Hela Rahas

Hela Rahas Official Web Portal

නීරෝගි කෙස් කලඹක් සදහා සාර්ථක ක්‍රම 10ක්

නීරෝගි කෙස් කලඹක් කාන්තාවක් සතු ආකර්ෂණීය රූප ලක්ෂණ වලින් එකකි. නමුත් ඉතින්, නිරෝගි,ශක්තිමත් දිදුලන කෙස් කලඹක් ඇතිකරගැනිම වගේම පවත්වාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි.හැබැයි අද අපි ඔබට කියාදෙන මේ ක්‍රම 10 භාවිතා කලොත් ඔබට ඔබේ කෙස් කලඹේ Volume එක වැඩිකරගනිමින් කැපී පෙනෙන ලස්සන පෙනුමක් ඇති කරගන්න ලේසියෙන්ම පුලුවන් වේවි! මේ ක්‍රම වල විශේෂත්වය නම් මේවා ඔබේ මුලුතැන්ගෙයි පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය වලින් සකසාගත හැකි ස්වභාවික ප්‍රතිකර්ම වීමයි. හිසකෙස් පෝෂණය කරමින් , හිසකෙස් වල ඝනකම් , මෘදු සහ දිදුලන බව වැඩිකරමින් ප්‍රමාණාත්මකව කෙස්කලඹේ පෙනුම වැඩි කිරීම මෙම ක්‍රම මඟින් සිදුකරයි.

1.බිත්තර සුදුමද සත්කාරය

  • බිත්තර වල ඉහළ ප්‍රෝටීන් පෝෂණයක් අඩංගුය. මෙම සත්කාරය මඟින් හිසකෙස් හැලීයාම හා හිසකෙස් පළුදුවීම නතරකිරීම, හානි වූ හිසකෙස් අලුත්වැඩියා කිරීම, සහ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම සිදුකරයි.
  • බිත්තර 2 ක් ගන්න. බිත්තර කහ මදය ඉවත් කර සුදු මද වෙන්කරගන්න.
  • සුදු මද ඇටි බඳුනට පොල් තෙල් මේස හැඳි 2 ක් දමා හොඳින් ගසාගන්න.
  • තෙත හිස මත මිශ්‍රණය ආලේප කරන්න.
  • මිනිත්තු 20 ක් පමණ හිස මත මෙම සත්කාරය තිබෙන්නට හැර පසුව සීතල ජලයෙන් හිස සෝදා පිරිසිදු කරගන්න.

2.කෝමාරිකා සත්කාරය

  • මෙම සත්කාරය තෙල් සහිත, කැරලි සහිත, පලුදු වූ සහ වියළි කෙසකලඹක් ඇති අයට ඉතා උචිතයි. එමඟින් හිසකෙස් වලට තෙතමනය ලබාදී කෙස්කලඹ ශක්තිමත් කර හිසකෙස් හැලියාම අවම කරයි.
  • කෝමාරිකා මද මේස හැඳි 2 ක් සහ ඔලිව් තෙල් මේස හැඳි 1 ක් එකට දමා මිශ්‍ර කරගන්න.
  • මිශ්‍රණය හිසකෙස් මැද කොටසේ සිට හිසකබල දක්වා ආලේප කරන්න.
  • කොණ්ඩය දිගේ මිශ්‍රණය පහළට බේරීම වැළකෙවීමට සහ හිසකෙස් වියළීම වැළැක්වීමට පොලිතින් එකකින් හිස ආවරණය කර තුවායකින් හිස ආවරණය කරගන්න.
  • මිනිත්තු 30 ක් පමණ ගත වූ පසු හිස හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

3.අලිගැට පේර සත්කාරය

  • අලිගැට පේර වල ඇති ස්වභාවික තෙල්, හිතකර මේද අම්ල, විටමින් සහ ඛනිජ පෝෂක මඟින් හිස පෝෂණය කරමින් කෙස්ගස් පළුදුවීම හා කැඩීයාම වළකයි. වියළි හිසකෙස් ඇති අයට මේ සත්කාරය වඩාත් ගුණ දේ.
  • අලිගැට පේර මදය ඉවත් කර හොඳින් පොඩි කරන්න.
  • එයට රෝස්මරි තෙල් මේස හැඳි 1 ක් සහ පොල් තෙල් මේස හැන්දක් එක්කරන්න.
  • තවත් බඳුනකට බිත්තර සුදුමදයක් එක්කර හොඳින් ගසාගන්න.
  • මේ සියල්ල එකට එක්කර හිස මත ගල්වාගන්න.
  • මිනිත්තු 20 ක් පමණ හිස මත තිබෙන්නට හැර හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න.

4.පොල් තෙල් සත්කාරය

  • හිස කෙස් වලට අවශ්‍ය තෙතමනය ලබඩහී, ප්‍රෝටීන් හීනවීයාම අවම කරමින් , හිසකෙස් පළුදුවීම අඩු කරමින් හිස පෝෂණය කිරීම පොල් තෙල් මඟින් සිදුකරයි. හිසකෙස් සේදීමට පෙර පොල් තෙල් ආලේප කරන්න. එමඟින් හිසකෙස් වලට අධිකව ජලය උරාගැනීම වැළැක්වේ. ස්නානය කිරීමෙන් පසු ද පොල් තෙල් ස්වල්පයක් හිසකෙස් වල ආලේප කිරීමෙන් වැඩි මෘදු බවක් ඇතිවී හිසකෙස් කැඩීයාම අවම වනු ඇත.

