Hela Rahas

Hela Rahas Official Web Portal

සුන්දර පෙනුමක් සදහා උපක්‍රම 9 ක්

සමේ සුන්දරත්වය වැඩිකරගැනීමට උපකාරි වන සත්කාර ගැන අප හරි උනන්දුයි. සත්කාර කරන අතරේදි අප විසින් අනුගමනය කරන ඇතැම් පුරුදුත් අපේ සුන්දරත්වය ඔප්නැංවීමට හොඳ දායකත්වයක් ලබාදෙනවා.
සමේ නීරෝගි, සුපැහැදිලි හා සුන්දර බව ආරක්ෂා කරගැනීමට මේ සරල උපදෙස් පිළිපදින්න අමතක නොකරන්න!

1.නිතිපතා දුරකථනයේ තිරය cleaning wipes ආධාරයෙන් පිරිසිදු කරන්න

  • දුරකථන තිරය යනු වැසිකිලි ආසනයට වඩා 10 ගුණයකින් බැක්ටීරියා ගහණය වී ඇති ස්ථානයක් බව පර්යේෂණ වලින් පවා ඔප්පු වි ඇත. එම හානිකර බැක්ටීරියා ඇතුලු විෂබීජ ඔබේ මුහුණේ ස්පර්ෂ වීමෙන් සම මත ඔවුන් ව්‍යාප්ත වී ආසාදනයන් මතුවිය හැක. බොහෝ විට ඒ හේතුවෙන් සමේ බිබිලි (රෑෂ්) , කැසිල්ල, රතුවීම, ඉදිමීම හා අපහසුතාවන් මතුවීමට ඉඩ ඇත, එවැනි හානිකර ජීවින්ගෙන් ඔබේ සම ආරක්ෂා කරගැනීමට ඔබ දිනපතා භාවිතා කරන දුරකථනයේ තිරය cleaning wipes භාවිතයෙන් පිරිසිදු කරගන්න.

2.නිතිපතා ඔබ භාවිතා කරන මේක්-අප් බුරුසු ආදිය පිරිසිදු කරගන්න

  • අපිරිසිදු මේක්-අප් බුරුසු නැවත නැවත භාවිතයට ගන්නා විට සමේ කුරුලෑ, බිබිලි, ආසාත්මිකතා ඇතුලු වෙනත් චර්ම ගැටලු මතුකරවීමට ඉඩ ඇත. එබැවින් නිතිපතා භාවිතයෙන් පසු බුරුසු, ස්පොන්ජ්, පෆ් සහ වෙනත් රූපලාවන්‍ය උපකරණ හොඳින් පිරිසිදු කරගැනීම ඉතා වැදගත්ය. විෂබීජනාශක දියර හෝ බැක්ටීරියා නාශක cleaning wipes භාවිතා කර ඒවා විෂබීජහරණය කරගන්න. මෘදු පෙන ඇතු ක්ලෙන්සර් වර්ගයක් හෝ ෂැම්පු භාවිතා කර ඒවා ගැඹුරින් ,වඩාත් හොඳින් පිරිසිදු කරගැනීම ආරක්ෂිතය.

3.ආහාර රටාව ගැන සැලකිලිමත්වන්න

  • සමේ නීරෝගිකම ආරක්ෂා කරගැනීමේදි සීනි සහ මේද අධික ආහාර ප්‍රධාන සතුරන් සේ හඳුනාගත හැක. එමෙන්ම බරපතල ආකාරයේ දැඩි ආහාර පාලනයන් කිරීම ද උචිත නැත. එය ඔබේ සිරුරට අහිතකරව බලපැමට ඉඩ ඇත. එමෙන්ම ඉන් ඔබේ සමට හානි ඇතිවිය හැක. පෝෂණ ඌනතා නිසා සම වියළීම, ‍රැළි වැටීමට පටන්ගැනීම, සමේ වෙහෙසකට ස්වභාවය ඇතුලු සමේ වෙනස්කම් හටගැනීමට පටන්ගත හැක. එබැවින් සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණය සපිරි විටමින් හා ඛනිජ අඩංගු නීරෝගි සමබල ආහාර වේල් ලබාගන්න.

