Hela Rahas

Hela Rahas Official Web Portal

ශ්‍රී පාද පද්මය ගැන නොවැසූ ඉතිහාස කතාව

  • දැන් ශ්‍රීපාද වන්දනා වාරය පටන් අරන් තියෙනවා. වෙන වාරවල වගේ නිදහසේ මේ වාරෙ සිරිපා කරුණා කරන්න අපිට අවස්ථාව නැති වුනත් මේ වාරෙත් ගොඩක් දෙනා සිරිපා වඳින්න යන්න ඉන්නවා ඇති. ඉතිං එහෙම සිරිපාද වන්දනාවෙ යන කාටත් වැදගත් දෙයක් තමා අපි අද කියන්නෙ. ඒ අප ගෞතම බුදුරජාණන්වහනසෙගෙ ශ්‍රීපාද පද්මය ගැන වැදගත් කරුණු ටිකක්.
  • ශ්‍රී පාදස්ථානය, සමන්තකූට, සුමණකූට, සමනොළ කන්ද, සමන්ගිර ආදි විවිධ නම්වලින් හඳුන්වනු ලබන සුවිශේෂ කඳු හිස රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාබද්දල ග්‍රාම නිලධාරි වසමට අයත්ව පිහිටා තිබේ.මුහුදු මට්ටමේ සිට අඩි 7360ක් විතර උසින් මධ්‍යම කඳුකරයේ නිරිතදිග භාගයේ පිහිටලා තියෙන ශ්‍රීපාදය මධ්‍යම කඳුකරයේ උන්නතාංශයට අනුව පස්වෙනි කඳු ශිඛරය ලෙසින් සැලකෙනවා.
  • මහාවංශයේ පළමු පරිච්ඡේදයේදීම සමනළකන්ද ගැන සඳහන් කර තිබේ. මණි අක්ඛිත නා රජුගේ ඉල්ලීම මත කැලණියට වැඩි බුදුන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනය මත සමනොළ ගිරි හිස මත වාම ශ්‍රී පාදය පිහිටුවූ බව සඳහන් කර ඇත.
  • මහාවංසයේ එසේ සඳහන් වුවද බුද්ධ චරිතය පිළිබඳ කරුණු සඳහන් වන සමන්තපාසාදිකාවේ හා මෙරට ඉතිහාසය පිළිබඳ කරුණු සඳහන් වන දීපවංසයේ සමනොළ කන්දට වැඩි බුදුන් වහන්සේ සිරිපා ලාංඡනය පිහිටුවූ බවක් සඳහන් කර නැත. තවද, හින්දු භක්තිකයන්ගේ මතයට අනුව මෙහි සටහන්ව ඇත්තේ ශිව පාදය වන අතර, ඉස්ලාම් භක්තිකයන්ගේ අදහසට අනුව මෙහි සටහන්ව ඇත්තේ ආදම්ගේ පාදයයි. තවද හනුමාගේ පාදය බවටද ජනප්‍රවාද ඇත.
  • දෙස් විදෙස් දේශගවේෂකයන් රැසක් ශ්‍රී පාදය ගැන විවිධ මත පල කර සටහන් තියල තියනවා. ඉස්සර කාලේ රෝහණ පාලන කලාපයට අයත් මේ ස්ථානය ‘රෝහණ පබ්බත’ කියල මූලාශ්‍රවල ඇත. රෝහණයේ ශුද්ධ වූ කන්ද යන අරුතින් ඉස්ලාම් බැතිමතුන් සමන්තකූටය හඳුන්වන ලද්දේ ‘අල්රහුන්’ ලෙස. ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටිය නාවිකයන් මේ රටට ගොඩ බැසීමට දින විස්සකට විතර කලින් සිටම සමනොල කඳුමුදුන දර්ශනය කළ බව ඉබන් ඛුර්දාද්බේ සඳහන් කර ඇත. ඉබන් බතුතා ලක්දිවට ගොඩ බැසීමට දවස් 9 කට පෙර සමනොල කන්ද දුටු බව සඳහන් කරනවා.
  • ලංකා පබ්බත නමින් ද වජ්‍රබෝධි හිමියන් මේ කඳු ශිඛරය හඳුන්වා ඇත. සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව සමන්තකූටය හා එහි ඉතිහාසය ගැන බුදුරදුන්ගේ පළමු හා තුන්වැනි ලංකා ගමනට සම්බන්ධ වන අතර පළමු ගමනේ දී බුදුරදුන් හමුවන සුමන සමන් දෙවියන් සමන්තකූට වැසියෙක් ලෙසින් වංශකතාව සඳහන් කර ඇත.
  • කැලණියේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් වැඩම කළ බුදුරදුන් කැලණීයේ සිට සමන්තකූටයට වැඩම කර කඳු මස්තකයෙ වම් පාදය තබා සිය සිරිපතුල සනිටුහන් කළ බවත් පසුව උන්වහන්සේගේ ශ්‍රාවක සමූහයා සමඟ දිවා භාගය සමනල කඳු පාමුල දිවාගුහාවෙහි වැඩ විසූ බවත් මහාවංශය විස්තර කරනවා.
  • පූජාවලියට අනුව සුමන සමන් දෙවියන් කැලණියට ගොස් බුදුරදුන් වැඳ ඇදිලි බැඳ තම වාස භවනය වන සමන්තකූටයට වැඩම කරවන ලෙසට ආරාධනය කළ පුවතක් දැක්වේ. සමන්තකූට වර්ණනාව කියන්නෙත් ඒ අදහසමයි.
  • ක්‍රි.ව. 2 සියවසේ ලියවුන මෙණිමේඛලා දමිළ කාව්‍ය ග්‍රන්ථයේ රත්නදීපය නම් ලස්සන දීපයක් ඇති බවත් එහි සමන්තකූට නම් පූජනීය පර්වතයක් ඇති බවත් එහි මුදුනෙ පළිඟු ගලෙක බුදුරදුන්ගේ සිරිපා ලකුණ ඔබ්බවා ඇති බවත්ය.
  • සමන්තකූටයේ ඉතිහාස වංශකතා වල කියන්නෙ විජය පුරාවෘත්තයයි. විජය රජු මදුරාපුර කුමාරි විවාහ කරගැනීමත් කුවේණිය හා දරුවන් දෙදෙනා පළවාහැරීමෙන් පසුවත් ජීවහත්ත, දිසාලා කියන කුවේණියගෙ දරුවන් දෙන්නා ආරක්ෂාව සඳහා සමනල වන පෙදෙසට පලා ගිහින් අඹු සැමියන් වශයෙන් ජීවත් වූ බවත් ඔවුන්ගෙන් වැදි පරපුර ආරම්භ වූ බවත් කියනවා.
  • දුටුගැමුණු පාලන සමයට සම්බන්ධ තොරතුරු කීපයක් සමන්තකුටය ඇසුරින් මතුකර ගත හැක. දුටුගැමැණු මහ රජුගේ දසමහ යෝධයෙක් වෙන ථෙරපුත්ථාභය සමනල කන්ද නැඟ ශ්‍රී පාද ලාංඡනය සුවඳ මලින් පුදා මරුකන්ද නම් ජනපදයට ගොස් එහි සිටිය පාලත්ථි නම් ද්‍රවිඩ පාලකයා හා ඔහුගේ පිරිස මරා ඛාල්හගාමතලකයේ රජමැදුරක් කර වූ බව සහස්සවස්තුප්පකරණය සඳහන් කරනවා. ඒ වගේම දුටුගැමුණු රජ දවස විසූ මලියදේව තෙරුන් දන් වශයෙන් රජුගෙන් ලබා ගත්ත තණහාල් කැඳ සුමනකුට වැසි නවසියයක් භික්ෂූන් වෙත වැළඳ වූ බව මහාවංශය දැක්වෙනවා.
  • මනෝරථපූරණිය විස්තරය කියන්නෙ එළාර රජුගේ සෙබළෙකු වන දීඝජන්තු යෝධයා සුමනගිරි විහාරයේ ආකාස චේතියට රතු වස්ත්‍රයක් පූජා කර තිබේ. ඉන් පසු කාලෙ ලංකාවට වැඩි ෆාහියන් හා හියුංසාන් භික්ෂූන් දෙනමත් වජ්‍ර බෝධි හිමියනුත් සමන්තකුටය පිළිබඳව වාර්තා තබා ඇත. බුදුන්වහන්සේ විසින් සමනොල කන්දේ සිරිපා සටහනක් පිහිට වූ බව ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවට නොපැමිණියත් ලංකාව ගැන අසා දැනගත් තොරතුරු මත සමනොලගිර පිළිබඳව තොරතුරක් හියුංසාන් භික්ෂුවගේ වාර්තාවේ ඇත.
