Hela Rahas

Hela Rahas Official Web Portal

නාන කාමරය තුළ දුගඳ ඉවත් කිරීමට ක්‍රම 10ක්

නිවසක ප්‍රියමනාප බව ආරක්ෂා කරාගැනීමට නම් එහි පිළිවෙල සහ පිරිසිදුකම මනාව පවත්වාගත යුතුය. නිවසක ඇති අංග අතරින් වැඩි වශයෙන්ම කිලිටි වන ස්ථාන වන්නේ මුලුතැන්ගෙය සහා නාන කාමරය බව පැවසිය හැකියි. අද අපි කතා කරන්නේ ඔබේ නාන කාමරයේ පිරිසිදු කම සහා පිළිවෙල ගැනයි. මේ දේවල් කෙරෙහි ඔබේ ඇති සැලකිලිමත් බව එහි වාතාශ්‍රයේ නැවුම් බව සහ ප්‍රසන්න බව ආරක්ෂා වීම කෙරෙහි ඉතා වැදගත් වේ.නාන කාමරයක් නිවැසියන් මෙන්ම නිවසට පැමිණෙන අමුත්තන් පවා පොදුවේ භාවිතා කරන්නකි. එහිදී එය භාවිතා කරන්නන් හට එහි වටපිටාව ගැන ප්‍රසන්න හැඟිමක් ඇති විය යුතුයි නේද? නාන කාමරයේ පිරිසිදු බව ‍රැකගනිමින් එහි ප්‍රසන්නබව සහ සුගන්ධවත් බව ආරක්ෂා කරගැනීමට ඔබට පහසුවෙන් අනුගමනය කල හැකි උපක්‍රම 10 ක් ගැනයි මේ.

1.නාන කාමරයේ ඇති තුවා වියළා ගන්න

  • ඔබ භාවිතා කරන තුවා ආදිය නාන කාමරය තුල තැබීම එතරම් සුදුසු නැහැ. තුවායක් භාවිතා කරන්නේ තෙත මාත්තු කරමින් වියළා ගැනීමටයි. නමුත්, නාන කාමරයේ ඒවා තැබීමෙන් සිදුවන්නේ එතුල ඇති අධික තෙතමනය තුවා මත ‍රැඳීමයි. එහිදි පුස් වැනි දිලීර තුවා මත වර්ධනය වේ. නිතරම භාවිතා වන නිසා නාන කාමරය තුල විෂබීජ පැතිරීම ද සිදුවිය හැකියි.තෙත් වූ රෙදි මත රෝග කාරක විෂබීජ වලට හිතකර පරිසරයක් නිර්මාණය කරයි. එවැනි විෂබීජ සහා දිලීර ක්‍රියාකාරීත්වය නිසා නාන කාමරයේ තබා ඇති තුවා සනීපාරක්ෂාවෙන් තොර විය හැකියි වගේම දැඩි දුර්ගන්ධයක් ද ඒවායින් වහනය විය හැකියි. ඔබේ තුවා හිරු එළියේ හොඳින් වියළා ගන්න.

2.ලෙමන් වලින් සරල උපක්‍රමයක්

  • නරක දුගඳ නැති කරදැමීමට ඔබට උපකාරී වන හොඳම අමුද්‍රව්‍යක් තමයි ලෙමන් කියන්නේ.එය ස්වභාවික පිරිසිදුකාරකයක් ලෙසත් ක්‍රියාකරනවා. මෙම ගුණාංග සියල්ලටම මූලික වෙන්නේ ලෙමන් වල අඩංගු ඉහළ සිට්‍රික් අම්ල සාන්ද්‍රණය නිසයි. ඩිටර්ජන්ට් භාවිතයෙන් පිරිසිදු කරගත් නාන කාමරයේ උපාංග සහ මතුපිට මත ලෙමන් පෙති ඇතිල්ලීම සිදුකරන්න.

3.ඇරෝමටික් ඔයිල් භාවිතයෙන් සරල ක්‍රමයක්

  • අප්‍රසන්න දුගඳ ඇති වීම වළක්වාගැනීමට ඇරෝමැටික් ඔයිල් වර්ග භාවිතා කල හැකියි. මේ සඳහා බේබි ඔයිල් හෝ එසෙන්ෂියල් ඔයිල් වර්ගයක් වුවත් භාවිතා කල හැකියි. කපු පුළුන් කැබැල්ලක් තෙල් වල පොඟවා නාන කාමරයේ තැන් කිහිපයක තබන්න.උදා: දත් බුරුදු රඳවනය මත, ටොයිලට් පේපර් රඳවනය අසල…

4.ජලය + ෆැබ්‍රික් සොෆ්ට්නර්

  • නාන කාමරයේ ඇති තුවා වලින් පුස් දුගඳක් ඇති වීම වළක්වාගැනීමට ජලය සහ ෆැබ්‍රික් සොෆ්ට්නර් දියර එකට දමා ඒවාට ස්ප්‍රේ කරගන්න.නාන කාමරය සඳහා ෆ්‍රෙෂ්නර් දියරයක් ලෙස ෆැබ්‍රික් සොෆ්ට්ර්නර් දියර වලට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර දියරයක් සාදාගැනීමටත් ඔබට හැකියි.

