනයි. ඒ වගේම තමා සුමන සමන් දේව අඩවියෙ සිදුවන හාස්කම් එමටයි. ඒවාට සාක්ෂි දරන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. අද වෙද්දි සිරිපාදය අවට විදුලිය තිබුණට මුල් කාලේ ශ‍්‍රී පාදේ පාරට ලයිට් තිබුණෙ නෑ. ඉස්සර සිරිපාදයෙ ගියේ කැකුණ පන්දම් පත්තු, හුළු අතු පත්තු කරගෙන. ඒ කාලේ හැටන්, ගෙඟ්වත්ත, නල්ලතන්නි හැම කඬේකම හුළු අතු කැකුණ පන්දම් සල්ලිවලට විකුණන්න තිබුණා. හුඟදෙනා කළේ ගෙදරදීම මේ පන්දම් හදාගෙන ඔතාගෙන එන එක.

ඒ කාලෙ සිරිපාද වන්දනාව ගොඩක් දුෂ්කර ගමනක්. ඉස්සර කෝච්චි ගිහින් තියෙන්නෙත් හැටන්වලට විතරයි. හැටන්වලදී කෝච්චියෙන් බැහැලා නඬේ ගුරා එක්ක හුළු අතු, විදුලි පන්දම් ලැන්තෑරුම්, පත්තු කරගෙන තුන් සරණේ කවි කිය කියා මහ රෑ හැටන්වල ඉඳලම පයින් ආවේ. මස්කෙළියට බස්, ලොරි එන්නට පටන් ගෙන තියෙන්නෙ ඊට පස්සේ. 1950 මුලින්ම ශ‍්‍රී පාද පද්මයට, ශ‍්‍රී පාදයට යන පාරට ලයිට් දුන්නා.

හැබැයි හරිම මනරම් දර්ශන ඒ අවට දකින්න ලැබිලා තියෙනවා. ඉස්සර මස්කෙළිය තේ වතු මැද පුංචි කඩ මණ්ඩියක් තිබුණලු. එි අපිට අද දකින්න ලැබෙන කඩ මංඩිය නෙමේ කියල පැරැන්නන් කියනවා. ඒ පරණ ටවුමට කිව්වේ ගෙඟ්වත්ත. රෑ දවල් ශ‍්‍රී පාදේ යන අය වැඳලා බහින අය පිරිලා. ගෙඟ්වත්ත පරණ ටවුමේ පන්සල, කෝවිල, පල්ලි ඔක්කෝම තිබී ඇත. ශ‍්‍රී පාදේ නඟින නඩ කෑම කෑවේ තේ බිව්වේ ගෙඟ්වත්තේ.

අපි සිරිපාදය වඳින්න යන්නෙ සිරිපාද වාරයෙ. ඒත් සමහර මිනිස්සු අවාරයේ සිරිපාදය වඳින්න යනවා. එය භයානක බව තමා ඉස්සර ඉදන් මිනිස්සු කියන්නෙ. ඉස්සර සිරිපාදය වඳින්න ගියේ බොහොම සැඳැහැ සිතින් පේ වෙලා, භාරහාර වෙලා. කට පරිස්සම් කරගෙන. ඒත් අද සමාජෙ වෙද්දි මේවා බොරු, මිත්‍යා විශ්වාස කියල කියන සමහර මිනිස්සු මේ කිසිවක් නොකර විනෝද වෙන්න විතරක් සිරිපාද වන්දනාවෙ යනව දකින්න පුළුවන්. එහෙම ගිහින් වෙන අනතුරුත් ඕනෑ තරම් අහන්න ලැබෙනවා.

කාලෙකට සිරිපා පද්ම අහසේ සඳරැස් කොටු කොටු හැදිලා දකින්න පුළුවන්. තවත් කාලෙකට පේන තෙක් මානේ අහසේ කමතක හැඩයට වෙනම එළියක් වැටිලා. මේවා ස්වභාවධර්මය දෙන අපූරු නිර්මාණ. ඒ කාලේ අවාරෙට අලි රංචු, දිවි රංචු, කුරු අලි රංචු සිරි පා අඩවියේ අනන්තයි. උන් අවාරෙට ගල් පඩිපෙළ දිගේ නැඟලා පද්මේ මුදුනටම එනවා. අවාර කාලෙට ශ‍්‍රීපාද හිමේ ඉන්න දිවියෝ, අලි රංචු සිරි පාද පද්මය අවට සැරිසරනවා.