  • ගිනිකොණ දිසාවෙන් ලංකා පර්වතය හෙවත් සමනොල ගිර පිහිටි බවත් බුදුන් වහන්සේ එහිදී ලංකාවතාර සූත්‍රය දේශනා කළ බවත් උන්වහන්සේ විසින් සඳහන් කර ඇත. ක්‍රි.ව. 7 වන සියවසේ දී ලංකාවට වැඩම කරන ලද වජ්‍ර බෝධි හිමියන් සමන්තකුටයට වැඩි භික්ෂුවක් හැටියට ඉතිහාස ගත වේ. මුනිසිරිපා සටහන වන්දනා කිරීම පිණිස ලංකා පර්වතයට වැඩම කළ බවත් එසේ යන ගමනේ දී වනගත මිනිසුන් හමු වූ අතර කඳු පාමුල ප්‍රදේශයේ දී අගනා මැණික් දක්නට ලැබූ බවත් එහි සඳහන් කෙරේ.
  • 6 වන සියවසෙන් පසු අරාබි ජාතිකයෙකු සමන්තකූටය ගැන සටහනක් තබා ඇත. ආදම්ගේ පා සටහන මෙහි ඇති බව ඉස්ලාම් බැතිමත්හු විශ්වාස කරනවා. ක්‍රි.ව. 850 දී සිදු වූ ස්වකීය ශ්‍රී ලංකා සංචාරය ගැන මතක සටහන් තබන අරාබි ජාතික වෙළෙන්ඳෙක් වගේම ගවේෂකයෙක් වුන සුලෙයිමාන් නමැත්තා ශ්‍රීපාද කන්දට ගිය වන්දනා ගමනක් ගැන සඳහන් කරනවා.
  • පර්සියානු සාහිත්‍ය ද සරතුස්ශ්‍රා දහම පිළිගත් ලේඛකයින් ඔවුන්ගෙ කෘතිවල දී එතුමා ද ශ්‍රී පාදයට සම්බන්ධ කොට අදහස් ඵල කිරීමට උත්සාහ ගෙන තිබේ. අල් ජයිස් (ක්‍රි.ව. 868) සඳහන් කරන පරිදි සරතුස්ශ්‍රා ද සිය ධර්ම දේශනාවක් සෙරන්දිබ් කන්දේ දේශනා කළ බව. ඊට සියවස් ගණනාවකට පසුව ඛාවන්ඩ් මීර් (ක්‍රි.ව. 1535) සරතුස්ශ්‍රා මනුෂ්‍යත්වයට පැමිණියේ මෙම සෙයිලාන්හි කන්දේ බවත් එහි ස්වල්ප වේලාවක් නැවතී සිටි බවත් කියයි.
  • අබු හමිඩ් අල් බතානි, අබු අබ්දුල්ලා යන ලේඛකයන් ද ඊට සමාන විස්තර සඳහන් කර තිබේ. අඩු හමිඩ් අල් ගරනා ද) ආදම් පැවතගෙන එනු ලබන්නේ සෙරන්දිබ්හි අල් රහුන් කන්දේ සිට බව කියයි. අල් මසුදී පවසන්නේ මනුෂ්‍යත්වයේ පියා වූ ආදම් පැවත එන්නේ සෙරන්දිබ් හි අල් රහුන් කන්දේ සිට බවය. සුලෙමාන්, ඉබන් ඛුර්දාබ් වගේ ලේඛකයන් සමන්තකූටය ගැන සඳහන් කරන අතර වා – ඕ ජුකුවා නමැත්තාගේ සටහන සෙරන්ඩිබ් කන්දේ පිහිටි මිනිස් පා සටහන ගැන දක්වා තිබේ.
  • ලංකාවට ආව මාර්කො පෝලෝ ද සමන්තකූටය ගැන සඳහන් කරනවා. ඔහු මෙම ස්ථානය ඉස්ලාම් බැතිමතුන්ට අනුව ආදම්ගේ සොහොන එහි පවතින බවත් පිළිම වන්දනාකරන බෞද්ධයන් සර්වඥයන් වහන්සේගේ සොහොන සමන්තකූටයේ පවතින බවත් විශ්වාස කරන බව එහි සටහන් කරයි. ඔහු සමනල කන්දට නොගියත් අසා දැනගත් තොරතුරු මත සිය අදහස් දක්වා තිබේ.
