Hela Rahas

Hela Rahas Official Web Portal

මල්වර චාරිත්‍ර සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වල ඖෂධීය ගුණ

කාන්තාවක් උතුම් මව් පදවිය ලබන්නට තබන මුල් දොරටුව මල්වර මංගල්‍යයයි. බටහිර රටවල් මෙය සාමාන්‍ය දෙයක් ලෙස සැලුකුවත් ශ්‍රීලාංකික සංස්කෘතිය තුළ මල්වර මඟුලට විශේෂ තැනක් ලබා දෙනවා. ඒ අතීතයෙ ඉදන් ලංකාව තුළ පැවත එන සිරිත්, සම්ප්‍රදායන්, විශ්වාසයන්ට මුල් තැන දෙමින්. මල්වර වීම යනු යෞවනියකගේ සෞභාග්‍යමත් කාලයට එළඹීම ලෙසින්ද හඳුන්වනවා.
ගැහැනු දරුවකුගේ සුවිශේෂම අවස්‌ථාව ලෙස සැලකෙන මෙම අවස්‌ථාව කායික වශයෙන්ද, මනෝ විද්‍යාත්මක වශයෙන්ද වැදගත් බව ඕනෑම අයෙක් දන්නවා. පෙර යොවුන් වියේ දිවි ගෙවූ කුමරියක යොවුන් වියට එළැඹීමත් සමගම සමාජයේ පවතින සිරිත් විරිත් වගකීම් පිළිබඳව වඩාත් දැනුවත් විය යුතු බව හෙළි කෙරෙන පෙරනිමිත්තක්‌ ලෙසද, මෙය අතීතයෙ සිටම සළකනවා.

වැඩිවියට පත් දැරිවිය නහවන චාරිත්‍රයට මල්වර චාරිත්‍රයේ දී ප්‍රධාන තැනක්‌ හිමි වේ. මෙහිදී පුරාණ චාරිත්‍ර වාරිත්‍ර හා ජ්‍යෙතිෂ්‍ය විද්‍යා නියමයන් අනුව සුදුසු දිනයක සුදුසු තිථියක්‌ද, සුදුසු නැකතක්‌ද යොදා ගනිමින් ශුභ හෝරාවක්‌, ශුභ මුහුර්ථයක්‌ තෝරාගෙන මෙම ශුභ කටයුත්ත ඉටු කිරීමෙන් දියණියගේ ඉදිරි අනාගතය සෞභාග්‍යමත් වන බව විශ්වාස කරනවා.වැඩිවියට පත් යුවතිය නහවන ඔසුපැන් කලයට දමන ඖෂධ හා ඒවායේ ඖෂධීය ගුණාංගයන් හා විද්‍යාත්මක පදනම ගැන දැන් බලමු.