5.කෙසෙල් සත්කාරය

  • කෙසෙල් වල අඩංගු සිලිකා මඟින් සිරුරේ වැඩි කොලැජන් ප්‍රමාණයක් නිෂ්පාදනය වීමට උපකාර කරයි. එමෙන්ම කෙස්කලඹ සුසිනිදු,ඝනකම් හා ශක්තිමත් කිරීම ද සිදුකරවයි.
  • කෙසෙල් ගෙඩි එකක් හෝ දෙකක් ගෙන හොඳින් පොඩි කරගන්න.
  • එයට පොල් තෙල් මේස හැඳි 1 ක් දමාඅ හොඳින් කලවම් කරගන්න.
  • මිශ්‍රණය කෙස්කලඹේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව, හිසකෙස් හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

6.ඕට්මීල් සත්කාරය

  • ඕට්ස් වල ඇති තන්තු මඟින් හිසකෙස් වලට හොඳ තෙතමනයක් ලබාදෙමින් හිසකෙස් වර්ධනය වීම ප්‍රවර්ධනය කරයි. එමෙන්ම හිසකෙස් ස්වභාවයෙන් ඝනකම් කරවයි.
  • ඕට්ස් මේස හැඳි 3ක්, කිරි කෝප්ප 1/2 ක් , පොල් තෙල් මේස හැඳි 1 ක්,සහ මී පැණි මේස හැඳි 1 එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  • වියළි හිසකෙස් මත මිශ්‍රණය ආලේප කර හිස කබලේද ඒවා ගල්වා හොඳින් සම්බාහනය කරන්න.
  • සත්කාරය හිස මත මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හැර ෂැම්පු දමා සාමානය් පරිදි හිස සෝදා පිරිසිදු කරගන්න.

7.මී පැණි සත්කාරය

  • මි පැණි වල අඩංගු විටමින් සහ ඛනිජ පෝෂක මෙන්ම එහි අඩංගු ඉහළ මට්ටමේ ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් වියලි හිසකෙස් වලට හොඳ තෙතමනයක් ලබාදී, හිසකෙස් පලුදුවීම අවම කර කෙස් කලඹ නීරෝගී කරවයි.
  • මී පැණි කෝප්ප 1/2 සහ ඔලිව් තෙල් කෝප්ප 1/2 බඳුනකට දමා හොඳි මිශ්‍ර කරන්න.
  • එය තත්පර 20 ක් පමණ මයික්‍රෝවේව් කරගන්න (හෝ ලිපේ රත්කරගන්න).
  • හොඳින් කලවම් කර සිසිල් වීමට ඉඩ හරින්න.
  • ඇඟිලි තුඬු වලින් හිසකෙස් වල මෙන්ම හිස් කබල මත ද තෙල් ආලේප කර හොඳින් සම්බාහනය කරගන්න.
  • පොලිතින් එකකින් හිස ආවරණය කරගෙන මිනිත්තු 30 ක් පමණ සත්කාරය හිස මත තිබෙන්නට හරින්න. පසුව, සාමාන්‍ය පරිදි ෂැම්පු දමා හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න.

8.ග්‍රීන් ටී සත්කාරය

  • ග්‍රීන් ටී වල ගුණ මඟින් හිසකෙස් හැලීම අඩු කිරීම සහ හිසකෙස් වර්ධනය වැඩිකිරීම සඳහා සහය ලබාදේ. මේවා පානය කිරීමෙන් මෙන්ම හිස සේදීම සඳහා සත්කාරයක් ලෙස භාවිතා කිරිමෙන් ද මේ ගුණ අත්කරගත හැකිය.
  • ග්‍රීන් ටී බෑග් 2 ක් පමණ බඳුනකට දමා උණු ජලය වත්කරගන්න.
  • මිනිත්තු 5 ක් පමණ තැම්බෙන්නට හැර එය මද උණුසුම් වනතුරු හෝ සම්පූර්ණයෙන්ම සිසිල් වන තුරු තිබෙන්නට හරින්න.
  • ස්නානය කර අවසන් වු පසු එම ජලයෙන් හිසකෙස් සෝදා ගන්න.

9.සහල් ජලය සත්කාරය

  • සහල් සේදු ජලය ඔබේ හිසකෙස් ශක්තිමත් කිරීමට මෙන්ම හානි වූ හිසකෙස් අළුත්වැඩියා කිරීමට සහය ලබාදේ. එමෙන්ම එහි පෝෂණය මඟින් කෙස්කලඹට හානි ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
  • සහල් සේදු ජලය බඳුනකට දමා පැය 12-24 ක් පමණ කාලයක් එහි තිබෙන්නට හරින්න. එමඟින් එහි අන්තර්ගත විටමින් වර්ග සහ ඛනිජ පෝෂක පිටතට පැමිණේ.
  • හිසකෙස් සෝදාගත් පසු ස්නානය කර අවසානයේ මෙම සහල් ජලයෙන් හිසකෙස් සෝදාගන්න.
  • මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හැර නැවත හිසකෙස් ජලයෙන් සෝදාගන්න.

10.එළකිරි සත්කාරය

  • එළකිරි සත්කාරය මඟින් විටමින් සහ ප්‍රෝටීන් ‍රැසක පෝෂණය හිසට ලබා දී වඩාත් ශක්තිමත් මෘදු සහ දිදුලන කෙස්කලඹක් ඇතිකරවයි.
  • කිරි, මි පැණි, ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් කුඩා ප්‍රමාණ වලින් ගෙන එකට මිශ්‍ර කරන්න.
  • ස්ප්‍රේ බෝතලයකට මිශ්‍රණය දමා හිසකෙස් මත ඒවා ආලේප කරගන්න.
  • මිනිත්තු 30 ක් පමණ තැබීමෙන් අනතුරුව කෙස්කලඹ සෝදා පිරිසිදු කරගන්න.