Hela Rahas

Hela Rahas Official Web Portal

ලංකාවේ මුල්ම දන්සල දුන්න රේන්දකරු

  • තමන්ගේ ගෙදර ළඟ ඉඩමේ වැඩ අවසන්වෙමින් පවතින විහාරස්ථානයේ කටයුතු වලට මාස්පතා තමන්ගෙ පුතා ආතර් අතේ නායක හාමුදුරුවන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් යැවීම පොන්නහැන්නදිගේ ජෙරමියෙස් දියෙස් මැතිතුමා නොකඩවා සිදු කළා. “මේ සල්ලි අරක්කු සල්ලි නොවෙයි” කියලා කියන්නැයිද එතුමා තම පුතාට කියනවා. තාත්තාගේ ව්‍යාපාරය මත්පැන් ජාවාරම බව ආතර් දැන සිටියා.
  • ආතර්ගේ පවුලේ පිරිමි හතරයි. අනෙක් තුන්දෙනා තාත්තාගේ ව්‍යාපාරයට සිය කාලය කැප කළත් ආතර් කුඩා කාලයේ සිටම එයට එතරම් කැමැත්තක් නැති බව තාත්තත් දැනගෙන සිටියා. ඒ නිසා තාත්තා ආතර්ව යොදවා ගත්තේ පන්සලේ කටයුතුවලට වැනි පින් අතේ කටයුතුවලට පණිවුඩ පනත්වලට.
  • මේ අතර එක දවසක් නායක හාමුදුරුවන්ට පන්සල් කටයුතුවලට හදිසියේ මුදල් අවශ්‍යවී මුදල් එවන දිනට දින දෙකකට පෙර කෙනෙකු අත කියා එව්වේ “අද මුදල් තිබුණොත් හොඳයි” කියලා. එදා ජෙරමියෙස් දියෙස් මැතිතුමා පණිවුඩකරුවට කීවේ “අද සල්ලි නෑ, හෙට හවස ගෙනත් දෙන්නම්” කියලා හාමුදුරුවන්ට කියන්න කියලා. ඉන්පසුව තාත්තා කාටදෝ කතා කර “අනිද්දාට එවන්නට තියෙන මුදල් හෙටට එවන්න යැයි කව්දෝ කෙනෙකු පණිවුඩයක් යවනුද ආතර් බලාගෙනය. ගෝනි කනක්කුවෙන් කාමරයක් පුරා තිබෙන සල්ලිවලින් මෙයට නොගන්නේ මන්දැයි කුඩා ආතර්ට ප්‍රශ්නයක්.
  • පසුවදා දහවල් පණිවුඩකරුගේ දැනුම්දීම අනුව කෙනකු මුදල් ප්‍රමාණයක් තාත්තා අතට ගෙනැවිත් දුන් විට එදානම් තාත්තා එම මුදල් නායක හාමුදුරුවන්ට ගෙන ගොස් දෙන්නට කියා ආතර් පුතාට දුන්නේ නැත. එදා පියා කළේ පුතාද සමගම මුදල් රැගෙන නායක හාමුදුරුවන් වෙත යාමය. ගොස් ඒවා පූජා කිරීමය. ඉන්පසු එතුමා කළේ ඒ ගැන මෙතෙක් කල් පුතා අතේ කියා එවූ කතාවේ නිදාන කතාව නායක හාමුදුරුවන් හමුවේ කීවා.
  • “නායක හාමුදුරුවනේ, මම හැමදාම වෙනම මුදල් මගෙ මේ පුතා අතේ ඔබ වහන්සේට එවන විටදි “මේ මුදල් අරක්කු සල්ලි නොවෙයි” කියලා කියන්න කියලනෙ කියල එවන්නෙ. මගෙ ගෙදර ගෝනි කනක්කුවේ තියෙන්නෙ අරක්කු සල්ලිනෙ. ඒත් මගෙ පුතාවත් කිසි දවසක මගෙන් ඇහැව්වේ නෑ. එහෙනම් තාත්තෙ මේ සල්ලි මොන සල්ලිද කියලා. නමුත් මේකෙ නියම කතාව අද මම ඔබ වහන්සේ හමුවේ කියන්නම්. මම කුඩා කාලෙ ඉඳලම පොල් එකතු කරලා තෙල් හිඳලා විකුණලා මුදල් ප්‍රමාණයක් එකතු කළා. එහෙම කාලයක්ම එකතු කළ මුදලින් මම අක්කර අසූවක පොල්වත්තක් අරගෙන තියෙනවා.