  • කුරුණෑගල යුගයේ දී මෙරටට පැමිණි සංචාරකයෙකු වන ඉබන්බතුතා නම් මුස්ලිම් ජාතික සංචාරකයා ද සමනොලගිර සෙරන්ඩිබ් කන්ද ලෙසට සඳහන් කරයි. ඔහු මේ කන්ද තරණය කළ පුද්ගලයෙකු ලෙස ඔහුගේ විස්තර අනුව සිතිය හැකිය. ඉබන්බතුතා ශ්‍රී පාද ලාංඡනය වියත් එකොළහක් පමණ දිග බව සඳහන් කරයි. ඔහු එය ආදම්ගේ පාද ලාංඡනය බව පෙන්වයි. මුලින්ම ශ්‍රී පාදයට ගිය මුස්ලිම් ජාතිකයා ලෙසට අබු අබ්දුල්ලා බින් කාලිෆ් නැමැත්තා බව බතූතා සඳහන් කරයි. ශ්‍රී පාදයට යන පාර ඔහු සොයාගත් බව ද සඳහන් කරයි.
  • බතූතාට පෙර හෝ එම සමකාලීන අවධියේ දී ලංකාවට පැමිණි ප්‍රැන්සිස්කන් දේවගැතිවරයෙකු වූ ඔඩොරික් පූජකවරයා සමනොලගිර පිළිබඳව විස්තරයක් සඳහන් කර තිබේ. නමුත් විස්තරය කියවන විට එය සැක සහිතයි. මරිඤ්ඤෝලිවි පියතුමාද සිරිපා නැංග විදේශිකයෙකු ලෙස සඳහන් වේ. ආදම්ගේ දකුණු පා සලකුණු මෙහි ඇති බව ඔහු සඳහන් කරයි. ඔහු එම පා සටහන මැන බැලූ බවත් අත්ලෙන් වියත් දෙක හමාරක් බවත් සටහන් කරයි.
  • ජෝන් ඩේවි ද ශ්‍රී පාද කන්දට නැඟි විදේශීය ලේඛකයෙක් වන අතර ඔහුගේ තොරතුරු ද එම අවධියේ දී සමනොල ගිරි පිළිබඳව තොරතුරු අධ්‍යයනයට කර ඇත. ශ්‍රී පාදය මල්වතු විහාරය සමඟ සබඳතා පවත්වන බවට ඔහු සඳහන් කරනවා. හෙන්රි මාෂල් මේ ස්ථානයට සමීප වූ තවත් විදේශිකයෙක්. සමන්තකූටයට ‘ඇඩම්ස් පීක්’ යන නම යෙදෙන්නේ මුස්ලිම්වරුන් භාවිතා කරන ‘බබාද මලී’ යන යෙදුම නිරුක්ති කොටගෙන බව මාර්ෂල් කියයි. ටෙනන්ට් කියන්නේ පෘතුගීසි වචනයක් ඒ සඳහා පාදක වූ බවයි.
  • අපෙ රට පාලනය කළ රජවරු ද ශ්‍රී පාද පද්මයට සිදුකළ සේවාවන් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව, අනුරාධපුර යුගයටත් වඩා පොළොන්නරු සමය වනවිට සිරිපා වන්දනාව ජන සමාජය අතර ඉදිරියට ආ බව ඉතිහාසය බැලුවම පැහැදිලි වෙනවා. පළමු විජයබාහු හා නිශ්ශංකමල්ල රජතුමාගේ ශිලාලේඛනවලින් සමන්තකූටයට දැක් වූ අනුග්‍රහයන් පිළිබඳ තොරතුරු ඇත.
  • විජයබා රජුගේ අඹගමුව හා ගිලීමලේ සෙල්ලිපි දෙක සිරිපාදය ගැන තොරතුරු කියවෙි. රජු ශ්‍රී පාදය වැඳීමට ගිය බවත් ගිලීමලය, අඹගමුව ආශ්‍රිත පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම, අම්බලම් පිහිටුවීම කළ බවත් පාද ලාංඡනය දැලකින් වසා අගුලු සහිත දොරටු දෙකක් ඇති පවුරක් ඒ වටා බැඳ කුලහීනයන් කියන ජනයාට ශ්‍රී පාද වන්දනා කිරීමට පහත මළුවක් තැනූ බව දැක්වෙනවා.
