Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ තුල්සි ශාකය සිටවා විෂ්ණු දෙවියන්ගේ පිහිට ලබන්න

ලංකාද්වීපයත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරමින් මතු බුදු බව ප්‍රාර්ථනා කරන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ප්‍රිය කරන ශාක පැළෑටියකි; තුල්සි හෙවත් මදුරුතලා. විෂ්ණු දේව පූජාවට මෙය නැතුවම බැරි පූජා ද්‍රව්‍යයකි. මෙය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද හින්දු බැතිමතුන් අතර මහත් සේ ප්‍රචලිත එසේම දේව පූජාවට මෙන්ම වන්දනාමානයට ද පාත්‍ර වූ ශාකයකි.

මෙය ප්‍රමාණයෙන් කුඩා වුව ද ශාක පත්‍ර හා කඳෙහි වර්ණය එකිනෙකට වෙනස්ය. තුල්සි හෙවත් මදුරුතලා ප්‍රසන්න සුවඳකින් යුක්තය.ශාක පත්‍ර සැපීමෙන් රසයක් ද දැනේ.දම් පැහැයට හුරු වර්ණයක් ඇති තුල්සි ‘කෘෂණ තුල්සි නමින් හඳුන්වන අතර කොළ පාටට හුරු වර්ණයක් ඇති තුල්සි ලක්ෂ්මී තුල්සි නමින් හඳුන්වනු ලබයි. හින්දු දේව සංකල්පයට අනුව පූජනීයත්වයට පත් වූ තුල්සි දම් පාටට හුරු වර්ණයෙන් යුත් ශාකය පවුලේ සමගියට, සමාදානයට හා ග්‍රහ අපල දුරු වීම සඳහා විෂ්ණු දෙවියන් උදෙසා තබනු ලබන දේව පූජාවේ දී භාවිත කරනු ලැබේ.

අනෙක් තුල්සි පැළෑටිය ධනය, සම්පත, සෞභාග්‍යය, මූල්‍යමය ප්‍රතිලාභ හා ලෞකික සැප සම්පත් ලබා ගැනීමේ අරමුණ ඇතිව තබන පූජාවේ දී යොදා ගනී. මෙම වර්ණ දෙකේම තුල්සි ශාක වන්දනා මානයට ගන්නා නිසා නිවසට අවශ්‍යම පූජා වස්තුවක් ලෙස හැඳින්විය හැක. පවුලක් ලෙස එකට එකතු වී කරන පුද පූජාවල දී මෙම තුල්සි වර්ණ දෙකම වන්දනාමානයට සිටීමට පාත්‍ර වේ.

දෙවින් ප්‍රිය කරන්නේ සුවඳටය. එසේ නම් මෙම තුල්සි ශාක පැළෑටිය නිවසේ උතුරු හෝ ඊසාන දිසාවේ රෝපණය කිරීම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. මෙමගින් පහත් ආත්ම ලෙස හඳුන්වනු ලබන යක්ෂ, භූත, ප්‍රේත, පිසාච ආදීන් තම ඉඩමේ සහ නිවසේ සැරිසැරීම වාසය කිරීම නතර වේ.

හින්දු බැතිමතුන් ඉහලින් සකස් කරන ලද ස්ථානයක තුල්සි ශාකය රෝපණය කර ඇති අතර දිනපතා උදේ සවස වන්දනාමාන ද සිදු කරනු ලබයි. එය මානසික සුවයට ද ඉතා යහපත් වේ. ආගමික වශයෙන් එම කටයුතු දියුණු කර ගැනීම සඳහා මෙම කාර්යයන් ඉවහල් වනු ඇත.අෂ්ඨඵල බෝ රුක්ෂයකට තුල්සි පත්‍ර පූජා කිරීමෙන් සෙනසුරු අපල දුරු වන බව ද පැවසේ.

එමෙන්ම වියළි තුල්සි පත්‍ර හා මල් සාම්බ්‍රොණි කුඩු සමග මිශ්‍ර කර දුම් ඇල්ලීමට ද භාවිත කෙරේ. තුල්සි හෙවත් මදුරුතලා පැළෑටියක් පෝච්චියක රෝපණය කර නිවසේ ඇතුළත ඊසාන දිසාවේ හෝ උතුරු දිසාවේ තබන්න. එවිට ධන ලක්ෂ්මි මෑණියන්ගේ ආකර්ෂණය ඔබේ නිසට ලැබෙනු ඇත. ඔබේ ගෙවත්තේ ද මෙම තුල්සි පැළෑටියක් රෝපණය කර විෂ්ණු දෙවියන් සහ ධන ලක්ෂ්මි මෑණියන්ගේ ආශිර්වාදය, පිහිට,රැකවරණය හා ආකර්ෂණය ලබා ගන්න.