  • ඊට පස්සෙ මම මෙහෙම මහා පරිමාණයෙන් වතු අරගෙන අරක්කු රේන්ද අරගෙන දියුණු වුණේ. ඉතින් මම ඒ මුදල් පන්සලේ කටයුතුවලට ගාවන්නෙ නැතුව අර මගේ සාධාරණ මුදල් තිබෙන පොල් වත්තෙන් ලැබෙන ආදායමෙන් තමා පන්සල් කටයුතුවලට වියදම දෙන්නේ. මම මේ කරන කටයුත්ත බුදු හාමුදුරුවෝ නොකටයුතු අසාධාරණ ව්‍යාපාරයක් බවට දේශනාකරලා තියෙනවනෙ. ඉතින් මට ව්‍යාපාරයෙන් ලැබෙන ඒ සල්ලි මෙහෙම පින් කටයුත්තට නොයොදා සිදු කරන්නයි මෙහෙම කරන්නෙ” කියලා කතාව කීවා.
  • ඒ කතාව පානදුරේ රන්කොත් විහාරයේ නා හිමියන්ටද සතුටට කාරණයක්ද වූයේ පන්සලේ ප්‍රධාන දායකයාගේ එක්තරා අන්දමක “අමද්‍යප ප්‍රතිපත්තියක්ද” මෙයින් හෙළිවුණු නිසා. “බොහොම හොඳයි මුදලාලි මහත්තයා. ඔබතුමා තුළ තියෙන හොඳ ගතිගුණ ගැනත් මට කාලෙක ඉඳලම සැහෙන හැඟීමක් තියෙනවා. අදයි මේ ගුණය ගැන දැන ගත්තේ. ව්‍යාපාරික වශයෙන් මොන මොන කටයුතු කළත් ඔබතුමාගේ හදවතේත් හොඳ පැවතුම් පැත්තක් තිබෙන බව මෙහෙම දැන ගැනීමට ලැබීමත් සතුටක්” බව පැවසුවා.
  • මේ කතාව කටින් කට ප්‍රචාරය වීම නිසා එක දවසක් කලින් පණිවුඩයක් එවා එඩ්මන් හවුස් මන්දිරයට (ජෙරමියෙස් දියෙස් මැතිතුමාගේ නිවස) වැඩම කළේ රත්මලානේ පරම ධම්මචේතිය පිරුවන් විහාරස්ථානයේ නායක පූජ්‍ය වලානේ ධම්මානන්ද හිමිපාණන්ය.
  • “මට ආරංචි වුණා මුදලාලි මහත්මයා රන්කොත් විහාරෙ කටයුතුවලට මාස්පතා මුදල් වශයෙන් දෙන්නෙ අමද්‍යප මුදල් බව. සාධාරණව හරි හම්බ කරපු මුදල් බව. ඔබතුමාගෙ ප්‍රධාන ව්‍යාපාරය බුදුන් වහන්සේ අකැප ව්‍යාපාරයක් වශයෙන් සඳහන් කළ එකක් වුවත් එහි යෙදෙන ගමන්ම මෙවන් ආදර්ශමත් කටයුත්තක් කිරීම ගැන අපටත් ආරංචි වුණාම ඒක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ සමඟ ඔබතුමාගෙ ධනයෙන් සිදු කෙරෙන ආගමික.
