Hela Rahas

Hela Rahas Official Web Portal

ආතතිය දුරු කරගැනිමට උපක්‍රම 7 ක්

කාංසාව සහ ආතතිය යනු පුද්ගලයින්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් කල හැකි පීඩාකාරි තත්වයන් වේ. එවැනි තත්වයන්ගෙන් මිදීමට මානසික වෛද්‍ය සහය පැතිය හැකි අතර ඒ හරහා එම තත්වයන් නිසා පුද්ගලයාගේ ජීවිතයට ඇති විය හැකි සෘණාත්මක බලපෑම් අඩු කරගත හැකිය. කාංසාව සහ ආතතිය වැනි පීඩා හේතුවෙන් ඔබේ දෛනික ජීවන කටයුතු අඩාල කර නොගෙන , එම තත්වයන්ට එරෙහිව සටන් කිරීමට ඔබට උත්සාහ කල හැකිය. ඒ සඳහා විද්‍යාත්මකව තහවුරු කෙරෙන උපක්‍රම කිහිපයක් ගැනයි මේ. මෙම ක්‍රම ඔබව සැහැල්ලු කරමින් කායිකව මෙන්ම මානසිකව ඔබව සන්සුන් කිරීමට උපකාර කරනු ඇත.

1.උගුර කලතවා සේදීම

  • උගුර සේදීමේදි කාංසාව නියාමනය පිලිබඳ මොලායට තොරතුරු නිකුත් කරවනු ලබන වාගුස් ස්නායුව උත්තේජනය වේ. එම ස්නායුව උත්තේජනය විමේදි ආතතිය කෙරෙහි වන ප්‍රතිචාර මන්දගාමී කරවමින් පුද්ගලයාට කාංසා තත්වයක් (අනිසි බිය හා නොසන්සුන්කම) දැනීම අවම කරවමින් ඔහු/ඇය තුල යහපත් මනෝභාවයක් ඇතිකිරීමට සහය දේ. ගී ගැයීම සහ හයියෙන් සිනාසීම වැනි ක්‍රියාකාරකම් නිසාද මෙම වාගුස් ස්නායුව උත්තේජනය වේ.

2.සමනල වැලඳගැනීම

  • නොසන්සුන් වී සිටින මොහොතක ඔබව සන්සුන් කරගැනීම සඳහා මෙම උපක්‍රමය උපකාර කරයි.පළමුව,
  • අත්ල පපුව මත සිටින සේ අත් දෙක හරහට තබාගන්න.
  • මහපට ඇඟිලි දෙක එකිනෙකට පටලවාගන්න. ඒවා අකුඇටයට කෙළින් පහළින් පිහිටිය යුතුය.
  • වම දකුණ වරින් වර මාරු කරමින් අත් වලින් සෙමින් උරහිස මතට තට්‍ටු කරන්න.
  • අවධානය ඔබ කෙරෙහිම පවත්වාගන්න,සෙමින් හුස්ම ගන්න,මින් ඔබට වැඩි සැහැල්ලු බවක් දැනෙනු ඇත.

3.වැඩිවේලාවක් ප්‍රාශ්වාස කිරීම

  • වාගුස් ස්නායුව උත්තේජනය කරවිය හැකි තව්ත් ක්‍රමයක් නම් මන්දගාමි ශ්වසනයයි. ආතතිය දුරුකරගැනීමට වැඩිවේලාවක් ප්‍රාශ්වාසය කිරීම සාර්ථක ප්‍රතිඵල දෙන උපක්‍රමයකි. තත්පර 4 ක කාලයක් හුස්ම ගන්න, තත්පර 8 ක් පමණ හුස්ම පිට කරන්න. එසේ තත්පර 12 ක් බැගින් මිනිත්තුවකට ශ්වසන වාර 5 ක් කල හැකිය. මනසින් එය ගණනය කරන්න. හුස්ම ගන්නා විට නාසයෙන් හුස්ම ගන්න. ඉටිපන්දමක් නිවන ආකාරයෙන් තොල් උලුප්පා කටින් හුස්ම පිටකරන්න.