5.බේකිං සෝඩා උපක්‍රමය

  • ප්‍රබල දුර්ගන්ධයන් පවා පහසුවෙන් ඉවත්කරමින් පිරිසිදු ප්‍රසන්න බවක් ඇතිකිරීමේ ගුණය බේකිං සෝඩා වල අඩංගු වෙනවා. නාන කාමරය පිරිසිදු කරන විට උතුරන වතුරට බේකිං සෝඩා දමා මිශ්‍රණයක් සාදාගෙන පිරිසිදු කරගැනීම් කටයුතු සිදුකරන්න. නාන කාමර ටයිල්, දොර, උපාංග ඇතුලු මතුපිට මතට දියරය ඉස ටික වෙලාවක් ගත වන තුරු තිබෙන්නට හැර බුරුසුවකින් අතුල්ලමින් පිරිසිදු කරගන්න. බේකිං සෝඩා සහ ලෙමන් මිශ්‍රණයද ද හොඳ නාන කාමර පිරිසිදු කාරක දියරයකි.

6.සුවඳ විලවුන්

  • වැසිකිළි පෝච්චි පිරිසිදුකරගැනීමේදී භාවිතා වන වැසිකිළි බුරුසු වලට සුවඳ විලවුන් යොදා තිබීම සුඛෝපභෝගි හෝටල් වල පවා භාවිතා වන උපක්‍රයක්. වැසිකිළිය පිරිසිදු කරගත් පසු බුරුසුවට සුවඳ විලවුන් හෝ එසෙන්ෂියල් ඔයිල් බිංදු කිහිපයක් දමන්න. එමඟින් ඒවා ක්‍රමයෙන් වාශ්ප වෙමින් නාන කාමරය තුල ප්‍රසන්න සුවඳවත් බවක් ඇතිකරවයි.

7.ඇරෝමැටික් සබන් භාවිතය

  • නාන කාමරයේ සුවඳවත් බව සඳහා ඔබ භාවිතා කරන සබන් වර්ගයත් ගොඩක් වැදගත් වෙනවා. ඉමිහිරි සුවඳක් ඇති දිගු කල් සුවඳවත් බව පවතින සබන් වර්ගයක් භාවිතයට ‍තෝරාගන්න.

8.වැසිකිළි ටැංකියට ඩිටර්ජන්ට් දියරයක් එක්කරන්න

  • නාන කාමරයේ සුගන්ධවත් බව ආරක්ෂා කරගැනීමට තවත් සරල උපක්‍රමයක් තමයි මේ. ඔබට හැකියි වැසිකිළි ටැංකියට ඔබ භාවිතා කරන රෙදි සේදුම් දියරයක්ල් හෝ වෙනත් ඩිටර්ජන්ට් වර්ගයකින් ස්වල්පයක් ජලයට මිශ්‍ර කිරීමට. ෆ්ලෂ් කරන විට වැසිකිළියත් හොඳින් පිරිසිදු වි දුගඳ ඇති වීමත් මින් වැළැක්වෙනවා.

9.නිවසේදීම එයාර් ෆ්‍රෙෂ්නර් එකක් හදමු

  • මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා වීදුරු බෝතලයක්, කූරු, මධ්‍යසාර ස්වල්පයක් සහ එසෙන්ෂියල් ඔයිල් වර්ග (ලැවෙන්ඩර්, ටී ට්‍රී, කපුරු, පෙපර්මින්ට්, දොඩම් හෝ ලෙමන්ග්‍රාස් වැනි ප්‍රබල සුවඳ වර්ග). ආමන්ඩ් ඔයිල් කෝප්ප 1/4 කට වොඩ්කා හෝ රබිං ඇල්කොහොල් මේස හැඳි 2 ක් සහ ‍තෝරාගත් එසෙන්ෂියල් ඔයිල් වර්ගයක බිංදු 20-30 ක් පමණ එක්කර හොඳින් කලවම් කරන්න. වීදුරු බෝතලයකට දියරය දමා කූරු (ඩි‍ෆියුසර් ස්ටික්ස්) දමා නාන කාමරයේ විවෘත ස්ථානයක තබන්න.

10.නාන කාමරයට දිනපතාම හොඳින් වාතාශ්‍රය ලැබීමට ඉඩසලස්වන්න

  • මේ ක්‍රම හැම දේකටම වඩා ඔබට පහසුවෙන්ම සහ සරලවම කරන්න පුලුවන් දේ තමයි ඔබේ නාන කාමරයට ජනෙල් විවෘත කර හොඳින් වාතාශ්‍රය ලැබීමට ඉඩ සැලැස්වීම.එමඟින් නාන කාමරය තුල ඇති පුස් ගඳ ඇතුලු අප්‍රසන්න දුර්ගන්ධයක් දුරු වී නැවුම් බවක් ඇති වේ. දිනකට මිනිත්තු 15 ක් වත් නාන කාමරයේ ජනේල විවෘතව තැබිය යුතු බව නිර්දේශයයි. වාතාශ්‍රය පිරිසිදු වීමත් සමඟ අහිතකර බැක්ටීරියා සහ වෛරස වර්ධනය වීම බොහෝ හොඳින් පාලනය කරගත හැකි වේවි.