Hela Rahas

Hela Rahas Official Web Portal

දෙවියන්ට භාරහාර වෙද්දි පහනක් තියන නිවැරදි ක්‍රමය දැන ගනිමු

  • දෙවියන්ට භාර හාර වීමට පහන් දල්වන විට දැනගෙන සිටිය යුතු කරුණු ටිකක් තියෙනවා. බොහෝ දෙනා මේ කරුණු ගැන නොදන්නවා වෙන්නත් පුළුවන් දෙවියන්ට පුද පූජා තබන විටදී අදාළ භූමිය ද කිලි කුණුවලින් තොරව තබා ගැනීමට වගබලා ගත යුතු වෙනවා. එමෙන්ම තේවා කටයුතුවල දී තමන් ද පිරිසිදු වීම ඉතා වැදගත්. කිලි කුණු යනු අපවිත්‍ර වීමයි.
  • ඇතැම් පුද්ගලයින් මස්, මාළු පිනි කා බී පහන් තබන විට දිය නා ශරීරය පිරිසිදු කර එම වතාවත් සිදු කරනු ලබයි. මෙය වැරදි බව කියනවා. මස් මාංශ ආහාරයට ගත්විට ඒවා එම දවසේ අප කුසේ පවතිනවා. දෙවියන්ට පහන් තබන විට දී බඩේ ඇති මෙම මස් මාංශ දුගඳ හමමින් මුඛයෙන් පිටවී දෙවි පහන තබන ස්ථානය අපිරිසිදු වේ.දවස පුරා මස් මාංශයෙන් තොරව පහන් තැබීමෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියනවා. පහන් තබන බැතිමතුන් නොගත යුතු ආහාර විදියට කුකුළු මස්, ඌරු මස්, හරක් මස්, මෝර මාළු, මොනර මස්, කෙරලි මාළු, වඳුරු මස්, රතු පලා, අළුකිතල, කංකුං ආදිය දක්වනවා.
  • ඒ වගේම කොටහළු කිල්ල, මරණ කිල්ල, දරු කිල්ල ආදි කිලි ඇති විට පහන් දැල්වීම නොකළ යුතුයි. එනම් දැරියක් වැඩිවියට පත්වන නිවසක ඇතිවන කිල්ල මාස 03 ක් දක්වා පවතින බැවින් මෙම කාලය තුළදී දෙවියන්ට පහන් තැබීම සිදු නොකළ යුතුයි. තුන් මසක් ගෙවුණු පසු ගෙදර දොර පිරිසිදු කර නැවත පහන් තැබීම වැදගත් වේ. පවුලට අයත් ලේ ඥාතියෙකු මියගිය විටද කිල්ලක් ලෙස හැඳින්වේ. එබැවින් තුන් මාසයක් යන තෙක් දෙවියන්ට පහන් තැබීම, දේවාල භූමි වෙත ගමන් කිරීම සුදුසු නෑ. පහන් තබන නිවසේ දරුවකු ලැබුණු විට එයද කිලි ගණයට අයත් වේ. ඒ නිසා අඩුම තරමේ තුන් මාසයක් යන තෙක් නිවසේ හෝ දේවාලයේ පහන් තැබීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.
  • දෙවියන්ට පහන් තියද්දි විට මත්පැන් පානය කිරීම, වැසිකිළි හා කුණු ගොඩවල් අපවිත්‍ර ස්ථාන අත් ආවරණයකින් තොරව අතපත ගෑම, වනා ඇති රෙදි වැල් යටින් යෑම, අනුන් කන ලද ඉඳුල් කෑම පිඟානේ කෑම, , අනුන් අඳින ලද ඇඳුම් ඇඳීම, අනුන් නිදාගත් කොට්ට පැදුරු පාවිච්චි කිරීම, මළ ගෙදරකට ගිය විට එම නිවසින් ආහාරපාන ගැනීම, මරණයකදී දේහය තැන්පත් කරන ලද පෙට්ටියට අතගැසීම, අඹුසැමි ඇසුරින් පසු වරු තුනක් ඇතුළත පහන් තැබීම, මාස් ශුද්ධියට පත් කාන්තාවන් පහන් තැබීම යනාදි දේවල් නොකළ යුතුය.
  • ඒ වගේම අප දෙවියන්ට සුදුසු පලතුරු පූජාවක් තැබිය යුතුයි. ඒ අනුව පලතුරු පූජාවේ පලතුරු දේව පූජාවේදී වර්ගීකරණයට භාජනය වන බව මුලින්ම සිතට ගන්න. පළමුවෙන්ම සෙත් පූජාවේ පලතුරු ද දෙවනුව වස් පූජාවේ පලතුරු ද වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. මෙහිදී පලවැල පලතුරු කාණ්ඩයට කෙසේවත් ඇතුළත් නොවේ. පලතුරු යනු තුරේ පලයි හෙවත් ගහේ ගෙඩියි. එවිට වැලේ පල හෝ පඳුරේ පල පලතුරු නොවේ.
  • මෙහිදී සෙත සඳහා සෙත් පූජා පලතුරු තෝරාගත යුතුය. අවැඩ සඳහා වස් පූජා පලතුරු තෝරාගත යුතුය. පලතුරු නාමාවලියෙන් මදුලු සහිත පලතුරු පිදීම වඩා වැදගත් බවත්, නොඑසේ නම් ඒ තැන ගඩාගෙඩිවලට දීමේ වරදක් නොමැති බව ආචාර්යවරුන්ගේ නිර්දේශයයි.
  • සෙත් පූජාවේ පලතුරු-වැල, වරකා, වැලි අනෝදා, ,​ නෙල්ලි, දං, කිරල, මැංගුස්, කටු අනෝදා, බුරි අනෝදා, දූරියන්, සැපතිල්ලා, බෙලි, අඹ, දෙලුම්, රටලාවළු, ගිරිතිල්ල, පේර, වෙරළු, උගුරැස්ස, කරඹ, ජමනාරං, පැණි දොඩම්, ජම්බු, කජුපුහුලන්, වීර, පළු, මොර