4.සමීප යමක් සුවඳ බැලීම

  • සමීප සුවඳවල් ආග්‍රහණය කිරීමෙන් ආතතිය දැනෙන ස්වභාවය බොහෝ දුරට අවම කරවන බව අධ්‍යයන මඟින් පෙන්වාදේ. සුවඳ තෙල් වර්ග ආග්‍රහණය කිරීම එක් උදාහරණයකි(ඇරෝමාතෙරපි). ප්‍රසන්න සහ ඔබ ප්‍රිය කරන මතකයක් සහිත දේවල් සුවඳ බැලීම සිරුරේ ස්නායු සන්සිඳුවන බව පෙන්වාදේ. උදාහරණයක් ලෙස ඔබේ ප්‍රියතමයන්ගේ ඇඳුම් වල සුවඳ බැලීම ඔබේ මනසට සුවපහසු බවක් දනවයි.

5.අයිස් කැටයක් දරා සිටීම

  • අයිස් කැටයක් අත්ල මත තබා ඔබට හැකි තරම් උපරිම කාලයක් එය රඳවාගෙන සිටින්න.ඉන් පසු අනෙක් අතට මාරු කරන්න. මෙය පැනික් ඇටෑක් හෙවත් කම්පන තත්වයන් වලදී ඔබට භාවිත කල හැකි උපක්‍රමයකි. පැනික් ඇටෑක් තත්වයේ පීඩාවට වඩා අයිස් කැටයෙන් ඔබට දැනෙන අපහසුව්තාව කෙරෙ ඔබේ අවධානය යොමුකරවමින් ඔබට ඇතිවන බලපෑම අවම කරවයි. අයිස් කැට වෙනුවට ඇඹුල් රසකැවිල්ලක් ආහාරයට ගැනීමෙන් ද මීට සමාන ක්‍රියාකාරීත්වයක් ලබාදේ.

6.ප්‍රගම්‍ය පේශි ලිහිල් කිරීමේ ව්‍යායාම

  • මෙම ක්‍රමයේදි පේශී තදකිරීම සහ ලිහිල් කිරීම සිදුකරමින් සිරුරට සැහැල්ලුවක් ඇතිකරවයි. පාද වලට, උරහිස් සහ මුහුණට මෙම ව්‍යායාම ලබාදිය හැකියි.
  • පාද: පාද වල ඇඟිලි හකුළුවා තත්පර 10 ක් පමණ තදකරගෙන සිටින්න. පසුව ඇඟිලි ලිහිල් කරන්න.
  • උරහිස්: උරහිස් කන් දෙසට ඔසවා තත්පර 10 ක් පමණ එම ඉරියව්වෙන් ‍රැ‍ඳෙන්න. උරහිස් පහත හෙලන්න.
  • මුහුණ: මුහුණේ මාංශ පේශීන් සියල්ල නාසය දෙසට හකුළුවා තත්පර 10 ක් පමණ ‍රැඳි සිටින්න. පේශී ලිහිල් කරවන්න.

7.EFT උපක්‍රමය (Emotional freedom technique)

  • මෙම උපක්‍රමය කාංසාව සහ විශාදය තත්වයන් සමනය කිරීමට උපකාරී වන බව තහවුරු කල එකකි. මෙහිදී ඇඟිලි තුඬු වලින් සිරුරේ විශේෂ ලක්ෂ්‍යයන් මත තට්‍ටු කරමින් සම්බාහනය කිරීම කල යුතුය.එය තට්‍ටු කිරීමකට වඩා සංකීර්ණ විය හැකිය.මෙය සිදුකරන අතරේ පුද්ගලයා විසින් තමන්ගේ සිතට කරදර දෙන දේ කුමක්දැයි මනසින් සිතාබැලිය යුතුය. ප්‍රධාන ලක්ෂ්‍යයන් පහත පරිදිය:
  • අතේ පැත්ත
  • ඇහි බැමි ලක්ෂ්‍යය
  • ඇසේ පැත්ත
  • ඇස යට
  • නාසය යට
  • නිකට ලක්ෂ්‍ය
  • අකු ඇටය ලක්ෂ්‍ය
  • කිහිළි
  • හිස මුදුන