අවාරෙට නල්ලතන්නි කඩමණ්ඩිය වහනවා. ඒ කාලෙට සමූපකාරය විතරයි විවෘත වෙන්නෙ. ඒ මකර තොරණ හරියේ වතුවල දෙමළ මිනිස්සු හාල් තුනපහ, කූපන් බඩු ගන්න හින්දා. එක වාරෙක ආරාමෙක සිල්මාතාවො සිරිපාදය වඳින්න ඇවිත්. ලොකු සිල්මාතාව බොහොම සිල්වත්. නිතරම භාවනාවට හිත යොදවනවා. සමන් දෙවියන් ගැන තද විශ්වාසයක් තිබිලා. වන්දනා කාලෙට තවත් මෑණිවරු පිරිවරා ගෙන කළමනා උරවල එල්ලා ගෙන ලොකු මෑණියෝ අඳුරු වැටෙන කොට නල්ලතන්නියට එනවා.

දවසක් සිල් මාතාව තවත් මෑණිවරු එක්ක පද්මේ නගින්න නල්ලතන්නියට ආවා. ඔවුන් සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙලා පන්සිල් අරගෙන කෝපි බීලා පද්මේ නගින්න පටන් ගෙන. ලොකු මෑණියෝ ඉස්සරහින් හුඟක් වයසක, රැවුල වැවුණ, කකුල නොණ්ඩි ගහන ලොකු තුවාලයක් රෙදි පටවලින් ඔතාගෙන වයසක මනුස්සයෙක් හැරමිටි ගගහා තනිවම ගල් පඩිපෙළ නගිනවා.

මෑණියන්ගේ හිත උණු වෙලා මේ වයසක මනුස්සයා තුවාලෙත් අරන් නොණ්ඩි ගහ ගහා පද්මෙට කොහොම යන්නද? එහෙම යන්න දවස් දහයක් දොළහක් ගතවෙයි. වයසට ගියත් භක්තිය, ශ‍්‍රද්ධාව නිසා ශ‍්‍රී පාදේ පුරුද්දට යනවා ඇති කියලා තනිවම කල්පනා කළා. මෙහෙම නගිද්දි මෑණියො ඇතුළු පිරිස වෙහෙස නිවා ගන්න ගල් පඩි වල වාඩි වෙලා. ඒ වාඩි ගත්ත දෙසැරයක්ම අර වයසක මිනිසා ලොකු සිල් මෑණියන්ගෙ හිස අත ගෑවා.

මහලූ මනුස්සයා ටිකක් දුර ගිහින් ගල් පඩි පේළියේ නැවතුණා. මෑණියෝ ගල් පඩිපෙළ නගිනකොට අර වයසක මනුස්සයා අත දික්කරලා තුන්වැනි සැරේටත් මෑණියන්ගේ මුඩුහිස අත ගෑවා. ඒ වෙලාවෙ සිල් මාතාවට ඇති වුණේ දැඩි පිළිකුලක්. ඒ තරහ වචනවලින් පිට නොකර හිතට යට කර ගත්තා. කොහොමද මේ මනුස්සයා තුන් සැරයක් අපි පහුකරගෙන ආවේ.

පාන්දර යාමේ පද්මේ මුදුනට පිරිවරත් එක්ක මෑණියෝ ගියා. ඉර සේවයට තව ටික වේලාවක් තියෙනවා. ශ‍්‍රද්ධාවෙන් මෑණියෝ ශ‍්‍රී පාද පද්මේ වැඳපුදා ගත්තා. ඉර සේවය උදා වෙනකම් පිරිවර මෑණිවරුත් එක්ක පද්මය මුදුනේ ඉඩ තියෙන තැනක තාප්පයකට හේත්තු වෙලා හිත එකඟ කරගත්තා. ඉර සේවයේ ගලාගෙන එන රැස් වගේ අඳුර කපාගෙන ආලෝකයක් සිල් මෑණියන්ගේ මුහුණට විතරක් ගලාගෙන ඇවිත්.

‘‘දරුවා, මම උඹට තුන්සැරයක් කතා කළා. උඹ මාව පිළිකුල් කළා’’ඒ කටහඬ එකපාරටම අතුරුදන් වෙලා. මෑණියන්ගේ හිත ගැස්සිලා. ඒ වෙලාවේ ඇති වෙච්ච සිතුවිලි පුදුමයි. සිල් මාතාව අප‍්‍රමාණ භක්තියෙන් පද්මය නමස්කාර කරලා සමන් දෙවියන්ට පින් දුන්නා.

තුන් සැරයක් කතා කරලත් ලොකු සිල් මාතාවට සමන් දෙවියෝ හඳුනා ගන්න බැරිවුණා.
මේ වගේ අපූරු හාස්කම් සොභා සෞන්දර්යය පිරුණු පිං බිමක් තමා සිරිපාද අඩවිය. මේ සිරිපාද වාරයෙ ඒ සොබා සෞන්දර්යය විනාස නොකර පිරිසිදු සිතින් සිරිපා කරුණා කර ඔයත් කුසල් වඩවා ගන්න.