Hela Rahas

Hela Rahas Official Web Portal

කුඩා දරුවන්ගේ ළමා විය සංවර්ධන කිරීමට උපක්‍රම 11ක්

කවදා හෝ වැඩිහිටියෙකු ලෙස සමාජගත වන අයෙකුගේ පෞරුෂත්වය වර්ධනය වීමේ මූලිකම අඩිතාලම වැටෙන්නේ ඔහුගේ/ඇයගේ උපත සිදුවූ මොහොතේ සිටයි. එනම් පුද්ගලයෙකු ඉතා කුඩා අවධියේ සිටම විවිධ වයස් සීමා සංධිස්ථාන පසුකරමින් ඒ සෑම වෙන් වෙන් අවධියකදීම ලෝකය ගැන ඉගෙන ගනිමින් ඊට අනුරූපව කායිකව මෙන්ම මානසිකව වර්ධනය වේ.දරුවෙකුගේ මුල් ළමා විය සංවර්ධනය කෙරෙහි ප්‍රධාන වගකීම ඇත්තේ දරුවාගේ දෙමාපියන්ටයි.

ඔබේ දරුවා බාහිර පරිසරයට අනුගත වෙමින්, පරිසරය නිරීක්ෂණය කරමින් ඒ ආශ්‍රිතව විවිධ දෑ ඉගෙනගනියි. ඒ අනුව එතැන් පටන් විවිධ සංවර්ධන අවධීන් ඔස්සේ දරුවාගේ කුසලතා සහ පෞරුෂත්ව සවර්ධනය සිදුවේ.දෙමාපියන් වශයෙන් දරුවාගේ ඉගෙනීමේ ක්‍රියාවලියේදි ඔබේ දායකත්වය දැක්විය හැක්කේ කෙසේද, දරුවාගේ සෑම සංවර්ධනය අවධියකදීම දරුවා තුල කුසලතා සහ හැකියාවන් ගොඩනැගීම සඳහා ඔබට භාවිතා කල හැකි උපක්‍රම මොනවාද කියා අපි දැනගනිමු.

1.උපතේ සිට මාස 3 දක්වා

  • විවිධ සෙල්ලම් බඩු ක්‍රියාකාරකම් හරහා දරුවාගේ කායික ශක්තිය වර්ධනය කල හැකියි.බබාව මුණින් අතට හරවා සීනුවක් හෝ ශබ්ද නැගෙන සෙල්ලම් බඩුවක් ඔහු/ඇය ඉදිරියෙන් සොලවන්න. එය ඉහළ පහළ ගෙන යමින් දරුවා එම චලනය වන දිශාවන් වලට හිස සහ උරහිස් ඔසවන්නේ දැයි පරික්ෂා කරන්න. ඔවුන් එසේ නොකරයි නම් ඔවුන්ව උනන්දු කරවන්න.
  • උඩු අතට වැතිරවා යම් සෙල්ලම් බඩුවක් පෙන්වමින් එය වම් පැත්තට සහ දකුණු පැත්තට චලනය කරවමින් දරුවා ඒ දෙසට හිස හරවමින් බලවා දැයි නිරික්ෂණය කරන්න.මෙම ක්‍රියාකාරකම් මිනිත්තු 5 ක් පමණ දිනකට කිරිම ඉතා ප්‍රයෝජනවත්ය. මෙමඟින් දරුවාගේ හිස, බෙල්ල සහ සිරුරේ ඉහළ ප්‍රදේශයේ කාය ශක්තිය සහ සවිමත් බව වර්ධනය වේ.මෙම ප්‍රදේශවල මාංශ පේශීන් වර්ධනය වීම හිස ඔසවමින් දණගෑමට පටන්ගැනීම වැනි දරුවාගේ චාලක හැකියාවන් ගොඩනැගීමට අතිශයින්ම වැදගත් වේ.

