Hela Rahas

Hela Rahas Official Web Portal

VOC භාණ්ඩ වල උපත

  • සමාගමකට තම සමාගමේ ලාංඡනය ගොඩක් වැදගත් වත්කමක්. ලොව සමාගම් අතර බෙහෙවින් ජනප්‍රිය හා ජනතා මතකයේ ඇති සමාගම් ලාංඡනයක් තමා ලොව පැරණිතම සමාගම් ලාංඡනයක් වෙන VOC ලාංඡනය.
  • මේ VOC ලාංඡනය ලංකාවේ විතරක් නෙමේ සමස්ථ ආසියාවේ ඕනෑම කෙනෙක්ගෙ මතකයට එන්නේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්දයේ රජුගේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව ගොඩනැගුණු “ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම” යනුවෙන් අප සිංහල බසින් හඳුන්වන සමාගම ඕලන්ද බසින් ලියන ලද්දේ Vereenigde Oost-indische Compagnie ලෙස. ඉතිං ඒ නමේ තියෙන වචනවල මුල් අකුරු තුනෙන් තමා VOC නම හැදිලා තියෙන්නෙ.
  • මේ සමාගම පටන් ගත්තෙ 1602 දී. ඒ ජපාන දේශ සීමාවේ සිට දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් දක්වා වෙළෙඳ කටයුතු සඳහා. VOC සමාගම සිය බල අධිකාරිය වඩාත් පුළුල් කරන විට එහි මූලස්ථානය බතාවියාවේ (ජකර්තා) පිහිටවූවා.බතාවියාව කේන්ද්‍ර කරගනිමින් ඒ අවට සියලු‍ රටවලට සිය බල අධිකාරිය පැතිරවූ ඕලන්ද ජාතිකයෝ තමන් විසින් පාලනය කරන ප්‍රදේශවල බලකොටු සහ කර්මාන්තශාලා ද, ඉදිකළ අතර පෙරදිග රටවල කුළුබඩු, අලි ඇතුන් හා මුතු මැණික් යුරෝපයට ගෙන ගියා.
  • 1602 දී මේ සමාගම පිහිටුවාගත් වසරේ දී ම පළමු ඕලන්ද ජාතිකයා ශ්‍රී ලංකාවට පා තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ ජොරිස් ෆන් ස්පිල්බර්ජන් ය. ඒ වෙද්දි ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල මුහුදුබඩ කලාප අල්ලාගෙන පෙරදිග වෙළෙඳ ඒකාධිකාරිය පවත්වාගෙන යමින් සිටියේ පෘතුගීසීන්. නමුත් ඕලන්ද රජු එම සමාගමට පෙරදිග රටවල සම්පූර්ණ වෙළෙඳ ඒකාධිකාරිය වසර 21ක කාලයකට පවරා දී තිබේ.
  • ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ දත්ත අනුව 1602 වර්ෂයේ සිට ඔවුන්ගේ බල ප්‍රදේශ ඉංග්‍රීසීන්ට නතු වූ 1796 දක්වා කාලය තුළ මේ සමාගමට නැව් 4,785ක් තිබී ඇත. එම කාලයේ දී මෙම සමාගමේ සෘජුව හා වක්‍රව සේවය කළ පිරිස 882,412 දෙනෙක්. ඔවුන් ටොන් මිලියන 2.5ක භාණ්ඩ නැව් මගින් ප්‍රවාහනය කර ඇති බවත් කියනවා
  • 1638 දී දෙවැනි රාජසිංහ රජු සහ ඕලන්ද ජාතික වෙස්ටර් වෝල්ඩ් අත්සන් කළ ගිවිසුමකින් පසු ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට මෙරට වෙළෙඳාම සඳහා අවස්ථාව ලැබිණි. එදා සිට මෙරට ලන්දේසි යුගය ආරම්භ වුන අතර ඔවුන් තමන් ඉදිකරන ලද සහ භාවිතා කරන ලද සෑම දෙයකම, ස්ථානයක ම සහ උපකරණයක ම තම සමාගමේ ලාංඡනය වූ VOC සළකුණ සටහන් කළා.
  • මේවා අතරින් ප්‍රසිද්ධ ම හා විශිෂ්ටතම VOC ලාංඡනයක් ලෙස සැලකෙන්නේ ගාල්ල කොටුවේ පැරණි දොරටුවේ පිටුපස බිත්තියේ ගලක නෙළා සවිකර ඇති ලාංඡනයයි.ඒ වගේම මේ සමාගම මූල්‍ය දායකත්වයෙන් නිපදවූ සෑම දෙයකටම VOC ලාංඡනය යෙදූ අතර ඔවුන් විසින් යටත්කරගත් ආසියා කලාපයේ සියලු‍ රටවල තම රාජ්‍ය පාලනයේ සංකේතය ලෙස ද එම ලාංඡනය යොදා ගන්නා ලදී.