  • වෙනිවැල් -පිටගැස්‌මට ඉතා ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌. ඇඟපත වේදනාව, උණ, ශබ්ද දුර්වලතාවලදී ශක්‌ති ජනක පානයක්‌ ලෙසද චර්මාදී රෝග උදෙසා ද රක්‌ත ශෝධකයක්‌ ලෙසද යොදා ගනී.
  • තොලබෝ -තොලබෝ ගසේ අල, කඳ, කොළ, මුල්, මල් ඇතුළු සෑම කොටසක්‌ම ඖෂධීය ගුණයෙන් යුක්‌ත වේ. වමනය, මුත්‍රා මාර්ගයේ රෝග, රුධිරවාහිනි පද්ධතියේ ක්‍රියාකාරිත්වය ළදරු රෝග, උදරාවාත, චර්ම රෝග, සඳහා ද භාවිතා වේ.
  • කහ -කහ විෂබීජ නාශකයකි. වාජීකරන ඖෂධයකි. සම මත ඉදිමුම්වලට, ඇස්‌ රතුවීම, කැසීම,ශ්වසන අවහිරතාවලදී, ලේවල පවත්නා කොලොස්‌ටරෝල් පාලනයට ද භාවිතා කෙරේ.
  • සුදු හඳුන් -සිසිලස පවිත්‍රත්වය සඳහා භාවිතා කරන සුදු හඳුන් පිපාසය, ආහාර දිරවීමේ දුර්වලතා, අතීසාර රෝග, හදවත් දුර්වලතා, රක්‌ත ශෝධනය ආදිය ද, චර්ම රෝග සඳහා ද භාවිතා කරනවා.
  • රත් සඳුන් -රත් සඳුන් සිසිල් ගුණයෙන් යුක්‌තය. ලේ දොස්‌, වාතය, පිත, සෙම, පණු රෝග, වමනය හා පිපාසය නැති කරයි. ස්‌නානය කිරීමේදී භාවිතා කරනු ලබන ඉහතින් විස්‌තර කළ ඖෂධවලට අමතරව ඒ ඒ ප්‍රදේශවල විවිධ ඖෂධ වර්ග භාවිතයට යොදා ගනී. ඒවා අතර ආඩතෝඩ, උඳුපියළි, සුවඳ කොට්‌ටන්, එළඔළිඳ, ඊතන, සපුමල්, ගොඩ මානෙල්, කොහොඹ කොළ, සැවන්දරා මුල්, බැබිල, එඬරු කොළ, කීකිරිඳිය, විෂ්ණුක්‍රාන්ති, සාදික්‌කා, අරළු, වදකහ, කලාඳුරු ආදිය ඒ අතර වේ. මේ ඖෂධ ද්‍රව්‍යයන්හිද ගුණාත්මක බව ඉහතින් විස්‌තර කළ ඒවා හා බොහෝ දුරට සැසඳේ. එබැවින් ප්‍රදේශයන් අනුව ස්‌නානය සඳහා යොදා ගැනීමේදී පහසු ඖෂධ හැකි පමණ යොදා ගැනීම යෝග්‍ය වේ.
  • දෙහි -පාරිශුද්ධත්වය කෙරෙහි බෙහෙවින් යොදා ගන්නා දෙහිවල ඖෂධ වටිනාකමද ඉහළය. ත්‍රිදෝෂ සමනය, පිපාසය හා විඩාව දුරු කිරීම, ආහාර අරුචිය හා වමනය සමනය කිරීම, ආහාර ජීර්ණය පහසු කරවීම, සෙම් රෝග, හෘද රෝග, වාතරක්‌ත, මුත්‍රා රෝග, සමේ රෝග. විෂ නැසීමේදී ද දෙහි ප්‍රබල ඖෂධයක්.
  • බුලත් -බුලත්වල ඖෂධීය ගුණය විමසා බැලීමේදී වාතය සමනය කිරීම රුධිර පීඩනය අඩු කිරීම, මුඛ රෝග සමනය, අධික ශීත ගතිය දුරුවීම යනාදී අවස්‌ථාවන්හිදී භාවිතා කෙරේ.
  • පොල් -මිහිපිට කප්රුක, පොල් ගසේ විවිධාංග ඖෂධ සඳහා උපයෝගී කරගන්නා අවස්‌ථා රාශියකි. වා පිත් සමනය, මුත්‍රා ආසාදන, ගැබිනි සමයේ අපහසුතා මඟහැරවීම, අම්ල පිත්ත රෝගයේදී රක්‌ත හීනතාව, ස්‌නායු ආබාධ වැනි අවස්‌ථාවලදී එදා සිටම භාවිතා කරනවා.
  • පුවක්‌ -පුවක්‌ මගින් සෙම් පිත් පහකර මුව විරස බව පහකරවයි. රක්‌තසාරය පහත හෙළා රත්පිත් සමනය කෙරේ. හෘදය සම්බන්ධ ස්‌නායු උත්තේජනය කරවයි. අක්‍ෂි ශෝධවනය කරවයි. සන්ධි උලුක්‌කු හා විරේඛනය සඳහා ද භාවිතා වේ..
  • සස්‌ සඳවැල් -සර්ප විෂ හරණය, සන්ධිවාත, ආමවාත, රක්‌ත ශෝධනය, හෘද උත්තේජනයක්‌ ලෙසින්ද භාවිතා කෙරේ. ප්‍රසවයෙන් පසු අපහසුතා මඟහරවා ගැනීම සඳහාත්, චර්ම රෝග සඳහාත් ළදරුවන්ගේ මලබද්ධයටද යොදා ගනී.
  • අද සමහර දෙනා මෙම ගුණයන් පිළි නොගන්න අතර සෑම දෙයකින්ම බටහිර පන්නයට හුරුවී ඇත.