Hela Rahas

Hela Rahas Official Web Portal

සොරබොර වැව තැණු බුලතා

  • ඔන්න බලාපන් බුලතා කරපු බලේ-යතුරු දාපු ගල්දොර යට වතුර හැල
  • එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ-සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ

දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයොන්ට අමතරව සිටිය තවත් යෝධයෙක් තමා බුලතා යෝධයා කියන්නෙ. මේ බුලතා යෝධයා මහියංගනට ආවෙ කොහොමද, දුටුගැමුණු රජතුමාට හමුවුණේ කොහොමද වගේම සොරබොර වැව නිර්මාණය කලේ කොහොමද කියල මේ කතාවෙන් අපි බලමු.

දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගත්තට පස්සෙ මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කරන්න ගත්තා. දාගැබ තනවන විට දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගත්තා. ඔහු උඩුදුම්බර ප්‍රදේශයේ කිරි පට්ටිය නම් ගමෙන් පැමිණියෙක්.

බුලත් වඩන්න ආව නිසා රජවාසලෙ හැමෝම ඔහුට කතා කලේ බුලතා කියලා. ඔහුගේ රාජකාරිය වුනේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීම. උදේ හීල වැළදීමෙන් පසු, දවල් දස පැයට අතුරුපසෙන් පසු, දවල් භෝජනයෙන් පසු, සවස් වරුවේ අතුරු පසෙන් පසු, තිස් පැය වේලාවට සවස පානයෙන් පසු, රාත්‍රී භෝජනයෙන් පසු, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්වීම තමා බුලතා කළේ.

ඉතිං වේලකට බුලත් පිළිගැන්වූවාට පස්සෙ අනික් වේල ලඟා වෙනකම් බුලතා කළේ අවට සංචාරය කිරීමයි. මෙහෙම සංචාරය කරද්දි දවසක් මහියංගනයෙන් උතුරු පැත්තෙ සංචාරයෙ ගිය බුලතාට ගල් කදු දෙකක් අතරෙ පිහිටල තිබුන පහත් බිමක් දුටුවා. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිනවා බුලතා දැක්කා.

දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්දොත් ලස්සන වැවක් හදා ගන්න පුළුවන් කියලා ඔහුට පෙනුණා. වැව බැන්දොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගාණක් විශාල භූමිය කුඹුරු කරන්න පුළුවන් කියන අදහසත් බුලතාට අවා.

රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන කාලයෙ ටික ටික වැඩ කරන්න බුලතා සිතුවා. බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මනුස්සයෙක්ට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක්. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනාවා.

බුලතා මෙහෙම ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවා. ඉතා ටික කාලෙකින් වැව් වේල්ල බැදීම ඉවර කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළා.

වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද නිර්මාණය කළා. මේ විශ්මිත ගල් සොරොව්ව හදන්න බුලතාට වැඩි කාලයක් ගියෙ නෑ.

ඒ වගේම තමා බුලතා ගේ බිරිඳත් ඔහුටම සරිලන යෝධ කාන්තාවක්. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණා. ඇය දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙනාවා. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිතුනා.

ඉතිං ඇය යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දා. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවා.බුලතාගේ හා බිරිඳගේ මේ වැඩ දෙකත් දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ වැඩත් එකම දවසෙ ඉවර වුනා. චෛත්‍යයට කොත පැළඳවීමේ උත්සවයද තිබුනා. මේ උත්සවය අවසාන වුන දවසෙ බුලතා රජතුමා ඉදිරියට ඇවිත් “දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි” කීවා.

බුලතා ගේ ඉල්ලීම පිළිගත්ත රජතුමා වැව බලන්නට ගියා. පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටුව රජතුමාගේ ප්‍රීතිය කියන්න බැරි තරම් වුනා. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වුන මේ මහා වැව දැකල පුදුමයට පත් වුනා.

“දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද?” රජතුමා ප්‍ර‍ශ්න කළා. “දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්” කියලා සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වුවා. එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන සතුටු වුනා. පසුව “දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැයි” ප්‍ර‍ශංසා කළා.

පසුව දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙ සිටි මවු බිසව වෙත පැමිණියා. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා මවට විස්තර කළා. ඒ ඇසුව විහාරමහා දේවිය බොහෝ සතුටට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවා කියනවා.

රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූ බව සඳහන්. ඒ වගේම තමා දුටුගැමුණු රජතුමා බුලතාට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවා. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගත්තා.

ඉතිං ඒ බුලතා හදපු වැව තමා එදා ඉදන් අද වෙනකම් කාලෙන් කාලෙට එක එක නම් වලින් ප්‍රසිද්ධ වුනා. කාලෙකදි ඒ වැව හරබර වැව නමින් ද පසුව සරබර, සොරබර ලෙසත් දැන් වෙද්දි සොරබොර යන නමට පෙරළී ඇත.