සෙත් පූජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග-රත් කෙසෙල්, සීනි කෙසෙල්, සුදු කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල්, හොඬරවාළු, සුවඳැල්, ඇම්බුම්, ආනමාළු.

  • වස් පූජාවේ පලතුරු-සිදරන්, නමිනාරන්, රඹුටන්, යකිනාරං, ගල් අන්නාසි, පැපොල්, ජම්බෝල, දිවුල්, අන්නාසි, කිරිල්ල, ඇඹිල්ල, ඇඹුල් පේර, ඇඹුල් ලොවි, කාමරංගා, ඇඹුල් දොඩම්.
  • වස් පූජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග-අළු කෙසෙල් ඇට කෙසෙල්, ඇටි කෙසෙල් දේව පූජාවට අන්නාසි තැබීම නිතර සිදුවුවත් ඒ පූජාවෙන් සෙතක් නොවේ. සූනියම් කැපීමට ගන්නා ද්‍රව්‍ය අතර අහු, අන්නාසි, ජම්බෝල, සිදරන්, කාමරංගා, පුහුල් මූලිකත්වයෙන් ගැනෙන බව අමතක නොකළ යුතුය.ඒ වගේම පූජාව සෑදීමද යාග රටා ගණයට ගැනේ. පූජාව සෑදීමේදී හතර පස්දෙනකු එක් වී කතාබහ කර කර පලතුරු සේදීම, කැපීම අතරේ පලතුරු අපිරිසිදු වන බව දැනගත යුතුය. ඇසට නොපෙනෙන සෙම් සොටු බින්දු මුඛයෙන් පිටවන කෙළ බින්දු නිතරම පලතුරුවලට එක්විය හැකිය. එබැවින් පලතුරු පූජාව සකස් කිරීමේදී සුගන්ධය හමන පලතුරු හමන පලතුරු තැබීම වැදගත්.
  • පලතුරු පූජාවට අවශ්‍ය දේවල්
  • සෙත් පලතුරු වර්ග 7
  • තැඹිලි ගෙඩියක්
  • කෙසෙල් ඇවරියක්
  • පොල් ගෙඩියක්
  • උක් දඬු කැබැල්ලක්
  • කපුරු
  • හඳුන්කූරු
  • බුලත්
  • කැවිලි (අත්‍යාවශ්‍ය නොවේ)