2.මාස 3-6

  • දරුවාට ඔබේ මුහුණ කෙලින් පෙනෙන සේ සමිපයෙන් රඳවාගන්න. දරුවාගේ ඇස් දෙස බලමින් ඔහුගේ/ඇයගේ ඇස් වල අවධානය ඔබ වෙත ලබාගැනීමට උත්සහා කරන්න. ඇසට ඇස සබඳතාවක් ඇතිකරගනිමින් දරුවා සමඟ කතා කරන්න. ඉපදුණු අලුත කුඩා දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල අතර ඔවුන්ට අවට පෙනෙන්නේ බොඳවී ඇති ලෙසය (blurred vision).එම නිසා දරුවා සමඟ අක්ෂි සබඳතා නිරන්තරයෙන් ඇති කරගැනීමට උත්සාහ කරන්න.
  • එමඟින් දරුවා මුහුණු හඳුනාගනිමින් අවට පරිසරයට හුරුවීමට පටන්ගනියි. විශේෂයෙන්ම දරුවා ශබ්ද හඳුනාගනිමින් ඒවා අනුකරණය කිරීමට උත්සාහ කරනු ඇත. කුඩා දරුවන් කතාකරනවාක් මෙන් අපැහැදිලි ශබ්ද නගයි (blabber). එවැනි අවස්ථාවල එකම වචන නැවත නැවත කියමින් දරුවාට ඇසෙන්නට සලස්වන්න. එම වචන පවසන විට ඔබේ මුහුණෙන් යම් යම් අභිනයන් සිදුකරමින් ඔවුන්ගේ අවධානය ගන්න.මෙය දරුවාගේ භාෂා හැකියාව සහ සන්නිවේදන කුසලතාව ගොඩනැගීමට උපකාරයකි. විශේෂයෙන්ම වචන සහ හැඟිම් ප්‍රකාශන අතර සම්බන්ධතාව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීම තුලින් දරුවා ඒවා ඉක්මනින් ඉගෙන ගනියි.

3.මාස 6-9

  • මෙම අවධියේදී දරුවා සමඟ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීමට ඔබට හැකියි. හැංගි මුත්තන් ක්‍රීඩාව උදාහරණයට ගනිමු. අත් දෙකින්, කොට්ටයකින් හෝ වෙනත් දෙයකින් දෑස් ආවරණය කරගනිමින් එක් වරම දැත් විවෘත කර ඔබේ මුහුණ දරුවාට පෙන්වීමේ දී දරුවා විශ්මයටත් සතුටටත් පත්වේ. ඔබ මොහොතකට මුහුණ සඟවාගෙන සිටියත් ඔබ එම සම්පූර්ණ කාලයේම එතන සිටි බව දරුවාට වැටහීමක් නැත. ඔවුන් සිතන්නේ ඔබ අතුරුදහන් වී නැවත පෙනී සිටින බවයි.
  • ඔබ මුහුණ ආවරණය කරගන්නා සෑම අවස්ථාවකම ඔබව නැවත දැකීමට දරුවා කුතුහලයකින් සිටියි. මෙම ක්‍රියාකාරකම දරුවා සමඟ නිතර සිදුකරන්න.පුනරාවර්තනය (repetition) නැතිනම් එකම දේ යලි යලි සිදුකිරිම තුලින් දරුවා ඉගෙන ගනියි.මෙම ක්‍රීඩාව දරුවාගේ විශ්ලේෂණාත්මක පරිකල්පන හැකියාව ගොඩනැගීමට බොහෝ සෙයින් ඉවහල් වේ. දරුවා මින් වස්තු ස්ථිරතාව සංකල්පය (object permanence) අවබෝධ කරගැනීමට පටන්ගනියි (වස්තුවක් නොපෙනුනද එය එතැනම දිගටම පැවති බව).

4.මාස 9-12

මෙම වයාස් සීමාවේදි දරුවා සමඟ සංකීර්ණ ක්‍රිඩා කිරීමට ඔබට හැකියි (උදා: ශබ්ද නගන සෙල්ල්ම බඩුවක් සඟවමින් දරුවාට එය සොයාගැනීමට සැලැස්වීම වැනි සෙල්ලම්). මෙහිදී එම සෙල්ලම් බඩුව දරුවාට ලඟා විට හැකි තැනක සැඟවීම සිදුකරන්න. ශබ්දය ඇති කරමින් එය සෙවීමට දරුවා තුල උනන්දුව ඇති කරන්න. ඔවුන් එය සාර්ථකව සිදුකල විට අත්පුඩි ගසමින් දරුවාව අගයන්න.මෙම අවධියේදි දරුවන් සිතිමට සහ ගැටලු නිරාකරණය කරන අයුරු ඉගෙන ගනිති. එමෙන්ම චලන ශබ්ද වලට ප්‍රතිචාර දැක්වීමට හුරුවෙයි. දරුවාගේ සාර්ථක ක්‍රියාකාරකම් ඇගයීම තුලින් දරුවා තුල ප්‍රේරණයක් ඇතිකිරීමෙන් දරුවා වඩ වඩාත් උනන්දුවීමට පටන්ගනියි.