  • දුෂ්කර ලෙස වන්දනාවේ යන්නන්ට දානෝපකරණ සපයා ගැනීමට පහසුකම් සැලසූ බවත් අඹගමුව සෙල්ලිපියෙ සඳහන්. චූලවංශයේ ද මේ ගැන තොරතුරු දක්වන අතර මහා පරාක්‍රමබාහු රජු ද සමන්ගිර වන්දනාවට ගිය බව රාජාවලියේ සඳහන්.නිශ්ශංකමල්ල රජු චතුරංගනී සේනාව සමඟ ශ්‍රීපාදය වන්දනා කිරීමට ගිය බව චූලවංශය දක්වන පුවත භගවා ලෙනේ ඇති ලෙන් ලිපිවල ඇති සඳහන් වලින් ඒ බව සනාථ වේ.
  • දඹදෙණි සමයේ දෙවන පරාක්‍රමබාහු රාජ සමයේ දී දේවපතිරාජ ඇමැතිතුමන් සමන්තකූටයට පැමිණ කළ ශාසනික ක්‍රියා චූලවංසය මෙන්ම පූජාවලිය ද සඳහන් කර ඇත. දේවපතිරාජ විසින් සිරිපතුලට සෙවණ ලබාදීමට මණ්ඩපයක් කළ බවත් පර්වතයේ කළ යකඩ දණ්ඩන වල මේ මණ්ඩපය බඳින ලද බවත් කියයි. ඒ වගේම රාත්‍රියක් පුරා රජු වෙනුවෙන් පහන් පූජා කළ බවත් වංශකතාව සඳහන් කරයි.
  • දෙවන පරාක්‍රමබාහු රජුගේ පුතෙක් වන හතරවන විජයබාහු රජු සමනලගිර වන්දනාව පිණිස ගිය බව පූජාවලියේ සඳහන්ය. මේ අවධියේ පිහිට වූ පළාබත්ගල ආරණ්‍ය සේනාසනයේ ධර්මශාස්ත්‍රීය සේවයේ ඵලයක් ලෙසින් සමන්තකූටයේ ආගමික වැදගත්කම කේන්ද්‍රකොට ගනිමින් සමන්තකූටවණ්ණනාව නම් උසස් සාහිත්‍ය කෘතිය බිහිවීම ද දක්නට ලැබේ.
  • ගම්පොල හා කෝට්ටේ යුගවල රචිත සන්දේශ කාව්‍යවල ද සමනොලගිර පිළිබඳව සඳහන් තොරතුරුවලින් එම කාලයේ මේ ස්ථානය පිළිබඳ ජන කැමැත්ත කුමක්ද යන්න තීරණය කිරීමට හැක. ඒ කාලේ වීරවික්‍රම නම් පාලකයෙකු සමන්තකූටයට කරන ලද අනුග්‍රහයන් ගැන චූලවංශය සඳහන් කරනවා. ඔහු සේනාසම්මත වික්‍රමබාහු යයි විශ්වාස කෙරේ. ඔහු පඩි 700කින් යුත් සෝපාන පන්තියක් කර වූ බවත් ශ්‍රී පාදයේ දී අලංකාර පහන් පූජාවක් කළ බවත් දැක්වේ.
  • සීතාවක පළමුවැනි රාජසිංහ රජු ශ්‍රී පාදස්ථානය අයිතිය ආඬින්ට පවරාදෙනු ලැබූ බවත් ශිව දෙවියන්ගේ පා සටහන සමන්තකූටයේ ඇති බව ඔහු විශ්වාස කළ බවත් දැක් වේ. පෘතුගීසි යුගය ගැන සටහන් තබන රොබෙයිරෝ, ෆර්නාවෝ, ක්වේරෝස් ද සමන්තකූටය අළලා දීර්ඝ විස්තර සපයා ඇත. සෙංකඩගල නුවර අවදියෙහිදී පළමුවන විමලධර්මසූරිය රජු ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය බවත් රන් රිදී වස්තුවලින් ශ්‍රීපාදය පිදූ බවත් ශ්‍රීපාද ලාංඡනයට ඉහළින් රිදී කුඩයක් සවිකරමින් මහ පින්කම් කළ බවත් චූලවංශය දක්වයි.
