Hela Rahas

Hela Rahas Official Web Portal

සක්දෙව් රජු පිහිට ලැබූ ලංකාවේ හරිතාලතිස්සගේ කතාව

  • බොහොම අතීතයේ අනුරාධපුරයේ බටහිර දෙසට වෙන්න භුමංගණ කියලා ගමක් තිබුණා. ඒ ගමේ බැල මෙහෙ කරන එක පවුලක් සිටියා. ඒ පවුලේ සිටියෙ අම්මා, තාත්තා හා පුතාලා හත් දෙනෙක්. මේ පුතාලා හත් දෙනා ඉතාම ශක්තිමත් හැඩි දැඩි පුද්ගලයෝ.
  • ඒත් බාලම පුතා තිස්ස හැඩිදැඩි වුනත් වැඩපොල කරන්න කම්මැලී. මේ ගැන වැඩිමහල් සහෝදරයො තමන්ගෙ අම්මාට පැමිණිලි කළා. අම්මා කීවේ තිස්ස තවම පොඩි නිසා සෙල්ලමට ලැදි බව.
  • කොහොමහරි තිස්සට අවුරුදු 16 ක් වුනා. එවිට තිස්සව විවාහ කර දුන්නා. ඔහුගෙ බිරිඳ සුමනා. විවාහයෙන් පස්සෙ තිස්සගෙ අම්මා සුමනාට ද්‍රව්‍ය 5 ක් දුන්නා. ඒ තමා හාල් නැලියක්, වංගෙඩියක්, මෝල්ගහක්, පියන සහිත කලයක්, බත් කන භාජනයක්. මේවා දීලා ඔවුන් දෙන්නව වෙනම ගෙදරකට පිට කළා.
  • සුමනා ඒවාද ගෙන ගිහින් ගෙදර අඬන්න ගත්තා. ඇය අඬනවා ඇහුන තිස්ස ඇවිත් හේතුව ඇසුවා. ඇය සිදුවුණු දෙය කීවා. “මා වැනි පුරුෂයෙක් සිටිද්දි ඇයි ඔබ අඩන්නෙ? පුරුෂ වීර්ය කොට මා ඔබේ මනදොල පුරවන්නම්” තිස්ස කීවා.
  • ” සුමනාවනි, සහල් නැලිය දෙකට බෙදා එක කොටසක් හෙට භික්ෂූන් සඳහා දානය දෙන්න සූදානම් කරන්න, ඉතිරි කොටස අපට අනුභවයට තබා ගන්න” තිස්ස සුමනාට පැවසුවා. පසුදා උදේ පන්සලට ගොස් දහවල් දානය සඳහා භික්‍ෂූන් නමක් ලබා දෙන ලෙස ආරාධනා කළා. ඒ සඳහා සාමණේර නමක් වැඩම වූවා. සාමණේර හිමිද තිස්සගෙ ප්‍රණීත දානය ලබා ගත හැකි කියා ටිකක් කලියෙන්ම නිවසට වැඩියා.
  • දානයට තිබුනේ බත් සමඟ ලුණුවිල කොළ. එය දුටු සාමණේර හිමි නොසතුටුව ආසනශාලාවට වැඩියා. අනික් සාමණේර හිමිවරු සමඟ දානය බලලා තිස්සට නමක් පටබැන්ඳා. ඒ ලෝණකතිස්ස කියලා. සුමනා බලන් ඉදිද්දිම සාමණේර හිමි අර දන් ටික අසුන් හලේ ගරාදි වැටෙන් එලියට දැම්මා.
  • මේ දේවලින් හිත රිදුනු සුමනා අඩමින් ගෙදර ගියා. එය දුටුව තිස්ස හේතුව දැනගෙන ” ආචාර්යයාණන් වහන්සේ මට තැබුව නම අපූරුයි. දිනෙක ඒ නම මුලු දිවයිනේම පැතිරෙයි” කියා පසුදා උදේම දෑකැත්තක් ගෙන මිනිසුන්ගෙ ගොයම් කපන්න ගියා. මධ්‍යනය වෙන විටම තිස්සට වී අමුණක්ම ලැබුණා. එය ගෙදර ගෙන ගොස් සුමනාට කීවේ මේවා දී කිරි, ගිතෙල්, හකුරු ආදිය ගෙන ඉතා ප්‍රණීත දානයක් හදන්න කටයුතු කරන්න කියලා. ඉතිං හවස් වෙද්දිත් තිස්සට තවත් වී අමුණක්ම ගන්න පුළුවන් වුණා.
  • මේ විදියට හැමදාම ඔහුට වැඩ ලැබුණ අතර එයින් විශාල ධනස්කන්ධයක් රැස් කරගන්න තිස්සට පුළුවන් වුණා. ඒ ධනය වියදම් කර ඔවුන් දවසින් දවස විශාල භික්ෂූන් වහන්සේලා පිරිසකට දන් දුන්නා. අවුරුදු තුනක් විතර යද්දි එකවර භික්ෂූන් වහන්සේලා දහස් නමකට විතර දන් දෙන්න පුළුවන් වුනා. මේ නිසා මුළු රටේම ඔහු ප්‍රසිද්ධ වුනා.