5.මාස 12-15

  • ඔබේ අතේ ඇති වස්තු නම් කරමින් ඒවා දරුවාට පෙන්වන්න. ඉන් සෑම එකකටම විශේෂණ පද භාවිතා කරමින් හැඳින්වීම සිදුකරන්න. දරුවාගෙන් එම වස්තු ගැන ප්‍රශ්ණ අසන්න. මේ සඳහා කාඩ්බෝඩ් පෙට්ටි, බ්ලොක්, විවිධ හැඩතල, වර්ණ භාවිතා කල හැකියි. දරුවාට ඒවා සමඟ සෙල්ලම් කිරීමට දෙන්න.මෙම කාලයේදී දරුවාගේ වාචික කුසලතා සංවර්ධනය වීමට පටන්ගනියි. අවට පරිසරයේ ඇති දේවල් වල නම් දරුවාට ඇසෙන සේ පවසන්න. මින් දරුවාට වචන සහ භාවිතාවන් පිලිබඳ අවබෝධයක් ලැබීමට පටන්ගනු ඇත.

6.මාස15-18

  • බාස්කට් එකක් ගෙන ඊට විවිධ වස්තුන් දමන්න. මේ සඳහා දරුවාට පහසුවෙන් අතට ගත හැකි ආකාරයේ , ඔවුන්ට අනතුරක් නොවන ස්වභාවයේ සෙල්ලම් බඩු භාවිතයට ගන්න. දරුවා මෙම බාස්කට් එක තුල ඇති දේවල් අතට ගෙන බැලීමට, ඒවා ආපසු බාස්කට් එකට දැමීමට පටන්ගනු ඇත. මෙය දරුවාගේ දළ චාලක කුසලතා සහ සමබර කරගැනීමේ කුසලතා වර්ධනය වීමට උපකාරි වේ. එමෙන්ම දරුවාගේ පරිකල්පන ශක්තියත් මෙම ක්‍රියාකාරකම සඳහා දායක වන නිසා දරුවාගේ එම හැකියාව වැඩිදියුණු වීම සිදුවේ.

7.මාස 18- අවුරුදු 2

  • යම් යම් දේවල් (උදා:කෝප්ප, හැඳි) ආදිය නම් කරමින් ඒවා ඔබ වෙත ගෙනවිත් දෙන මෙන් දරුවාට පවසන්න.ඔවුන් සමඟ එම වස්තුව ගැන වගන්ති නිර්මාණය කරන්න. සිරුරේ කොටස් නම් කරමින් දරුවාට ඒවා කියාදෙන්න. ටෙඩී බෙයාර් කෙනෙක් ගේ ඇඟේ කොටස් පෙන්වමින් ඒවා බබාගේ ඇඟේ පිහිටා තිබෙන තැන් පෙන්වමින් දරුවාට සංසන්දනාත්මකව කියාදීමට ඔබට පුලුවන්.මෙම අවධියේදී දරුවාට වචන සහ වස්තු අතර සම්බන්ධතාව ගොඩනගාගනිමින් ඒවා අවබෝධ කරගැනීමට හැකියාව ඇත. එමෙන්ම සම්පූර්ණ වාක්‍ය තැනීමට ද හැකිය. මෙම අවධියේදී ඔවුන්ගේ භාෂාව සහ සන්නිවේදන හැකියාව වඩාත් වැඩිදියුණු වේ.

8.අවුරුදු 2-3

  • ඔබේ දරුවාට දේවල් පෙළගැස්වීම සම්බන්ධ ක්‍රියාකාරකම් උගන්වන්න(උදා: සෙල්ලම් සත්තු, කාර්, බෝනික්කන් ආදි). ඒවා ප්‍රමාණයන්, වර්ණ, පාද ගණන, ආදි විවිධ නිර්නායක මත ස්ථාන ගත කිරිමට දරුවාට උනන්දු කරවන්න. සෙල්ලම් කරන විටදි දරුවාගේ තේරීම් ගැන ප්‍රශ්ණ කරන්න. දරුවාට වැටහෙන අයුරින් කරුණු කියා දෙන්න. මෙමඟින් විවිධ ලක්ෂණ ස්වරූප සහිත වස්තූන් වල සමානකම් හඳුනාගනිමින් ඒවා වර්ගීකරණය කිරීමට දරුවා ඉගෙන ගනියි. මෙය ගණිත කුසලතා වර්ධනය සඳහා ඉතා වැදගත් වේ.

