Hela Rahas

Hela Rahas Official Web Portal

මාගම යටාල වෙහෙරේ වැඩ වසන දළදා වහන්සේගේ නොවැසූ කතාව

  • සතර දළදාවන් අතරින් දළදා වහන්සේ තෙනමක් ම ලංකාද්වීපයේ වැඩ වසන බව පුරාවිද්‍යා සාක්ෂි මගින් තහවුරු වෙනවා. මාගම යටාල දාගැබට වම් යටි දළදා වහන්සේ වැඩම වූයේ කාලිංගයෙන් වම් දළදා වහන්සේ වැඩමවීමට වසර 600කට පෙරයි.
  • ක්‍රි.ව. 310 දි කිත්සිරි මෙවන් රජුගේ 9 වන රාජ්‍ය වර්ෂයේ දී බුදුන් වහන්සේගේ වම් දළදාව කාලිංග දේශයේ සිට ශ්‍රී ලංකාවට වැඩම වූ අතර එයින් මෙරට ජන ජීවිතයේ ඇති වූයේ අසිරිමත් ම කාලයක්. ඒ සමග අපෙ රටේ දළදා සමිඳුන් රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වුණා.
  • දළදා වංශය, ධාතු වංශය, දළදා සිරිත, දළදා පූජාවලිය වගේ දළදා සමිඳු අගයන්නට වෙනම ම දළදා සාහිත්‍යයකින් සිංහල සාහිත්‍ය වංශය ආලෝකමත් වුණා. මෙනයින් මුළු මහත් රටටත් විශේෂයෙන්ම කන්ද උඩරටටත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ඉමහත් සෙතක් උදා වුනා.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ආදාහනයෙන් පසු සම සතළිස් දන්ත ධාතූන් ද කේෂ හා ලෝම ධාතූන් ද දෙවියන් රැගෙන ගිය බව පැවසේ. ශේෂ වූ සතර දළදා බෙදී ගිය ආකාරය දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන්. එම සතර දළදාවන් අනුපිළිවෙළින් දෙවියන් විසින් දෙව් ලොවට ද ගන්ධාර පුරයට ද කලිඟු රටට හා නා ලොවට ද ගෙන යන බව සඳහන්.
  • දැවුම් චිතකයේ ගිනි නිවෙන්නට ද පෙර ඛේම මහ රහතන් වහන්සේ වම් දළදාව කාලිංග දේශයට ද එම දළදා වහන්සේ දන්ත කුමරු හේමමාලා යුවළ විසින් 5 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට ද වැඩමවන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩ වසන්නේ එම දන්ත ධාතූන් වහන්සේ.
  • මේවගේ අති උතුම් තවත් දන්න ධාතුන් වහන්​සේ නමක් ඓතිහාසික රෝහණ දේශයේ මාගම් දනව්වේ ද ජීවමානව වැඩ හිඳිනාවා. පුරා විද්‍යාඥයන් රාශියක් වසර ගණනාවකට ඉහළ ශිලා ලේඛන සහ ශාස්ත්‍රීය සාධක සමුදායක් උපයෝගී කර ගනිමින් බුදුන්වහන්සේ​ගේ වම් දළදා සමිඳුන් මාගම් දනව්වේ චෛත්‍යයක නිදන් කර ඇති බවට කරුණු හෙළිදරව් කර ඇත.
  • දළදා සමිඳුන් ජීවමානව නිශ්චිත වශයෙන් වැඩ හිඳිනා දළදා දා ගැබක් පිළිබඳ ශිලා ලේඛනයක් හමු වී ඇත. ඒ තිස්ස යටාලතිස්ස විහාර බිමෙන්.
  • ඒ සෙල්ලිපියෙ සඳහන් වෙන්නෙ ‘‘යහපතක්ම වේවා (මම) ජේතවන අග්‍ර විහාරයේ නියාම ජ්‍යෙෂ්ඨ නාගදාඨ වෙමි. අභය ශිලා මේඝවර්ණ රජුගේ (අභිෂේකයෙන්) තුන්වන (වර්ෂයේ) වෙසක් (මස) පුර (පක්ෂයේ) දසවන දින දළදා දාගැබ(ට) ඡත්‍රයක් පූජා කෙරිණි. උතුම් පූජාවක් සේ පවත්නා පරිදි දානගම් කරවූ (මම) නැටුව්පිටියෙහි නාගදාඨ නායක වෙමි.’’
  • 1986 වසරේ දී නටබුන්ව පැවති යටාලතිස්ස සෑමළුව පුරාවිද්‍යා කැණීම් කිරීමේ දී සෑමළුවේ දකුණු ​කොටසේ තිබී ග්‍රැනයිට් ගල් පුවරුවක කොටන ලද ඉහත දැක්වූ ශිලා ලේඛනය මතු වී ඇත.
  • වත්මන් යටාලතිස්ස වෙහෙර අතීතයේ දී දළදා වහන්සේ නිදන්ගතව පැවති බැවින් දළදා දාගැබ යනුවෙන් ව්‍යවහාරිත බව ටැම් සෙල්ලිපියෙන් පැහැදිලි වෙනවා. මාගම් රාජධානිය තුළ ඉදිකරන ලද ප්‍රථම දාගැබ ලෙස සැලකෙන යටාලතිස්ස චෛත්‍ය නිර්මාණය කරන ලද්දේ ගෝඨාභය රජුන්ගේ පියා ලෙස සැලකෙන මහානාග රජු. එතුමන් යටාලතිස්ස වෙහෙර ත්‍රිපිටකාරිට්ඨ නම් මහ රහතුන් වහන්සේ වෙත අත්පැන් වත්කර පූජා කළ බව ලලාට ධාතුවංශ කතුවරයා සඳහන් කරයි.
  • යටාලතිස්ස වෙහෙරෙහි නිදන් කිරීම පිණිස යටි වම් දළදාව මාගම වෙත සම්ප්‍රාප්ත වීම ගැන කතා ඇත. ඒ අනුව ගන්ධාර දේශය වෙත හූන මුස්ලිම් ආක්‍රමණ එල්ල වූ අවස්ථාවල එහි ගොස් සිටි වන්දනාකරුවන් විසින් එරට චේතිය වනයේ තැන්පත් කර තිබූ වම් දළදාව ඇතුළු පූජනීය බෞද්ධ පූජා වස්තු මෙරට භක්තිමත් රජ දරුවන් වෙත ගෙනවිත් භාර දෙන්නට ඇති බව කියනවා.
  • මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩහිඳිනා දළදා සමිඳුන් මෙරටට වැඩමවීමට වසර 600කට පමණ පූර්වයෙහි යටාලතිස්ස දාගැබෙහි බුදුන්වහන්සේගේ යටි වම් දළදාව නිදන් කර ඇති බව පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු වෙනවා.