4.ෆේස් ස්ක්‍රබ් නිෂ්පාදන අනවශ්‍ය ලෙස අධිකව භාවිතා නොකරන්න

  • රළු ෆේස් ස්ක්‍රබ් මඟින් සමේ මැරුණු සෛල, කුණු දුහුවිලි හා බ්ලැක්හෙඩ්ස් හොඳින් ඉවත්කරමින් පිරිසිදු කරමින් සමට පැහැදිලි, සුමුදු හා නැවුම් බවක් ලබාදෙයි. කෙසේවෙතත්, සම අනවශ්‍ය ලෙස ස්ක්‍රබ් කිරීමෙන් සමේ ප්‍රදාහය තත්වයන් මතුවීමට ඉඩ ඇත. ඔබේ සම වියළි ස්වභාවයකට පත්වීමේ හෝ කුරුලෑ හටගැනීමේ ප්‍රවණතාවයෙන් වැඩිනම්, ස්ක්‍රබ් භාවිතයෙන් සිදුවන්නේ එම තත්වය තවත් දරුණු අතට පත්වීම විය හැකියි. එවැනි සමක් ඇති අයට ස්ක්‍රබ් වෙනුවට මැරුණු සම ඉවත්කිරීම සඳහා ඇති මෘදු ලෝෂන් වර්ගයක් භාවිතා කල හැකියි (exfoliating lotion). තෙල් සහිත සමක් ඇති අය සතියකට එක් වරක් පමණක් සම ස්ක්‍රබ් කිරීම සුදුසුය.

5.පිහිනීමට පෙර හා පසු ඔබේ මුහුණේ ක්‍රීම් ආලේප කරගන්න

  • පිහිනුම් තටාක වලට එක්කර ඇති රසායනික ද්‍රව්‍ය වල බලපෑමින් සම වියළී ගොස් විජලනයට ලක්වී සම පොතු ගැලවී යාමට (කොරල ස්වභාවය) ලක්විය හැක. සම ක්ලෝරයින් වලට නිරාවරණය වීමේදි සම ඉන් ආරක්ෂා කරගැනීමට තටාකයට බසින සෑම අවස්ථාවකම සම පෝෂණය කරන හොඳ ක්‍රීම් (nourishing cream) එකක් ආලේප කරගන්න. පිහිනා අවසන් වූ පසු ඔබේ මුහුණ සහ සිරුර හොඳි සෝදා පිරිසිදු කර සමට තෙතමනය ලබාදෙන නිෂ්පාදනයක් හෝ ක්‍රීම් වර්ගයක් (moisturizing product/cream) සමේ ආලේප කරගන්න.

6.ව්‍යායාම සිදුකර අවසන් වූ විගස ස්නානය කර පිරිසිදු වෙන්න

  • දහදිය සමේ බොහෝ වෙලා අරෙඳි තිබෙන විට සමේ සිදුරු අවහිරවීයාම, බ්ලැක්හෙඩ්ස් වර්ධනය වීම හා කුරුලෑ හටගැනීම ඇතුලු චර්ම ගැටලු හටගැනීමට හේතු සාධක විය හැකිය. එබැවින් ව්‍යායාම කල අවසානයේ දහදිය සිරුරෙන් හොඳින් ඉවත්වන සේ ස්නානය කරන්න.

7.මුහුණේ මතු වී ඇති වෙනස්කම් ලක්ෂණ ගැන සැලකිලිමත්වන්න

  • බොහෝ අයට මතුවන සමේ අපහසුතා, සම රතුවීම සහ ඉදිමීම වැනි ගැටලු ඇතැම් බරපතල සෞඛ්‍යය ගැටලු පිළිබඳ ඉඟි කිරීමක් වීමට ද ඉඩ තිබේ. එබැවින් ඔබේ සිරුර මඟින් එසේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඔබට යම් ගැටලුවක ඇති බව ඉඟි කරන්නේ දැයි සැලකිලිමත්වන්න!

8.අධික උණුසුම් ජලයෙන් ස්නානය නොකරන්න

  • උණු වතුර ස්නානය නිසා සමේ ගැඹුරින් තෙතමනය රඳවාගැනීමට දායක වන සමේ ස්වභාවික ආරක්ෂක ලිපිඩ ස්තරය හානියට ලක්වේ. එබැවින් මෙම පුරුද්ද දිගින් දිගටම සිදුකිරීමෙන් ඔබේ සම වියළී ගොස් අකලට ‍රැළි වැටීමට පටන්ගත හැකියි. කාමර උෂ්ණත්වයේ පවතින ජලයෙන් ස්නානය හෝ ඇඟ සේදීම සිදුකිරීම වඩාත් උචිතය.

9.හොඳින් ජලය පානය කරන්න

  • සිරුරේ තෙතමනය හා සජලතාව හොඳින් ආරක්ෂා කරගැනීම සමේ නීරෝගිකම සඳහා ද ඉතා වැදගත් වේ. දිනකට අවම ලීටර් 1.5 ක් පමණ හෝ ජලය පානය කිරීම පුරුද්දක් කරගන්න.