9.අවුරුදු 3-5

  • උස සිහින් වතුර වීදුරුවකින් වෙනත් කොට සහ පළල් බඳුනකට ජලය මාරු කරන්න (ජලය පිටතට නොවැටෙන සේ). මෙම බඳුන් දෙකෙන් වැඩි පුර ජලය ඇත්තේ කුමන බඳුනේදැයි ප්‍රශ්ණ කරන්න.මෙම අවධියැදී ඔබේ දරුවාගේ තාර්කික ඥානය දියුණු වී නොමැත. එහිදි දරුවා වැරදි තේරීමක් ඔබට පෙන්වීමට බොහෝ ඉඩකඩ ඇත. මෙම ක්‍රියාකාරකමේ ප්‍රධානම අරමුණ වන්නේ දරුවාගේ ප්‍රජානන හැකියාව සංවර්ධනය කිරීමයි (cognitive development)

අවුරුදු 6-8

  • නිවසේ එදිනෙදා කටයුතු සිදුකිරීමේදි කුඩා කුඩා වගකීම් දරුවාට පවරන්න(කෑම මේසය පිළිවෙල කීරීම, මල් වලට වතුර දැමීම ආදි) ඔවුන් සාර්ථකව ඉ‍ටුකරන සෑම ක්‍රියාවක්ම අගය කරන්න. ඔබ ඔවුන් ගැන ආඩම්බර වන බව-සතු‍ටු වන බව ඔවුන්ට පවසමින් ඔවුන්ව තවත් දිරිගන්වන්න.මෙය ඔවුන්ගේ ආත්මාභිමානස සහ ආත්මවිශ්වාසය ගොඩනැගීමට අතිශයින්ම වැදගත් වේ. එමෙන්ම මේ අවධියේදී ඔවුන් තුල වගකීම් දැරීම පිලිබඳ හැඟීම වර්ධනය වන අතර ක්‍රියාවකින් අනතුරුව ලැබෙන ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක පිලිබඳ අත්දැකීම් ලබයි.

11.අවුරුදු 9-11

  • දරුවාව වඩාත් සංකීර්ණ ක්‍රියාකාරකම් වලට දායක කරගන්න(උදා: ඉවුම් පිහුම් කටයුතු, ගේ දොර පිරිසිදු කිරීම ආදි). මෙමඟින් දරුවා යමක් සාර්ථකව කරන අයුරු ඉගෙනගනියි. කාලය කළමනාකරණය කරගනිමින් කටයුතු සිදුකරන අයුරු පිලිබඳ යම් අවබෝධයක් ඔවුන්ට ලැබෙනු ඇත. දරුවාගේ ක්‍රියාකාරකම් පිලිබඳ අගයමින් දරුවාට තෑගි ලබාදෙමින් ඔහුගේ/ඇයගේ උත්සාහයන් අගය කිරීම හරහා ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිකිරීමට ඔබට හැකියි.

11.අවුරුදු 12-14

  • රාත්‍රී ආහාර වේල සෑම දෙනාම එක තැනකට එක්වෙන අවස්ථාවකි. ආහාර ගැනීමෙන් පසු මිනිත්තු 10-15 ක් පමණ ඔබේ දරුවන් සමඟ කතා බහ කිරීමට වෙන්කරගන්න. ඔවුන්ගේ බලාපොරොත්තු, අධ්‍යාපනික සහ ක්‍රීඩා ජයග්‍රහණ, ඔවුන්ගේ මිතුරන් ගැන, දරුවන්ගේ අවශ්‍යතා මොනවාද ආදි දේවල් පිලිබඳව සොයාබලන්න. සතියකට වරක් හෝ දරුවන් ද එකතු කරගනිමින් යම් විශේෂ දෙයක් සිදුකරන්න (උදා:සංචාරයකට යාම, නිවාඩුවකට යාම, සිනමා ශාලාවකට යාම හෝ සරලවම දරුවන් සමඟ අයිස් ක්‍රීම් එකක් රසවිඳීමට අවන්හලකට යාම වැනි සරල විනෝදජනක දෙයක් සිදුකරන්න.)
  • මෙවැනි දේවල් තුලින් දරුවන් සහ දෙමාපියන් අතර ඇති බැඳියාව වර්ධනය වේ. එමෙන්ම තම හැඟිම් , සිතිවිලි සහ ආශාවන් තමන්ගේ දෙමාපියන් විසින් වටහාගන්නා බව දරුවා තුල හොඳ අවබෝධයක් -හැඟීමක් ඇතිවේ. මෙය දරුවන් දෙමාපියන් කෙරෙහි ද දෙමාපියන් දරුවන් කෙරෙහිද හොඳ සැබැඳියාවකින් කටයුතු කිරීමට ඉඩ සලස්වන ක්‍රියාවක් ලෙස දැකිය හැකියි.