  • ජාතික සමාජසේවා කටයුතු නිසාත් ඉතිහාස ගත වන මහජන සේවයක් සිදු කෙරෙනවා. බොහොම හොඳයි. ඒත් මම එක අදහසක් කියන්න කැමැතියි. මේ මත්පැන් ව්‍යාපාරය අධාර්මික කටයුත්තක් නිසා එය ටිකෙන් ටික හෝ අත්හැර දමලා එයින් යැපෙන අයට වෙනත් වැවිලි වගේ ධාර්මික කටයුතුවල යෙදෙන්න අවස්ථාව සලසලා දුන්නොත් හොඳයි කියලා මා හිතනවා” කියලා මේ මහා ධනවත් දානපති යුවල හා දරුවන් හමුවේ කියා සිටියා.
  • “අවසරයි අපේ නායක හාමුදුරුවනේ. මම හිතනවා මතු දවසක මගෙ අතින්ම එහෙම කෙරෙන්න ඉඩ තියෙනවා කියලා. යනුවෙන් දියෙස් මැතිතුමෝ ප්‍රකාශ කළා.
  • “දවසක එහෙම කෙරෙනවා නම් ඒක සමාජයට ලොකු සහනයක් වෙන්න පුළුවන් මුදලාලි මහත්තයෝ. තවත් කාරණයක් ගැනත් කියන්න එක්කලයි අද මම හිතාගෙන ආවෙ. මුදලාලි මහත්මයා ළඟකදි සිල් සමාදන් වුණේ නැද්ද?” යනුවෙන් මෙහිදි ධම්මානන්ද නාහිමියන් අසා සිටි විට දියෙස් මහතාණන්ට එයට පිළිතුරු වශයෙන් කුමක් කිව යුතුද යන්න පවා සිතාගත නොහැකි විය. මන්දයත් ඔහු මෙතරම් වූ ධන සම්පත්තියක් හරි හම්බ කළද විවාහවි දරුවන් හැදුවද ජිවිතයේ කිසි දිනෙක සිල් සමාදන්ව නොමැති කෙනෙකු වූ හෙයිනි. එහෙත් ඔහු සිතට දිරිය ඇති කරගෙන නාහිමියන්ගේ අදහසට එකඟව පිළිතුරු දුන්නා.
  • “සිල් ගන්නට නම් ළඟකදි ඉඩක් ලැබුණේ නෑ. නායක හාමුදුරුවනේ!” යි ඔහු කියා සිටියා.
  • “හොඳයි එහෙම නම් මම කියන්නම් අදහසක්. මේ ලබන වෙසක් පොහොයදා මුදලාලි මහත්මයත් හාමිනේත් පන්සලේ අටසිල් සමාදන් වෙන්න. එතකොට මේ දරුවන්ටත් ආදර්ශයක් වෙනවා. ඔබතුමා වගෙ අනිත් අයටත් ආදර්ශයක් වෙනවා. එදාට දරුවන්ට පුළුවන් දාන මාන කටයුතු සම්පාදනය කරන්න” යනුවෙන් එවර නාහිමියන් කියා සිටි විට එය සියල්ලන්ගේ සිත් සතුටට පත් කළා.
  • “එහෙමයි අපේ නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේගෙ ඉල්ලීම මෙවර වෙසක් පොහොයදා අපි දෙදෙනාම ඉෂ්ට සිද්ධ කරනවා. ඒක අනික් අයටත් ආදර්ශයක් වන අයුරින්ම අටසිල් සමාදන් වෙනවා” යි එවර ඔහු කීවා
  • “හොඳයි. බොහෝම හොඳයි. අපි කරන කටයුතුවලින් අනෙක් සත්ජනයන්ටත් ආදර්ශයක් වෙනවා නම් ඒක තවත් මහා පින්කමක් වෙනවා.
  • කවර කටයුතු කොහොම වෙතත් ඔබතුමා මුල්වෙලා දැනට අවුරුදු විසි ගණනකට ඉස්සර වෙලා කරපු පානදුරේ මහා ආගම් වාදය බෞද්ධාගම පිළිබඳව ලෝක ප්‍රසිද්ධියක් ඇති කරවන්නට සමත් වුණා. එයින් සිදු කෙරුණු ප්‍රධානතම බෞද්ධාගමික දායාදය තමා අපේ ඉදිරි පරපුරේ දූදරුවන්ට ක්‍රමවත් බෞද්ධ අධ්‍යාපනයක් ලබා දෙන්නට හැකිවූ එක.
