Hela Rahas

Hela Rahas Official Web Portal

වැඩසිටි කන්දේ නොවැසූ ඉතිහාස කතාව

  • අපෙ බෞද්ධ ජනතාව වැඩසිටි කන්ද නමින්ද, හින්දු ජනතාව ඒළු මලේ නමින්ද අතීතයේ සිට හඳුන්වන කතරගම වැඩසිටි කන්ද රාජ මහා විහාරස්ථානය අද වන විට බැතිමතුන්ගෙන් පිරී පවතින පිංබිමක්. දක්ෂිණ කෛලාසය, අංජන පර්වතය, සිංහාසන කන්ද, හේම කූඨය, මැදුම් හෙලය ආදි නම්වලින් ද මේ සිද්ධස්ථානය හඳුන්වනවා.
  • කතරගම සිට සැතපුම් තුනක් පමණ දුරින් දකුණු දෙසින් වැඩසිටිකන්ද පිහිටා ඇත. වැඩසිටි කන්ද තවත් කඳුවැටි හයකට මැදිව පිහිටා ඇත. ‘‘මැදුම් හෙලය”‍ යනුවෙන් හඳුන්වන්නේද මේ නිසාම වෙන්න පුළුවන්.
  • මහාසේන රජු මෙහි රජ කරන කාලයේ සෙසු හිතෛෂී ජනතාව, ආශ්‍රිත කඳු පද්ධතියේ සිටින්නට ඇතැයි කියනවා. උමග ඇති කන්ද උමං කන්ද නමින්ද, රජුගේ සේනාධිපති කඩවර විසූ කන්ද, කඩවර කන්ද නමින්ද, බණ්ඩාරවරුන් විසූ කන්ද බණ්ඩාර කන්ද අනෙකුත් යක්ෂ සේනාපති ‘‘ප්‍රකාශ”‍ විසූ කන්ද ප්‍රකාශ කන්ද නමින්ද, උයන් පැවති කන්ද උයන් කන්ද නමින්ද, කුමාරවරුන් විසූ කන්ද කුමාර කන්ද නමින්ද, නමින්ද හඳුන්වනවා.
  • සිංහාසන කන්දේ සිට කාලපන්දම්, ආලත්ති පන්දම්, ඇවරි පන්දම්, දෙවොල් පන්දම් ආදිය රැගත් පෙරහරවල් ඇසළ උත්සවයේදී කතරගම දෙවොල කරා ගිය බව සඳහන් වීමෙන් දුටුගැමුණු රජු කතරගම දෙවොල ගොඩනැගීමටත් පෙර වැඩසිටි කඳු මුදුනේ සැතපුණ ගලේ කතරගම දෙවියන් උදෙසා දේවාලයක් තිබූ බවට විශ්වාසයක් පවතී.
  • වැඩසිටි කන්දේ සිට මහා දේවාලය දක්වාත්, සෙල්ල කතරගම වල්ලි ගුහාව රාජමහා විහාරය දක්වාත් උමගක් (ගුහාවක්) ඇති බව ජනප්‍රවාදයේ එනවා. එපමණක් නොව කඳු මුදුනේ නැගෙනහිර දිසාවට වන්නට බෑවුමේ නොසිඳී පවත්නා ජල පොකුණක් පිහිටා ඇති බවත්, කතරගම දෙවියන් හා වල්ලි අම්මා දේවිය දියනෑම සඳහා මෙම පොකුණ යොදාගෙන ඇති බවත් බෞද්ධ සාහිත්‍යයේ කියනවා. කතරගම මහා දේවාලයත් කිරි වෙහෙරත්, එකම සරල රේඛාවක පිහිටා ඇත.
  • මෙහි ඉහළ මාලයෙ ඉන්දියාවේ සිට වැඩම කරවන ලද ආනන්ද බෝධියේ අංකුරයක්ද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර දෙකක්ද රෝපණය කර තිබෙන බවත් බොහෝ බැතිමතුන් දිනපතා බෝධි පූජාවන් සඳහා පැමිණෙන කියනවා.
  • අලි, කොටි, වලසුන් වැනි වන සතුන්ගෙන් හා විවිධ විෂඝෝර සර්පයින්ගෙන් ගහනව ඝන වනාන්තරය මධ්‍යයේ මේ ඓතිහාසික පුදබිම තිබී ඇත. එය ලෝකවාසී බැතිබර ජනතාවට උරුමකර දීමට මූලිකත්වය ගෙන ඇත්තේ මීට වසර 55 ට පමණ පෙර පැමිණි බව කියන රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින්වහන්සේ.
  • කන්ද මුදුනේ උසම ස්ථානයේ මැද පෞරාණික ගොඩනැගිල්ලක නටබුන් තිබී ඇති අතර ඒ මත දෙවියන්ගේ ශෑලායුධය සවිකර තිබූ බවත්, එම වකවානුවේදී කලාතුරකින් පැමිණි බැතිමතුන් එම ස්ථානයේ පූජාවන් පවත්වා ගිය බවත් සඳහන්.
  • මෙහි පහත මළුවේ බෝධීන් වහන්සේ අසල සිට පඩිපෙළෙන් නගින බැතිමතුන් සඳහා කුඩා ඊශ්වර දේවාලයක්ද, ගණ දේවාලයක්ද, කාලි දේවාලයක්ද, සූනියම් දේවාලයක්ද පිහිටුවා ඇති අතර කඳු මුදුනේ ඊශ්වර දේවාලයද, කතරගම දේවාලයද හා කඩවර දේවාලයද පිහිටා ඇත.