  • මන්දාරම්පුර පුවතෙන් කියන්නෙ ආඬින්ගෙන් මුදාගත් ශ්‍රීපාදය නැවත භික්ෂූන්ටම රජු විසින් ලබාදී ඇති බව. රොබට් නොක්ස් ද ශ්‍රීපාදය ආඬින්ට අයත්ව තිබූ බව සඳහන් කරයි. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර රජු දෙවරක් ශ්‍රී පාදයට ගිය බව චූලවංශය සඳහන් කරයි. විජය රාජසිංහ රජු ද ශ්‍රී පාදයට ගොස් පහන් පූජාවක් කළ බව වංශ කතාවේ දැක්වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සන්නසක් මඟින් ගම් බිම් සහිතව ආදායම් මාර්ග ශ්‍රී පාදයට ලබා දී තිබේ. එසේම ක්‍රි.පූ 323දී මෙරටට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ පහසුව සඳහා සිරිපා මාවතේ යකඩ දම්වැල් සවි කර තිබේ.

සිරිපා වන්දනාව

  • ශ්‍රීපාද වන්දනාව පිළිබඳ ඉතිහාසය සොයා බලන විට මේ වන්දනාව අනුරාධපුර සමයේදී ආකාර දෙකකින් සිදුව ඇති බව පෙනේ. උත්තල හැඩයෙ සිරිපා වන්දනාව මෙරට පැරැණිම බෞද්ධ ආරාම වෙත යන ඔබට එම ස්ථානයන්ගේ තිබී දෙපතුල් සටහන් සහිත සතරැස් ගල් පුවරු රාශියක් දැකගත හැකි වේ. මේවා අනුරාධපුරය, මිහින්තලය, අභයගිරිය, රුවන්මැලි සෑය, රජගල, සිතුල්පව්ව, තිස්මහාරාමය, තිරියාය ආදි ස්ථානයන්ගෙන් ලැබී තිබේ. මේ සිරිපතුල් ගල්වල ඉහළට එසවී පෙනෙන ආකාරයට බුදුරදුන්ගේ යටිපතුල් දෙක කැටයම් කර තිබේ.
  • මේ සිරිපතුල්වල දක්වා ඇති ඇඟිලි දිගින් එක සමාන වන අතර, මේවා බුද්ධ ප්‍රතිමාව නිර්මාණයට පෙර අවධියේ බුදුන් සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරනු ලැබුනු බව සඳහන්.ඊළඟ සිරිපතුල් වන්දනාව වන්නේ අවතල හැඩයේ එනම් යටට එබී ගිය ආකාරයේ සිරිපතුල් වන්දනයයි. මිනිසකු මඩ සහිත පොළොවක තදින් පාදය තැබුවොත් එහි ඔහුගේ පා සලකුණ යටට එබී දිස් වේ. මේ දෙවන ශ්‍රීපාද ලාංඡන වන්දනාව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ස්ථානවල එබී ගිය පිය සටහන් ලෙස නිර්මාණය වූ ඒවාය. සමනළකන්දෙද එසේ යටට එබී ගිය සලකුණක් වේ.බෞද්ධ සාහිත්‍ය අනුව බුදුන් වහන්සෙ සිරි පතුල පිහිටවා ඇත්තෙ සමනළ කන්දෙ විතරක් නෙමේ. ශ්‍රී පා වන්දනා ගාතාවෙන් ඒ බව පැහැදිලි වෙනවා.
  • යංනම්මදාය නදියා පුලිනේච තීරේ- යංසච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
  • යංතත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං- තංපාද ලාංඡන මහං සිරසා නමාමි
  • ඉන් කියන්නෙ බුදුන් වහන්සේ නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත්, සමන්ගිරේත්, යෝනක පුරයේත් තම පාද ලාංඡනය පිහිටුවා තිබෙන බව. පූජාවලිය යෝනක පුරය වෙනුවට කැලණි නදී තීරය දක්වා තිබේ. සච්චබද්ධ පර්වතය තායිලන්තයේ පිහිටා ඇති බව සියම් ජාතිකයෝ විශ්වාස කරනවා.නමුත් අද වෙද්දි බුදුන් වහන්සේ විසින් පිහිටුවන ලද මේ පාද ලාංඡන හතරෙන් පැහැදිලි ලෙසම ස්ථානීය වශයෙන් හඳුනාගෙන ඇත්තේ සමනළකන්ද විතරයි.