  • සෙන්පති ඕල්කොට්තුමා අපේ රටට පැමිණ සිදුකළ මහා විප්ලවය සිදු කරන්නට ප්‍රධාන වශයෙන්ම මුල් වුණේ ඔබතුමා කියන කාරණය. අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවිලා ඉවරයි. ඒක සුළු පටු කාරණයක් නොවෙයි. මහාර්ඝ වූ ජාතික ශාසනික කටයුත්තක්. අපේ රට ජාතිය බෞද්ධාගම තිබෙන තාක් කල් එම කටයුත්ත නිසා ඔබතුමාගේත් ඔබතුමාගේ පරපුරේ නාමයත් ඉහලින්ම කියැවෙනවා. ලියැවෙනවා. එහෙම නම් මෙම වෙසක් පොහොයට දෙදෙනාම පන්සලේ අටසිල් සමාදන් වෙන්න. මගේ ආශිර්වාදය හිමිවෙනවා”යි නාහිමියෝ වදාළා.
  • එදායින් පසු ජෙරමියස් දියෙස් රේන්ද මහත්මයා හැසිරුණේ අමුතුවෙන්ම ආත්මයක් ලබලා වගේ . ස්වභාවයෙන්ම සැර පරුෂ අයකු වූ ඔහු ඉන්පසුව තම පවුලට පවුලේ දූ දරුවන්ට මෙන්ම සේවක සේවිකාවනට තම ව්‍යාපාරයේ නියුතු අයට විශේෂ ආදරයක් කරුණාවක් දැක්වුවා. වෙනදාටත් වඩා පිනට දහමට සමාජ සේවයට ඇප කැපවූවකු වුණා.
  • වෙසක් මාසයේ මුල සතියේ දවසක තමන්ගේ කටයුතු කලින්ම නිමවා දහවල් කෑමට ගෙදර ආ ජෙරමියස් දියෙස් රේන්ද මහත්මයා කෑමෙන් පසුව තම මැතිනිය සෙලෙස්තිනා රුද්‍රිගු ජෙරමියස් දියෙස් මාතාවට මෙහෙම කීවා.
  • “නායක හාමුදුරුවො කීවා වගේම අපි දෙදෙනාම වෙසක් දවසේ උදේම පන්සලට ගිහින් අටසිල් සමාදන් වෙමු. අපේ දරුවනට අපිට දහවල් දානෙ සකස් කරලා පන්සලට ගෙනෙන්න කියමු. ඒ ගමන්ම මම තවත් එක් කාරණයක් ගැන හිතුවා. ඒ නම් අපි දෙදෙනාට වගේම සිල් අරගෙන සිටින අනෙක් අයටත් දානෙ දෙන්න කටයුතු යොදමු.
  • ඒ වගේම පන්සල ඉදිරියේ මඩුවක් ගහලා පන්සලට එන දුගී මගි යාචකාදීන්ටත් ලැබෙනවා. එසේ දානෙ දෙන්නත් කටයුතු යොදමු. ඒ කතාව කාට කාටත් වෙසක් දවසේ කාබී සතුටු විය හැකියි යනුවෙන් පියාණන් කියා සිටි විට එය අසා සිටි දූ දරුවන්ට සතුටක් ඇතිවුණේ මෙසේ වූ වෙනස කාට කාටත් හොඳහිත පැතිරවීමටද හේතුවක් වූ නිසාමය.
