Hela Rahas

Hela Rahas Official Web Portal

නින්දෙන් දත් මිටි කෑමේ පුරුද්ද නතර කරගන්න ක්‍රම 7ක්

නින්දෙන් දත් මිටි කෑම වෛද්‍ය විද්‍යාවේදී බෘක්සිසම් (Bruxism) යන තත්වය සේ හඳුනාගැනේ. මෙම තත්වය නිද්‍රා ඇප්නියාව නම් තත්වය හා සම්බන්ධතා පෙන්නුම් කරන බව මෑතකාලීන අනාවරණ මඟින් පෙන්වාදේ. නින්දෙන් දත්මිටි කෑම සිදුවන්නේ නින්දේදි උගුරේ මාංශ පේශී ලිහිල් වී පවතින විට හුස්ම ගැනීමට අපහසුතා ඇතිකරමින් වායු මාර්ගය ඇහිරී යාමත් සමඟය. මේ තත්වය ඔබේ හකු ප්‍රදේශයටත් අනවශ්‍ය ලෙස පීඩා ඇතිකරවිය හැකියි, ඇතැම් විට හිසරදයන් පවා. මෙය දත් වල ඇති අස්වාභාවික ක්‍රියාකාරීත්වයකි. ජනගහනයෙන් 8-31% ත් අතර බොහෝ දෙනෙකු මෙම තත්වයෙන් පෙළෙති. තවත් කෙනෙකු එසේ දත් මිටි කද්දි තවත් කෙනෙක්ට නිදාගන්න එක හරිම අපහසු අත්දැකීමක් වෙනවා. ඔබේ නින්දටත් අනෙක් අයගෙ නින්දටත් බාධාවක් නොවී, ගුණාත්මක නින්දක් ලබාගන්න වගේම ඔබේ දත් වලට හානියක් නොවන්න, නින්දෙන් දත් මිටි කෑමේ පුරුද්ද නතර කරගැනීමට ඔබට උපකාර කරන දේවල් 7 ක් පිළිබඳවයි මේ.

1.කැෆේන් හා මධ්‍යසාර පානය කිරීමෙන් වළකින්න.

  • කෝපි, කෝක් පාන වර්ග හා ශක්තිජනක පාන වර්ග වල කැෆේන් බහුලව අඩංගු වේ. රාත්‍රි කාලයේ මේවා පානය කිරීමෙන් ඔබව වඩාත් ක්‍රියාශීලීව අවදිව තබන නිසා නිදාගැනීම ඉතා අපහසු දෙයක් බවට පත්වේ.මධ්‍යසාර පානය ද එසේමය. මත් බව නිසා ඉක්මනින් නින්දට වැ‍ටුණොත් ඔබට ලැබෙන නින්ද සැපපහසු හෝ ගැඹුරු එකක් නොවේ. එම නිසා රාත්‍රිය මැද වරින් වර අවදි වීම සිදුවිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස දත් මිටි කෑම තවත් දරුණු අතට පත්විමේ හැකියාව ඉන් වැඩිවේ.

2.එදිනෙදා ජීවිතයේ ඔබ මුහුණ දෙන ආතතින් අඩු කරගත යුතුය

  • ආතතිය නිසා දහවල් කාලය පුරාවට දැඩි පීඩනයකින් ,කලබලයකින් ද රාත්‍රියේ අවිවේකි මනසකින්ද බොහෝ අය කල්ගෙවති. ඔබව ආතතියට පත්කරන මිනිසුන් හෝ, දේවල් හෝ සිදුවීම් හෝ වේවා, එම ආතතීන්ගෙන් බැහැර වීමට ක්‍රමවත් සැලසුමක් සාදාගන්න. ව්‍යායාම, මනෝඋපදේශනයන් ලබාගැනීම, භාවනා, යෝගා ආදි ක්‍රම ඔබේ ජිවිතයේ වෙනසක් ඇතිකරවනු ඇත. සෑම දිනකම එකම වේලාවක අවදිවීමටත් නින්දටයාමටත් හුරුවන්න. නීරෝගි සමබල ආහාර පමණක් පරිභෝජනය කරන්න. ක්ෂණික ආහාර වර්ග,සෝඩා පාන වර්ග හා රසකැවිලි ඔබේ දත් දිරා යාමට හේතුවේ. අමු එළවළු හා පලතුරු ,ඇට වර්ග ඔබේ දත් වලට වගේම සිරුරට ගුණදායකය.

3.ආහාර නොවන දේ සැපීමෙන් වළකින්න.

