Hela Rahas

Hela Rahas Official Web Portal

ඇඳේ ඉඳන් වැඩ කිරීම් හානි දායක වීමට හේතු 5ක්

සැපපහසු තැනක ඉඳන් වැඩ කරන්නනේ කවුරුත් කැමති. මේසයක් ඉදිරියේ පු‍ටුවක වාඩිවෙලා ඉන්නවාට වඩා කොට්ට වටකරගෙන සිනිදු පොරොනාවකින් කකුල් ආවරණය කරගෙන ඇඳට වෙලා සනීපෙට කාර්යාලයේ වැඩක් හෝ අධ්‍යාපනික ක්‍රියාකාරකමක නිරත වෙන්න කවුද අකමැති .ඇතැම් අය ඇඳේ ඉඳන් වැඩ කරන එක ඔවුන්ගේ ආතතිය අඩු කරවන සැහැල්ලු බවක් ඇතිකරවන අත්දැකීමක් ලබාදෙන බව සඳහන් කරති.

කොහොම වුණත් තමන් විවේක ගන්න තැන කාර්යාලය හෝ පාඩම් මේසය කරගැනීම එම පුද්ගලයාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට නම් එතරම් හිතකර වන්නේ නැහැයි කියලයි කියන්නේ.ඔබ නිදාගන්නා ඇඳ ඔබේ කාර්යාල මේසය බවට පත්කර නොගත යුතු යැයි ඔබට පහදා දෙන හේතු 5 ක් ගැන අද අප ඔබව දැනුවත් කිරීමට සිතුවා.

1.එම පුරුද්ද මොලය හා නින්දේ රටාවන් ව්‍යාකූල කරවයි

  • ඇඳ යන්න මොලය විසින් විවේකය සහ සැහැල්ලුවීම යන සංකල්ප සමඟ සම්බන්ධ කරමින් සංජානනය කරයි. ඔබ නිදන ස්ථානයේ ඔබ ‍රැකියා කටයුතු කරන විට මනස විසෛන් විවේකය යන්න වෙනුවට එම අවකාශය ක්‍රියාකාරී පරිසරයකට සම්බන්ධ කරමින් වටහා ගැනීමට පටන්ගනියි. මනසේ ඇතිවන මෙම ව්‍යාකූල බව නිසා ඔබේ සාමාන්‍ය නින්ද රටාවට බලපෑම් ඇතිවී එය වෙනස්කම් වලට ලක් වි insomnia (අනිද්‍රාව) හෝ Circadian rhythm disorder (නින්ද හා අවදිවීම් චක්‍රය අවිධිමත් වීමේ බලපෑමින් එදිනෙදා කටයුතු වලට බාධාකාරි ලෙස බලපාන රෝග ස්වභාවයකි), වැනි තත්වයන් ඇතිවීමට ඉඩ ඇත.
  • ඇඳේ සිට ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම ද සෞඛ්‍යයට හිතකර නොවේ. රාත්‍රියේ දි වැඩි වෙලාවක් ඇස් නිල් ආලෝකයට (blue light) නිරාවණය වීම නිසා සිරුරේ මෙලටොනින් ශ්‍රාවය වීම නතර වේ, ස්වභාවික නින්ද ඇති කරවන හෝර්මෝන වන මේවා සිරුරේ නිපද නොවෙන විට නින්ද ඇතිනොවන අතර නින්ද අහිමිවීමේ බලපෑමින් විවිධ රෝග හා හෘද සෞඛ්‍යය ආශ්‍රිත ගැටලු මතුවීමට ඉඩ ඇත.

2.එය ඔබේ ඵලදායිතාවයට බලපෑම් කරයි

  • නිවසේ සිට රාජකාරි කරන එක ඔබට ආතතීය දෙයක් යැයි දැනෙන වානම් ඔබ විවේක ගන්නා ඇඳේ සිට එසේ රාජකාරි කිරීම ඔබට කෙසේ බලපානු ඇත්ද? ඇඳට වී රාජකාරි කටයුතු කරන බොහෝ පුද්ගලයින් ආතතිය හා කාංසාව බලපෑමිඔන් විවිධ නින්ද ආශ්‍රිත ගැටලු පීඩාවලට ලක් වන බව ඇමෙරිකානු සමීක්ෂණයකින් හෙලි වී ඇත.නින්දේ ගුණාත්මක බව අඩු වීම නිසා සිරුරේ ශක්ති මට්ටම හීන වී ගොස් වැඩකටයුතු වලදි ඔබ පෙන්නුම් කරන ඵලදායිතාවය ක්‍රමයෙන් අඩු වී යාමට ඉඩ ඇත. නිදන කාමරයේ ආලෝකය අඳුරුයි නම් ඔබට ඉතා ඉක්මනින් වෙහෙසකර ගතියක් දැනෙනට ඉඩ ඇති අතර ඔබේ ඵලදායීතාව කෙරෙහි එය සෘණාත්මකව බලපායි.