  • මෙසේ පානදුරේ රන්කොත් විහාරයේ වෙසක්දා මහා දන්සලක්ද දෙන බව ප්‍රචාරය වූ හෙයින් අහළ පහළ විහාරස්ථානවල නාහිමිවරුන් මෙන්ම දායකයන් තුළ ද අමුතුම හැඟීමක්.ඉතිං වෙසක් පොහෝදා ජෙරමියෙස් යුවලගේ අටසිල් සමාදන් වීමත් දුගී මගි යාචකාදීන්ටත් විහාරස්ථානයට වන්දනාමාන උදෙසා පැමිණෙන්නටත් ඇරුණු වෙසක් දන්සලත් කාගේත් කතාබහට ලක්වූයේය. වැඩි දෙනකු ඒ දැක ශ්‍රද්ධාව වඩා ගත්තා. තව තවත් පින්දහම් කෙරෙහි සිත් ඇතිවුණා. රන්කොත් විහාරය ඉදිරිපිට පාර අයිනේ ඉදි කරන ලද වෙසක් දන්සල ගොක්කොළවලින් ද එයින්ම සාදන ලද පහන් කූඩුවලින්ද අලංකාර ව පැවතුනා.
  • එදා ක්‍රි.ව 1901 වැනි වෙසක් පසළොස්වක පොහොය දිනයයි. තමන්ගේ දෙමාපියන් පන්සලේ අටසිල්ගෙන බණ භාවනාවලට යොමු වෙමින් සිටියදී පෙරදි කතාබහ කර ගත්තා සේම ඔවුනගේ දූ පුතුන් සියලු දෙනාම අටසිල්ගත් අනෙක් උපාසක උපාසිකාවන්ගේ කටයුතු මෙන්ම එදින වන්දනාමානයට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් ද තම යුතුකම් මනාව ඉටු කරන්නට යුහුසුළු වුණා. ඒ සමඟම ප්‍රථම වරට වන්දනාකාර දුගී මගී යාචකාදීන් වෙනුවෙන් ඇති කරන ලද වෙසක් දන්සලේදී ඔවුන්ට සිතුසේ කෑමට බීමට සැලැස්සීම ගැනද ඔවුන් කටයුතු කළා.පියා විසින් කලින්ම දූ දරුවන්ගෙන් ඉල්ලා සිටි පරිදිම එසේ කෑමෙන් බිමෙන් සංග්‍රහ ලද දුගී මගි යාචකාදීන් වෙනුවෙන් සතපනහ බැගින් මුදලක්ද බෙදාදීමට කටයුතු කළා. එයද ඔවුනට අතිශය සතුටට හේතුවක් වූයේ එකල සත පනහකින් පවුලකට දින ගණනාවක් ගත කිරීමටද හැකියාව තිබුණු නිසා.
  • පානදුරේ ජෙරමියෙස් දියෙස් යුවල විසින් මෙසේ දෙන ලද වෙසක් දන්සල ඉන්පසු සෑම වෙසක් පොහොයක් පාසාම එසේ පවත්වාගෙන යන්නටද තීරණය කළා. මෙම වෙසක් දන්සල පිළිබඳව ඇසූ දුටු අනෙක් පළාත්වල පන්සල්වල දායක දායිකාවෝද තම තමන්ගේ ප්‍රදේශවල විහාරස්ථානවල මෙවන් වෙසක් දන්සල් පැවැත්විමටද තිරණය කළා. එය පහනින් පහන දැල්වෙනවා මෙන් පසු කලෙක වසරක් වසරක් පාහේ දිගින් දිගටම ගොස් මුළු රටේම නොයෙකුත් ප්‍රදේශවල වෙසක් දන්සල් පැවැත්වීමේ සාමුහික කටයුත්තක් බවටද පත්වුණා.එය සෙන්පති ඕල්කොට්තුමාගේ ලංකාවතරණයත් හා සමගම ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ පශ්චාත් ඵලයක් ලෙසින් සැලකිය හැකිය. වෙසක් දන්සල් පමණක් නොව විශේෂයෙන්ම අනුරාධපුරයේ “පොසොන් දන්සල්ද” බිහි වූයේ පසුකලෙක මෙය මූලාශ්‍ර කරගෙනය.