  • ඇතැම් අයට මෙය කුඩාකාලයේ ඉඳන්ම තිබෙන පුරුද්දකි. පෑනක්, පැන්සලක්,මකන ආදි ආහාර නොවන දේ සැපීම නිසා මුව තුලට හානිකර බැක්ටීරියා වැනි විෂබීජ ඇතුල් විය හැකියි වගේම ඔබේ මුඛයේ සාමාන්‍ය ක්‍රියාවලින් අවුල් කරවිය හැකියි. මෙම පුරුද්ද දත් මිටි කෑමේ පුරුද්ද හා සෘජුවම සම්බන්ධතා පෙන්නුම් කරයි. පාලනය කරගත නොහැකි සේ නිතරම දේවල් සැපීමට හුරුවීම ආතතියේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නකි.එබැවින් එවැනි පුරුදු වලින් බැහැර වෙන්න.

4.කැල්සියම් හා මැග්නීසියම් බහුල ආහාර පරිභෝජනයට එක්කරගන්න.

  • දත් මිටි කෑම ඔබේ සිරුරේ යම් පෝෂක අතිරේක හිඟ බව ඉඟි කරයි. පළමුව වෛද්‍ය පරික්ෂාවක් සිදුකරගැනීම සුදුසුයි. විටමින් හෝ වෙනත් අතිරේක පෝෂක ලබාගැනීම ඔබේ තනි මතයට නොකල යුතුයි. පරික්ෂණ වලදි ඔබේ සිරුරේ කැල්සියම් හා මැග්නීසියම් අඩු මට්ටම පවතින බව හෙලි වී නම් ඒවා බහුලා ආහාර පාන වර්ග පරිභෝජනයට එක්කරගන්න. මෙම මූලපදාර්ථ මාංශ පේශී ක්‍රියාකාරීත්වයට හා ස්නායු පද්ධතියේ නීරෝගි ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රධාන වශයෙන් වැදගත්වේ.රාත්‍රි කාලයේ මස්පිඬු පෙරලීම් වේදනා වලින් පෙළෙන අයට ද මෙම පෝෂකා අතිරේක ප්‍රතිලාභ ලබාදෙනු ඇත.

5.දත් තදින් විකාගෙන සිටින අවස්ථා ගැන සැලකිලිමත්වන්න

  • දහවල් කාලයේදි ඔබ සාමාන්‍යෙන් සිටින විට දත් හා හනුවේ ක්‍රියාකාරීත්වය දෙස සැලකිල්ලකින් අවධානය යොමුකරන්න. ඔබ ගැඹුරු ලෙස කල්පනා කරන විට හෝ ගැඹුරු අවධානයකින් යම් ක්‍රියාවක නිරතව සිටින විට, අවිඥානිකව දත් විකාගැනීම නැතිනම් තත් පෙළ තද කරගැනීම සිදුවේ. එවැනි අවස්ථා වලදී හකු ප්‍රදේශයේ තීව්‍ර පීඩනයක් ඇතිවිම හා දත් රළු ලෙස ගැටීම සිදුවේ. හකු ප්‍රදේශය ලිහිල් කර දත් ඒ අතර මැද්දෙන් දත් පෙළ හසුරුවමින් යටි හණුව වම් අතටත් දකුණු අතටත් චලනය කරන්න.

6.නින්දට යාමට පෙර හොඳින් සැහැල්ලුවෙන්න

  • හොඳින් සන්සුන් වීම හා සිරුර සැහැල්ලු කරගැනීම මඟින් හොඳ නින්දක් ලැබිය හැකියි. ඒ සඳහා සිරුර සූදානම් විම රඳා පවතින්නේ ඔබ කරන ඇතැම් පුරුදු මතය. රාත්‍රි නින්දට පෙර ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතයෙන් ඉවත්වන්න. ඖෂධිය තේ කෝප්පයක් පානය කරන්න. ගෙල ප්‍රදේශය, උරහිස් , මුහුණ හා කකුල් හොඳින් සම්බාහනය කරගන්න. යම් පොතක් කියවන්න.නැතහොත් භාවනා කරන්න. එමඟින් ඔබේ මනසටත් සිරුරටත් සැහැල්ලු සන්සුන් බවක් ඇතිවී මොලය නින්දට සූදානම් කරනු ඇත.

7.’මවුත් ගාඩ්’ උපකරණයක් පැලඳීම

  • නින්දෙන් දත් මිටි කෑම ඔබට ගැටලුවක් වී ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. බොහෝ විට දත් වලට හානි නොවන ආකාරයෙන් හා දත් මිටි කෑමෙන් වැළකෙන පරිදි මවුත් ගාඩ් උපකරණයක් පලඳින්නට ඔබට නිර්දේෂ කිරීමට ඉඩ ඇත.