Hela Rahas

Hela Rahas Official Web Portal

මහනුවර නාථ දේවාලයේ වැල් බෝධියේ ඉතිහාස කතාව

  • අපි මහනුවර ශ්‍රී දළදා මාළිගා පුද බිමෙත් ඒ වට පිටාවෙත් විවිධ විශේෂ ස්ථාන දකිනවා. මේවා විශේෂයි කීවට සමහර ස්ථාන වල විශේෂත්වය අපි හරියාකාරව දන්නෙ නෑ. ඒ වගේ විශේෂ ස්ථානයක් තමා නාථ දේවාල බිමේ ඇති වැල් බෝධිය.
  • මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ශ්‍රී නාථ දේවාලය කියන්නෙ මහනුවර නගරයේ තිබෙන පැරැණිම ගොඩනැඟිල්ලයි. නාථ දේවාලයට ඒ නම ලැබුණේ මහායාන දෙවියකු වූ නාථ දෙවිඳුගේ නමින් බව කියනවා. අද ලංකාවේ අති ප්‍රධානතම නාථ දේවාලය තමා මහනුවර නාථ දේවාලය. නාථ දේවාලය ගෙඩිගෙයකි. මේ නාථ දේවාල ගෙඩිගේ 14 වැනි සියවස හෙවත් ගම්පොළ අග කාලයට අයිති විජයනගර් සම්ප්‍රදායාට අයිති බව සොයා ගෙන ඇත.
  • “සුළු රාජාවලිය” පොතේ කියවෙන්නෙ අලුත් ගෙඩිගේ නාථ දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 1361 ගම්පොළ රජ කළ තැන්වැනි වික්‍රමබාහු රජු. අද වෙද්දි නාථ දේවාල බිමේ ඇති ඉපැරැණිම සිහිවටනය වැල් බෝධියයි. මහ මළුව කෙළවරක මේ වැල් බෝධිය ඇත. මේ බෝධියට වැල් බෝධිය කියලා නම ලැබුණේ ගසක් වුනත් අතු හරස් අතට විහිදී වැලක වගේ බෝපත්‍ර පහළට එල්ලා වැටෙන නිසා.නාථ දේවාල වැල් බෝධිය නාථ දේවාල බිමේ ඇති පැරැණිම සිහිවටනය බව චූල බෝධි වංසයේ එන කතාවකින් කියනවා.
  • ” දෙවැනිපෑතිස් රජු අනුරාධපුර රජ කරන අවධියයි. (ක්‍රි.පූ. 250-210) අනුරාධපුරයට වැඩම වූ බුදුහිමි පිටදුන් ජයශ්‍රී මහා බෝධියෙන් හාස්කම් ඇති අංකුර 40ක් මතු වෙලා. මෙකල නාථ කියලා බමුණෙක් වාසය කළා.ජයශ්‍රී මහා බෝධියේ එක අංකුරයක් පාත්‍රයක සිටුවා ඔහු තැනින් තැන වන්දනාවේ යමින් ඒ යන එන විට බෝ අංකුරයද රැගෙන යෑම සිරිත.
  • කැලෑ හා අඩිපාරවල් මැදින් යන නාථ බමුණා එදා ගණ කැලෑවක් වූ කටුබුළුගම පිහිටි ප්‍රදේශයට පැමිණ හවස නතර වී බෝ අංකුරය සහිත පත්‍රය සුදුසු තැනක තබා රෑට උයා පිහා කා පසුදා උදෑසන පිබිද නැවත ගමනට සූදානම් වුනා. ඒ වන විට මේ මුළු අඩවියම ගන කැලෑවක්. කටුබුළුගම නමින් කුඩා ගම්මානයක් ඒ ඉහළින් තිබුනා.
  • පාත්‍රය ගැනීමට බමුණා ගිය විට බෝ අංකුරය බිමට මුල් ඇදී ගැලවිය නොහැකි පරිදි මුල් දිගට විහිදී තිබිණ. බෝ අංකුරය පිහිටිය යුතු ස්ථානය මේ බව සිතූ නාථ බමුණා බෝ අංකුරය සහිත පත්‍රය එම ස්ථානයේම තබා ගල් වටකොට ගොස් ඇත.” ජනප්‍රවාද අනුව නාථ දේවාලයට නාථ යන නම ලැබුණේ මෙම බමුණා නිසා බව කියනවා.
  • එදා නාථ බමුණා ගෙනාව බෝධි අංකුරය අදත් නාථ දේවාල බිමේ වැල් බෝධිය නමින් ඇත. එය ඇත්තක් නම් අද වෙද්දි මේ වැල් බෝධිය අවුරුදු 2,300ක් විතර පරණ බෝධියක්.ඒ වගේම මේ නාථ දේවාල වැල් බෝධිය යටදී තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ කුමාරිහාමි ඉදිරිපිට ඇගේ දරුවන්ගේ ගෙල කපා බෙලි ඇහැලේපොල කුමාරිහාමි ලවා වංගෙඩියේ දමා කෙටවූ බව කියන්නෙ.