  • ඉතිං මේ උතුම් ගුණැති ජෙරමියෙස් දියෙස් මැතිතුමෝ ඉන්පසුව වසරේ 1902 මාර්තු 24 වැනිදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා. මේ වනවිට දියෙස් පවුලට රේන්ද ව්‍යාපාරය ඇතුළු ඉඩම් වශයෙන් වතු 181ක් අයිතිව පැවතුන අතර එම බූදලය ගැන ජෙමියෙස් දියෙස් මහතා ජීවතුන් අතර සිටියදිම වර්ෂ 1900 මාර්තු 13 වැනිදා ලියන ලද ඔප්පුවකින් දෙදෙනාම අත්සන් කර තමන්ගෙන් කෙනකු කලින් මියගියහොත් අනිත් අයට සියලුම බූදලයට අයිතිවන ලෙස වගන්තියක් ඇතුළත් කර ඔප්පුවකින් අන්තිම කැමැති පත්‍රයක් ලියා තිබුණා.ඒ අනුව සිය ස්වාමියාගේ මරණයෙන් පසුව ජෙරමියෙස් දියෙස් සෙලෙස්තිනා රුද්‍රිගු මැතිනියට එම මුළු බූදලයම හිමිවිය. මෙසේ කලින්ම ලියා අත්සන් කර තිබූ හෙයින් කිසි බූදල් නඩුවකින් තොරවම හිමිකම රැකිණ. පියාණන් ජීවතුන් අතර සිටියදි වුවද මෙවන්වූ මත්පැන් ව්‍යාපාරයට ආතර් වින්සන්ට් දියෙස් පුතා එතරම් සහයෝගයක් දුන්නේ නැත.
  • පියා සමගත් එම ව්‍යාපාර කටයුතුවල වැඩිපුර නිරත වූයේ එඞ්මන්ඞ් විල්සන් පුතාය. සිය ස්වාමියාගේ මරණයෙන් පසුව සියලු ව්‍යාපාර තමතට ගැනීමෙන් පසුව වසර දෙකකින් හදිසියේ ඇතිවූ රෝගයකින් එඞ්මන් විල්සන් පුතා අභාවයට පත් විමෙන් අනතුරුව අම්මා මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම පිළිබඳව පසුතැවිල්ලකට පසුවූවා.
  • තම පුත් ආතර් වී. දියෙස් අමතා ඇය කියා සිටියේ “පුතා අපි ටිකෙන් ටික මේ ව්‍යාපාරය අත්හැරලා දමමු. අත්හැරලා දමලා එහි නියුතු අයට වැවිලි හා වෙනත් රැකී රක්ෂාවල නිරත වන්නට මග පාදා දෙමු. අවශ්‍ය අයට අපේ ඉඩකඩම්ද ලබාදෙමු” කියලා.“ඔව් මගේ අම්මා. ඒක වඩාත් හොඳයි. අපේ තාත්තා මෙහෙම මත්පැන් ව්‍යාපාරයෙන් හරි හම්බ කළ ධනය අපි මත්පැන් රටෙන්ම නැති කරන්නට වියදම් කරමු” යැයි ඔහු එවේලේ කියා සිටියා.
  • පසුව එය එසේම සිදු කළා. එම දානපති අම්මාත්, ආතර් පුතාත් එකතුව තම ධනය එකල මහා බෞද්ධ විදුහල් බවට පත්ව තිබූ මරදානේ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද ආදි විදුහල්වල දියුණුව පිණිසත් ප්‍රදේශයේ විහාරස්ථාන දියුණුව පිණිසත් වියදම් කළාමෙතෙක් කල් ලංකාවේ ධනවත්ම කාන්තාව වශයෙන් පානදුරේ රේන්ද නෝනා නමින් ප්‍රකටව සිටි සෙලෙස්තිනා රුද්‍රිගු ජෙරමියෙස් දියෙස් මැතිනිය පසුකලෙක පානදුරේ විශාඛාව කියලා හැඳින්වූවා.
  • එතුමිය 1917 දි කොළඹ නගර සභාව අසල ආරම්භ කරන ලද කොළඹ බෞද්ධ කාන්තා මහා විද්‍යාලය පසුකලෙක 1927 දී එවකට සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරතුමා සහ ආර්යාව අතින් විවෘත කෙරුණේ බම්බලපිටියේ “විශාඛා විද්‍යාලය” ලෙස.