Hela Rahas

Hela Rahas Official Web Portal

දෙවියන් පවා උපකාර කළ චූළසීව ස්ථවිරයන් වහන්සේගේ කතාව

  • බුදු සසුන ආරක්ෂා කරන්න කැප වුන භික්ෂූන් වහන්සේලාට දෙවිවරු උදව් උපකාර කරපු අවස්ථා ගොඩක් තියෙනවා. භික්‍ෂූන් හැටනමක් විතර ලංකාවේ නැවතී දකුණු, මලය ජනපදයට වැඩ අල, කොළ, මුල් වළඳමින් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළහ.එහෙම මෙරට නැවතී ධර්මය ආරක්ෂා කළ හිමි නමක් තමා සංයුත්තභාණක චූළසීව ස්ථවිරයන් වහන්සේ කියන්නෙ. ඉසිදත්ත හා මහාසෝණ කියන දෙනමද මේ චූළසීව ස්ථවිරයෝ සමඟ වැඩ සිටි ස්ථවිරයන් දෙනමක්.
  • චූළසීව ස්ථවිරයෝ ගිහි කළ තමන්ගෙ සොහොයුරා ද සමඟ ධනය රැස් කළා. ඒ අතර සොහොයුරා රෝගයකින් අකාලයේ මිය ගියා. එයින් සංවේගයට පත් වුන උන්වහන්සේ ගිහිගෙය හැරදමා ගොස් පැවිදි වෙලා මෛත්‍රී විහරණයෙන් වැඩවාසය කළා.ඒ අතර සොහොයුරාගේ බිරිඳ අන්පුරුෂයකු හා ගියා. ඒත් අර ධනය නිසා දෙදෙනාටම අයිති නිසා චූළසීව ස්ථවිරයෝ ජීවත්ව සිටින බැවින් තෙරුන් වහන්සේ මරන්නට උපායක් යෙදෙව්වා.
  • ඇය විෂ යෙදූ පිණ්ඩපාත දානයක් පිළියෙළකර චූළසීව ස්ථවිරයෝ ට පිළිගැනුනුවා. උන්වහන්සේ මෛත්‍රී විහරණයෙන් විසූ බැවින් ඒ විෂ සහිත ආහාරයෙන් කිසිදු අනතුරක් නොවූ බව කියනවා.ඒ කාලයේ බැමිණිතියා මහා සාගතය තිබුණ කාලයයි. ඉතිං සංඝස්ථවිර වුන චූළසීව ස්ථවිරයෝ ඉසිදත්ත තෙරුන්ට මෙසේ අවවාද කළහ.
  • “ඇවැත්නි, ඉසිදත්තයෙනි, අනාගතයේ මහාසෝණ ස්ථවිරයන් නිසාවෙන් ශාසනප්‍රවේණිය පවත්නේය. උන්වහන්සේ අතින් අතුරුදන් වීමට නොදී රැකගනු”
  • “ස්වාමීනි, නුඹ වහන්සේ කොහි වඩිනසේක් ද?” ඉසිදත්ත තෙරුන් ඇසූහ.
  • “මම මහසෑය වඳින්නට යමි”එසේ පවසා චූළසීව ස්ථවිරයෝ අනුරාධපුරය බලා වැඩම කළහ.
  • උන්වහන්සේ අනුපිළිවෙළින් චාරිකාවේ හැසිර මහාවිහාරයට වැඩියා. එ් කාලේ මහාවිහාරය භික්‍ෂූන් වැඩ සිට නෑ. මහසෑ මළුවේ එරඬුගස් වැවී තිබී ඇත. රුවන්වැලි සෑයද ගස් වලින් වැසී, දිය සෙවළින් වෙළී තිබුණ බව කියනවා. ස්ථවිරයෝ මහසෑය වැඳ බටහිර දිශාවේ තිබූ ශාලාවට පිවිස සෑය දෙස බලමින් ‘මෙබඳු ලාභයෙන් අගතැන්පත්, යසසින් අගතැන්පත් ශාරීරිකධාතු චෛත්‍යස්ථානය ද අනාථ වීයැ’ යි එහි අනිත්‍යත්වය මෙනෙහි කරමින් වැඩහුන්හ.
  • පසුව උන්වහන්සේ එයින් පිටත්ව වැඩියහ. ඒ යන මඟ ඒ ළඟ වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවෙක් සිටියා.එතුමා පාරෙ යන මිනිසෙකුගේ වෙසක් මවාගෙන සහල් නැළියක් ද, සකුරු පිඬක් ද ගෙන ස්ථවිරයන් වහන්සේ ළඟට පැමිණ,
  • “ස්වාමිනි, කොහි වඩින්නේ දැ”යි ඇසුවා.
  • “උපාසකය, මම දකුණුදිග බලා යන්නෙමි”
  • “ස්වාමිනි, මම ද දකුණුදිග බලා ම යනු කැමැත්තෙමි. මා සමඟ එක්ව වඩිමු”
  • “උපාසකය, මම දුර්වලයි. නුඹේ ගමනින් යාමට නොහැකි යි. නුඹ ඉදිරියෙන් යව”යි කීහ.
  • “මම ද නුඹවහන්සේගේ ගමනින් යන්නෙමි”යි ඒ උපාසකවෙසින් සිටි දේවතාවා තෙරුන්වහන්සේගේ පාසිවුරු ගත්තා.
  • එතුමා තිසාවැව් ඉවුරට ගොස් තෙරුන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලාගෙන පානයක් පිළියෙළකර පූජා කළා. එය පානය කළ පසු තෙරුන්වහන්සේගේ කායබලය සෙමින් වරඩුනා.පසුව රාත්‍රිය වැඩ සිටින්න දේවතාව පොළොව හකුළුවා වේණු ගඟ අසබඩ භික්‍ෂූන් නොමැති විහාරයකට පැමිණ තෙරුන් වහන්සේට තැනක් පිළියෙළ කර දුන්නා.ඊළඟ දවසේ තෙරුන් වහන්සේ මුව දෝවනය කළ සැනින් ම කැඳක් පිස පූජා කර පසුව කැඳ වළඳා අහවර කළ උන්වහන්සේට බතක් පිස දුන්නා.
  • චූළසීව ස්ථවිරයෝ “උපාසකය, නුඹ පිණිස තබාගනුව” යැයි පාත්‍රය අතින් වැසූහ.“ස්වාමිනි, මම එතරම් ඈතක නොයන්නෙමි”යි කියලා ඒ දේවතාව තෙරුන් වහන්සේගේම පාත්‍රයේ ඒ සියලු බත බහා තැබුවා. තෙරුන් වහන්සේ වළඳා අවසන් වුනාට පසුව පාසිවුරු ගෙන මඟට පිළිපන්නා.
  • පොළොව හකුළුවා දැදුරුඔය අසබඩට වඩම්මවා,“ස්වාමිනි, මෙතැන කොළ කා ජීවත්වන මිනිසුන් සිටිනා තැනකි. දුමක් පෙනේ. මම ඉදිරියෙන් යන්නෙමි” යි තෙරුන් වහස්සේ වැඳ පාසිවුරු දී ස්වකීය භවනටම ගියා.ඒ චූළසීව ස්ථවිරයෝ බැමිණිතියාසාය කාලය මුළුල්ලේ ම ඒ කොළ කා දිවි ගෙවූ මිනිසුන් ඇසුරුකරගෙන විසූ බව සඳහන්.