  • ඉතිං මීට වඩා භික්ෂූන් පිරිසකට දන් දෙන්න තිස්සට වුවමනා වුනා. ඒ නිසා භික්ෂූන් වහන්සේ වෙත ගිහිං ඇසුවා මීට වඩා පිරිසකට දන් පූජා කරන්න තැනක් නැතිද කියලා. ස්වාමින්වහන්සේ කීවේ නාගදීපයෙ පරිභොග චෛත්‍යයන් වඳින්න දසදහස් ගණන් භික්ෂූන් වඩින බව. ඉතිං තිස්ස නාගදීපයෙ හරිතාල ගමට ගිහින් දන් දෙන්න පටන් ගත්තා. දහස් ගණන් භික්ෂූන්ට තිස්ස එහිදි දන් දුන්නා. මේ නිසා තිස්ස හරිතාලතිස්ස කියල ප්‍රසිද්ධ වුණා.
  • මේ අතර දවසක් නාගදීපයට වැඩිය භික්ෂූන් වහන්සේලා 900 කට හරිතාලතිස්ස දන් දුන්නා. එහි සිටිය භික්ෂූන් වහන්සෙ දෙනමක් මෙහෙම කතා වුනා. එක හිමිනමක් කීවා දඹදිව තමා හොඳට දන්පැන් දෙන මිනිස්සු වැඩිපුර ඉන්නෙ කියා. අනික් භික්ෂුව කීවා මෙරට තමා ඉන්නෙ කියලා.මෙහෙම කතා වුන දෙනම එය බලන්න දඹදිව හොඳ බව කී භික්ෂුව දඹදිවටද අනිත් භික්ෂුව ලංකාවෙ ගමකටද වැඩියා.
  • ලංකාවට ගිට භික්ෂූන් වහන්සෙ වැඩියෙ අර තිස්සගෙ ගෙදරට. සුමනා තල, හකුරු, ගිතෙල් දමා ඉතා ප්‍රණීත දානයක් සකස් කර භික්ෂූන් වහන්සේට පූජා කළා. භික්ෂූන් වහන්සේ කීවේ “සුමනා උපාසිකාවනි මේ පාත්‍රය අහසට විසි කරන්න, එය යන තැනට මා වඩින්නම්” කියලා. ස්වාමින්වහන්ස මට එවැනි බලයක් නෑනෙ කියලා සුමනා කීවා.
  • පාත්‍රය රැගත් භික්ෂූන් වහන්සේ අහසින් තමන්ගෙ විහාරය වෙත වැඩ එහි භික්ෂූන් වහන්සේලාට දානය ලබා දුන්නා. කොපමණ පිරිසකට දුන්නත් ඒ දානය ඉවර වුනේ නෑ. භික්ෂූන් දානය වළඳා පාත්‍රය සේදූ පසු දඹදිවට වැඩිය භික්ෂුව පැමිණියා.දානය නිසා හරිතාලතිස්ස ගැන ස්වාමින්වහන්සේලා බොහෝ කතා කළා. ඒ අවස්ථාවෙ ලෝකපාල දෙවිවරු හතර දෙනා විත් මේ ගැන රන්පත් වල ලියාගෙන ගොස් තව්තිසාවේ සුදර්ම සභාවේ කියෙව්වා.
  • ඒ ගැන ඇසුව සක්‍රයා හරිතාලතිස්සගෙ ශ්‍රද්ධාව පරික්ෂා කරන්න සිතුවා. භික්ෂු වෙසක් ගත්ත සක්‍රයා හරිතාලතිස්සගෙ නිවසට ආවා. සක්‍ර දෙවියො පැමිණ කීවේ තිස්ස මට මේ ගඟෙන් එගොඩට ගොස් අනුරාධපුරයට වැඩ චෛත්‍ය වඳින්න යන්න අවශ්‍යයි. මාව එගොඩ කරනවාද කියලා.
  • බොහොම කැමැත්තෙන් එය කරන්න පිට වුන හරිතාලතිස්ස සක්‍රයා සමඟ තොටුපළට ආවා. තොටුපළෙදි සක්‍රයා මෙසේ පැවසුවා,
  • “තිස්ස මගේ අදනකඩය ඔබ නිවසේ අමතක වූවා, එවිට දෙදෙනාම හැරී ගොස් එය ගෙනාව, පසුව තිස්ස මගේ සැරයටිය ඔබ නිවසේ අමතක වූවා,
  • එවිට දෙදෙනාම හැරී ගොස් එය ගෙනාව, තිස්ස මගේ තෙල් බෝතලය ඔබ නිවසේ අමතක වූවා,එවිට දෙදෙනාම හැරී ගොස් එය ගෙනාවා, නැවතත් තිස්ස මාගේ බඳ පටිය ඔබ නිවසේ අමතක වූවා, එවිට දෙදෙනාම හැරී ගොස් එය ගෙනාවා.
  • ඉන් පසුව සක්‍ර දෙවියො තමන්ගෙ නියම ස්වරූපයට ඇවිත්, ” තිස්ස මුළු රෑම එහෙට මෙහෙට ගොස් ඔබ විසින් දුෂ්කර දෙයක් කර පෙන්වූවා. මා මෙහි පැමිණියෙ නුඹ නියම ශ්‍රද්ධා දායකයෙක්දැයි පරීක්ෂා කරන්න” බව පැවසුවා.
  • එය මට අපහසු කාර්යයක නොවේ ස්වාමිනි, මාගේ සුමනා දිය බඳුන රැගෙන එය අත් නොහැර මුළු රැයම සිට මට සහය දීමෙන් අපහසුම කාර්ය ඉටු කළා කියලා තිස්ස කීවා. එවැනි භාර්යාවක් ලැබීමද තිස්සගේ පින බවත් එය දෙවදෙවගනක් දෙවඟනක්ගෙ සංවාසය බව සක්‍රයා පවසා තව්තිසාවට ගියා. මරණින් පසු තිස්සද තුසිත පුරයෙන් ආ රථයක නැග දෙව් ලොවට ගියා.