  • අතීතයේ ශ්‍රී ලංකාවේ මුදල් සඳහා යොදා ගන්නා ලද්දේ එම මුදල් නිකුත් කරනු ලබන රජුගේ ලාංඡනයයි. ඕලන්ද පාලන කාලයේ දී භාවිතා කළ හැඳි ගෑරුප්පුවේ පමණක් නොව, පිඟන් කෝප්පවල සිට, ගොඩනැගිලි දක්වා සෑම ස්ථානයක ම VOC ලාංඡනය තබා තිබේ.1683 දි පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගමේ ඇඩම් වැස්ටර් වෝල්ඩ් හා මහනුවර රාජසිංහ රජු අතර ඇති වූ ගිවිසුමේ 14 වැනි වගන්තියේ මුදල් අච්චු ගැසීම ගැන ද සඳහන් කර ඇත. සිංහල රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ මොනයම් අයකුටවත් කාසි අච්චු ගැසීමට, සෑදීමට, බෙදා හැරීමට බලයක් නැති බව එහි සඳහන් කර ඇත.
  • ඒ වගේම තමා ඕලන්ද ජාතිකයන් මෙරට මුහුදුබඩ කලාපයේ පාලන බලය අල්ලාගත් මුල් කාලයේ එතෙක් භාවිතයේ තිබූ පෘතුගීසි කාසි ගනුදෙනු සඳහා යොදාගැනීමට අවසර දී තිබුණ ද කාසි නිපදවීම ඉතාමත් ඉක්මණින් සිදුකර පෘතුගීසි කාසි ඉවත් කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් කළේ VOC මුද්‍රාව හෝ උඩරට රජුගේ මුද්‍රාව හෝ නොමැති කාසි භාවිතය තහනම් කිරීමයි.
  • අදටත් සිංහල භාෂාවේ භාවිතා වන “දොයිතුව” හා “තුට්ටු දෙක” යන්න භාවිතයට පැමිණ ඇත්තේ මේ VOC කාසි භාවිතය නිසා. ඕලන්ද සමාගමේ කාසි හඳුන්වා ඇත්තේ දොයිතු කාසි (Doits) කියලා. ඒවා කුඩා තඹ කාසි. මේ කුඩා තඹ කාසි ගණන් කිරීමේ අපහසුව හේතුවෙන් දොයිතු අටෙහි ගුණාකාර ලෙස 8, 16, 24 වශයෙන් තුට්ටු ලෙස හඳුන්වා ඇත. තුට්ටු 2, 4, 6 ලෙස අගයන්ගෙන් පැවතුනා.
  • ඊට පසු කාලයක ඕලන්ද සමාගමට තවත් ගැටලු‍වක් මෙරට දී ඇති වී තිබේ. ඒ මහනුවර සිටි වෙළෙඳුන් දොයිතු හැර වෙනත් කිසිම කාසි වර්ගයක් භාර ගැනීමට අකැමති වීම හේතුවෙන් ඔවුන්ගේ තඹ කාසි හිඟවීමයි. ඒ හේතුවෙන් ඕලන්ද සමාගමේ වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. ඔවුන් ඊට පිළියමක් ලෙස කර ඇත්තේ මෙරට වැසියන්ගේ දොයිතු කාසි එකතුකර ඒ වෙනුවට රිදී කාසි ලබාදීමයි. ඉන් පසු දොයිතු මාරු කිරීම තහනම් කර ඇත.
  • වරින් වර විවිධ කාසි නිකුත් කිරීම හේතුවෙන් ඕලන්ද ජාතිකයන් විසින් මෙරට භාවිතා කළ කාසි වර්ග කිහිපයක්ම අද දක්වාම දක්නට ලැබේ. ඒවා කෞතුකාගාරවල පමණක් නොව ඇතැම් කාසි එකතුකරන්නන් සතුව ද තිබේ. මේ අතරින් විශේෂිත කාසි වර්ගයක් වන්නේ තරමක් ඝනකමින් යුතු කුට්ටි කාසි ලෙස හඳුන්වන වර්ගයයි. ඔවුන්ගේ බලකොටුවල ප්‍රාදේශීය වශයෙන් කාසි අච්චු ගැසූ බවට මේ කුට්ටි කාසි හොඳ සාක්ෂියකි.
  • කොළඹ කයිමන් දොරකොඩ තිබූ කාසි කම්හලක නිපදවූ කාසිවල VOC ලාංඡනයට අමතරව C අකුර, ත්‍රිකුණාමලයේ කාසිවල T අකුර ද, ගාල්ලේ කාසි G අකුර ද, යාපනයේ කාසිවල J අකුර ද සටහන්ව ඇත. තවද ඕලන්ද කාසිවලට සිංහල අකුරු ද ප්‍රවේශ වී තිබේ. STUIVER යන ඕලන්ද වචනය “ඉස්ත්‍රිබි” ලෙස සිංහල බසින් භාවිතා කර ඒ වෙනුවට කාසියේ ‘ඉ’ අකුර සටහන් කර ඇත.
  • ඕලන්ද පාලනයේ මුල් කාලයේ සිට අවසාන කාලය දක්වා ම ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම විසින් පාලනය කළ අනෙක් රාජ්‍යයන්වල භාවිතා කළ කාසි විශාල ප‍්‍රමාණයක් අප රටේ භාවිත විය. මේ කාසි දැනට ද අපේ කාසි එකතු කරන්නන් අතර බහුලව තිබෙනු දක්නට ලැබේ.
  • අනිත් ‍ඕලන්ද භාණ්ඩ ද එසේමයි. විවිධ රටවල නිෂ්පාදනය කරන ලද VOC භාණ්ඩ රැසක් තවමත් ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන් සතුව මෙන්ම කෞතුකාගාරවල ද තිබේ. ගාලු‍ කොටුවේ කැණීම් කරන විට පොළොව යට තිබී ඕලන්ද සමාගමේ ලාංඡනය සහිත කැඩී බිඳී ගිය පිඟන් මැටි භාණ්ඩ රැසක් හමු වෙලා තියෙනවා.