Hela Rahas

Hela Rahas Official Web Portal

යුදගණාව දාගැබ හා කඩොල් ඇතාගේ ඉතිහාස කතාව

  • ඉස්සර පැවති යුධ සටන්වල ඇත්, අස්, රිය, පාබළ යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවයි. ඒ අතර සිටිය අදටත් කවුරුත් කතාකරන ඇතා තමා දුටුගැමුණු රජතුමාගේ මංගල හස්තියා වෙන කඩොල් ඇතා. වංශකතා සාහිත්‍යය අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්තියා. මහාවංශයේ එන පරිදි,
  • කණ්ඩුල ඇතු හමුවූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කළපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලා ගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාද වල සඳහන්. එසේම ඇත්පැටවා අල්වා ගැනීමට හැකිවුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදිකළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේ ද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මගින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවුරු වෙනවා.
  • එළාර රජු සමග යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක්වූ ගැමුණු කුමරු රජ මාළිගයෙන් නික්මී මාගම් පුරවරයේ රැඳී සිටිමින් එළාර රජුගෙන් රට මුදවා ගැනීමට සේනා රැස් කළ බව අපි අසා ඇත. මෙම කාලයේ සහෝදර තිස්ස කුමරු තම පිය රජුගේ ඇවෑමෙන් පසු කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි වූ අතර තම සොයුරාට බියෙන් තම මෑණියන් හා කඩොල් ඇතු ද රැගෙන දිගා වැවට ගොස් ඇත. ගැමුණු කුමාරයා කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහෝදරයාට හසුන් යැවුව ද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹිණි.
  • වර්තමාන යුධගනාව දැගැබ අසල දී සිදුවූ මෙම සහොදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පැමිණෙන ලදී. එහිදී තිස්ස කුමරු පැරදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කිරීමත් සමග ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතිත්වය හිමිවුන බව කියනවා. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින් වේ.
  • දුටුගැමුණු රජු සමඟ සටන් බිමට ගිය කඩොල් ඇතා රජුට සෑම වෙලාවේම තමන්ගෙ සේවය ලබා දුන්නා. අවසානයේ රට එක්සේසත් කළ දුටුගැමුණු රජුගේ මරණයෙන් පසු තම ස්වාමියාගෙ වියෝවෙන් කම්පා වුනු කඩොල් ඇතා රෝගාතුර වුනා.
  • මේ පිළිබඳව කම්පා වූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට ඇතාව රැගෙන යන ලදී. මෙසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුර වූ කඩොල් ඇතු යුධගනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මිය ගොස් ඇතිබව කියනවා. කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැඬිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති අතර එහි දී වෙන්කරගත් දළ යුගලය කතරගම දේවාලයට පූජා කර ඇති බව කියයි.
  • කතරගම දේවාලය ඉතිහාසය අනුව පැහැදිලි වෙන්නෙගැමුණු කුමරු කතරගම දෙවියන් සමග පැවැගි දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගළ සද්ධාතිස්ස රජු දේවාලයට පූජාකරන්නා ඇති බවය. ඌව වෙල්ලස්ස කැරැල්ල සමයේ දී මෙම දළ යුගළ දේවාලයෙන් ගෙනගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවට ද මත තිබේ. වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගළට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගළ ප්‍රමාණයෙන් විශාල බව පෙනේ.
  • එසේම වර්තමානයේ ඒවා මඳක් අවපැහැ ගැන්වී ඇත. ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගළ තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවයි. මේ කඩොල් ඇතාගේ ඇත් දළ යුගළ වසරක් පාසා කතරගම පෙරහැර මංගල්‍ය පවත්වන අවස්ථාවේ දී දැකබලා ගන්න පුළුවන්.
  • ඉතිං අද කඩොල් ඇතු මිහිදන් කළ ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති අතර එම ස්ථානය පිළිබඳව ජනප්‍රවාදයේ පවතින මතයක් වන්නේ එම භූමියේ අදට ද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවන බව.