3.ඔබේ සිරුරේ ස්වභාවික ඉරියව්වට හානිකරයි

  • ඇඳට හේත්තු වී හෝ මෙට්ටය මත මුණින් අතට වැතිරී වැඩ කටයුතු වල නිරතවීම නිසා හිස හා උරහිස් පහළට වකු‍ටු වූ හෝ කුදු වූ ස්වභාවයකට සිරුර පත්වේ. කාලයක් යන විට මෙම ඉරියව්වෙන් සිටීම නිසා බෙල්ල, කොන්ද සහ උකුල් ප්‍රදේශයේ ඇතුලු සිරුරේ වේදනා-කැක්කුම්, හටගැනීමට පටන්ගනියි.මෙම ඉරියව්වෙන් සිටින විට ඔබට අපහසුවක් නොදැණුනත් ඉන් ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති නොවන බව අදහස් නොවේ. කාලයත් සමඟ එම වේදනා -කැක්කුම් උත්සන්න විය හැකියි වගේම සිරුරට සිදුවී ඇති හානිය නැවත සකස් කිරීමට නොහැකි තරම් ප්‍රමාද වී තිබිය හැකිය. බරපතල හානි ලෙස ස්ථීරව කොන්දේ කුදු බව ඇතිවීම, කොන්ද දරදඬු වීම සහ ආතරයිටීස් වැනි පීඩාකාරි තත්වයන් හටගැනීමට ඉඩ ඇත.

4.බැක්ටීරියා ආසාදන

  • ඇඳ ඇතිරි මත ස්පර්ෂ වෙමින් නිතර ගැටෙන විට ඝර්ෂණය නිසා සමේ පිටත සෛල ස්තරය සීරීයාම සිදුවේ. මෙම සෛල වල තෙල්, දහදිය, ඛේට අඩංගු වන අතර බැක්ටීරියා හා දුහුවිලි මයිටාවන්ගේ වර්ධනයට මේවා මඟින් හිතකර පරිසරයක් නිර්මාණය කරයි. මෙවැනි හානිකර ජීවින් දිගින්දිගටම සම සමඟ අන්තර්ක්‍රියාකිරීමේ බලපෑමින් සමේ ආසාත්මිකතා තත්වයන්, ඇදුම රෝගය උත්සන්න වීම් හෝ චර්ම රෝග හටගැනීම් වැනි හානි ඇතිවිය හැක.

5.ඔබේ සහකරු/සහකාරිය සමඟ ඇති සබඳතාවයට බලපෑම් ඇතිවීමට ඉඩ ඇත

  • ඇද යනු ඔබ දෙදෙනාම විවේක ගන්නා ස්ථානයයි. ඔබේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා අසල නිදන විට ඔබ කාර්යාල කටයුතු ඇඳට ගෙනවිත් සිදුකිරීම බොහෝ විට තමන්ව නොසලකා හැරි හැඟීමක් ඔහුගේ/ඇයගේ සිතේ දුකක් පීඩාවක් ඇතිකිරීමට ඉඩ ඇත. එසෑ දිගින් දිගටම සිදුවීමෙන් ඔබ දෙදෙනා අතර පවතින සබඳතාව පළුදුවීයාමට ඉඩතිබෙනවා. එබැවින් ඔබේ කාර්යාල කටයුතු සහ ඉලෙක්ට්‍රොනික උපාංග ඔබේ ඈඳට ගෙන ඒමෙන් වැළකී සිටීමට උත්සහ කරන්න.ඇඳේ සිට වැඩකටයුතු කිරීම අවම කරගැනීමට නැතිනම් ඉන් වැළකි සිටීමට ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක්
  • දිනපතා එක් වෙලාවක නින්දට යාමට හා එක් වෙලාවක අවදි වීමට පුරුදු වන්න. ඉන් නින්ද ආශ්‍රිත ගැටලු හටගැනීම වළක්වාගත හැකියි.
  • කාර්යාල මේසය නිදන කාමරයට ඈතින් සකසා ගන්න. මේසයක සිටිමින් වැඩ කිරීමට අකමැති නම් සාලයේ පු‍ටුවක, බංකුවක, බිම වාඩි වී වැඩ කිරීමට ඔබට පුලුවන්.
  • ඉලෙක්ට්‍රොනික උපාංග නිදන කාමරයෙන් ඉවත්කර තබන්න.
  • රෑ ඇඳට යාමට පැයකට පමණවත් පෙර වැඩකටයුතු සියල්ල සිදුකර අවසන් කරන්න.